2017 මාර්තු 25 වන සෙනසුරාදා

ගෙවුණු සෙරෙප්පු සහ දලිසෙන සපත්තු

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 114

ඉර පායනවාත් එක්කම නගරය පුරා එහෙ මෙහෙ දුවන මිනිසුන් මේ පොර අල්ලන්නේ ජීවිතේ කුමන අරමුණක් මතදැයි සැබැවින්ම තේරුම් ගන්නට අපහසුය. බැංකු කවුන්ටරයෙන් පිටත පෝලිම දික්වෙත්ම මගේ ජීවිතේ අරමුණ කුමක්දැයි යන්නද අමතකව ගිහින්ය. කෝටි ප්‍රකෝටිපතියෝ uf.a  සේවය අපේක්ෂාවෙන් මගේ ඉදිරියේ පෝලිමේ සිටීම, පොඩි මට ටිකක් ලොකුකමද ගෙන නොආවාම නොවේ.. සල්ලි මිටි පිටින් ගෙන සතර අතට දුරකතන ඇමතුම් දෙමින් චික් චික් ගාමින් පෝලිමේ සිටි පිරිස් අතරින් මා මේ දුටුවේ ටිකක් මහලු වූ ඊටත් වඩා හෙම්බත් වූ මිනිසෙක් චකිතයෙන් මෙන් පෝලිමට එක්වූ අයුරුයි... පෝලිම අග හරියට එද්දී මම වරක් ආයාසයෙන්ම ඒ මිනිසා සමඟ සිනාසුණේ ඔහු තුළ වූ චකිතය නැති කිරීමටය... ඔහු දෙඅතේ වූ එකම දෙය වූයේ දෙපැත්තෙන් සීයෙ කොළ දෙකක් තුනක් එළියට පෙනෙන ලෙස වැසූ බැංකු පොත පමණි.... බිත්තියට තද කර ඔහු රැකගත්තේ එය ඔහුට සීයේ කොළයක්ම නොවන නිසාය. කොන්දොස්තර තරම් මම බැණුම් නොඇහැව්වාට ඌට බැන්නම මටත් රිදෙන බව මේ වයසක රියැදුරු තෙමේ මට කීවේ අද උදේ බස් එකේ ගිය එකෙක් දෙන්නෙක්ගේ පරම්පරාව ආවර්ජනය කරමින් බව බීඩි කොටවලටම පිච්චුණ දෙතොල් අතරින් කෑ දත් මිටි වලින් පෙනුණේය. ඔහුට කිසි හදිස්සියක් නැත. 

ජීවිතේ මේ හරියේ හදිස්සිවෙලා වැඩක් නැත. බැංකුවට ගොඩක් දුර මහ පාරෙන් බැස ඔහු පයින් ආවේ ඉතුරැ කරන්නට යන රුපියල් තුන්සීය ඉතුරු කරගන්නටය. හතළිස් පහේ රෝල්ස් එක කා ප්ලේන්ටි බොනවා වෙනුවට ඔහු දහයට වඩයක් හැපුවේ මේ සතියෙත් මුණුපුරාගෙ අනාගතේට කීයක් හරි ඉතිරි කරන්නටය.. තරුණ කාලෙ බිව්ව රට අරක්කු රට සිගරැට් අතෑරලා බීඩි මිටිය අරන් හීල්ලුවේද ටී ටයිම් එකට බේකන් නොකා ඔහු විටක් හැපුවේද ඔහුට මිස්වුණ ජීවිතේ රස තව එකෙක්ට මුණගස්සන්නටය. ඒ කටහඬ ගොරෝසු වූයේද රළු වූයේද ඒ පරිසරයේ රළුකම ගොරෝසුකම නිසාය. අව්වේ හිටියාම කළුවන්නා සේ මහ පාරේ කර්කශකම ඒ ජීවිතවලට උරාගෙනය. ඒ හදවත්වල ලස්සන වසන් කළේ ඒ ගිනියමය. උන්ට බෙදන්නට වෙනම හැන්දක් නිර්මාණය කළ උන්ගේම  සමාජ කමය උන්ගෙම එකේ උන්ගේම රේඩියෝවෙ වන්සෙ කබල් ගෑවේය. 
බිම කෙතරම් නිසරු වූවද, ඒ හදවතේ සුන්දර බලාපොරොත්තුවක් තිබුණේය. ඒ මුණුපුරාගේ අනාගතය ගොඩනැගීමටය. ඒකත් බස් එකක් වගේමය. කැපකිරීම් රැසක් මැද ඔහු වෙහෙසුණේ ඔබව වෙලාවට හරි තැනට ගෙනියන්නටය... එවන් මිනිසුන් වෙනුවෙන් මේ පද්ධතිය තුළ අපි වෙන්කළේ අන්වීක්ෂීය ඉඩකි. කහ ඉරි සුදු වෙනවාට වඩා දේවල් මේ ක්‍රමය තුළ පිළිසකර විය යුතුය. අපිද නැඟිට්ටේ සල්ලි මිටි ගණන් ගෙනාපු අයටය. නමුත් පාපිස්සේ කකුල පිසදා බැංකුවේ ටයිල් පොළොවට පා තැබුවේ ගෙවී ගිය ඔහුගේ නිහතමානී රබර් සෙරෙප්පු දෙක පමණි. සියල්ල නිමකර යන්නට හැරුණු ඔහු ගිණුම් පොතේ ශේෂය බැලුවේ බැංකුවෙන් එළියට ගොස්ය. දෙදහස් එකසීයක් වූ ශේෂය බැලූ ඔහු අහස දෙස බලා සුසුමක් හෙලීය... මේ අහස රතුවුණේ එවන් මිනිසුන්ගේ කන්නලව් වලින්මය.. 
හමුවෙමු මේ අහස යටම 

 තිසුම් නලින

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00