2017 මාර්තු 25 වන සෙනසුරාදා

අතීත‍යෙන් අමුත්තෙක්

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 234

ගාලු කෙටු පවුර උඩට වෙලා මම හුගක් වෙලා මුහුද දිහා බලාගෙන හිටියා. මුහුද කවදාවත් නිශ්චල වෙන්නෙ නෑ. රැල්ලක් පස්සෙ තවත් රැල්ලක් ඒ පිටිපස්සෙ තවත් රැල්ලක්. හරියට සිතුවිලි වගේ ඉවරයක් නෑ. නැගෙනවා. බිඳෙනවා. විසිරෙනවා. ඒක එහෙම නොවෙන්න මුහුදෙ ලස්සන නැතිවෙනවා. මුහුද ලස්සන කර කරන්නෙ ඒ වෙනස් වීම. ජීවිතේ වුණත් එහෙමයි. ජීවිතේ ලස්සන රැඳෙන්නෙත් සිතුවිලි සංචලනය මත කියලා මට හිතෙනවා. නොනවත්වා සිතීම විසින් ලෝකයේ පැවැත්ම රඳවා ගෙන තියෙනවා කියලා. සිතීම නැවතිලා මිනිස්සු එකම දේ කරන්න ගත්තොත් මේ සමාජය තව අඟලක්වත් ඉස්සරහට යන්නෙ නෑ. 

කිසිම දෙයක් වෙනස් නොවන ජිවිතේ බලාගෙන ඉන්න බැරි තරම් ඕලාරික වෙනවා. මම මුහුද දිහා ඔහේ බලාගෙන හිටියා.  මතකය ඇස් ඉස්සරහා නතර වුණා. මතකය පාළු නෑ. ඉස්සරත් මම මෙතෙන්ටම එනවා. මම කිවුවට මම තනියම නෙමෙයි. අපි. රැවා.. රාජා.. චාමරයා.. රෝසා.. ඉස්කෝලේ ඇරිලා හවස්වරුව ගතකරන්න ආවෙ මෙතෙන්ට. අපේ ජීවිත ගැන, හීන ගැන, ආදරේ ගැන, වල් පල් මෙකී නොකී හැමදේම ගැන අපි පැය ගණන් කතා කළා. ඒ දවස් කොච්චර නිදහස්ව ගෙවුණද? ජීවිතේ බරක් නෑ.  දුක, සතුට හැමදේම සැහැල්ලුවෙන් දරාගත්තා. එහෙම දරා ගන්න පුළුවන් වුණේ හිතේ තියෙන හැමදේම කියන්න අපිට කවුරු හරි හිටියා. කියන්න වගේම අහගෙන ඉන්න කවුරු හරි හිටියා. වෙලා තිබුණා.  ඒ නිසා මැරෙන තරම් අන්තයකට ජීවිතේ බර වුණේ නෑ.  කවුරුවත් නැති දවසට මුහුද..  හුළග ඒ දේවල් අහගෙන හිටියා. අපේ හීන ගොඩ නැඟුනෙ ‍පොදුවෙ. මගේ හීනෙ නෙමෙයි අපේ හීන. ඒත් කාලෙකින් එහෙම දවසක් අපිට හම්බවෙලා නෑ. මම එක තැනක. උන් තව තව තැන්වල විසිරිලා.. 

මට හිතෙනවා අපි ඳැන් ඉන්නෙ තනි තනි ලෝකවල කියලා. අපි එකිනෙකාගෙ ලෝක දැන් එන්න එන්න පුංචි වෙනවා. ලෝකයෙන් සමාජයට, සමාජයෙන් ගෙදරට, ගෙදරිනුත් තමන් ඇතුළටම ලෝකය පුංචි වෙමින් යනවා. අපි දැන් ඉන්නනෙ පුංචි පුංචි ලෝකවල ගුලිවෙලා. මම. මම විතරයි.  යාළුවො හම්බවෙන්න, කතාබස් කරන්න කෝ කොහේද වෙලාවක්. මම busy මචං! හැමෝගෙම උත්තරේ. ඉර නැගෙන්න කලින් නැගිටලා වැඩට යන මිනිස්සු රෑ කළුවරේ ගෙවල්වලට රිංගනවා. ඒකට මිනිස්සු කියනවා ජීවත් වෙනවා කියලා. හැබැයි ඒ මිනිස්සුන්ගෙ මූණවල් දකිද්දී පේනවා කොච්චර අතෘප්තියකින්ද ඉන්නෙ කියලා.  මිනිස්සු දැන් මැෂින් වගේ වැඩ. වැඩ. වැඩ. දැන් සාමජයීය ජිවිතයක් නෑ. මිනිස්සු ඉන්නවා විතරයි. ජීවිතය විඳින්නෙ නෑ කියලා මට හිතෙනවා. මේ ජිවිතය විඳින්න හැකියාවක් තියෙන මිනිස්සු මේ මොහොත මඟඇරගෙන පරණ මතක ලෝකවලට වෙලා අතීත සතුට ගැන කල්පනා කරනවා. එතකොට මේ මොහොතත් නෑ. අතීතය ගෙවිලා ඉවරයි අපිට දැන් ඒ අතීතය වෙනස් කරන්න බෑ. අනාගතේ අපිට අයිති නෑ. ඒත් මේ මොහොත ලස්සන කර ගන්න. ජීවිත විදගන්න අපිට පුළුවන්. මම හැම මොහොතෙම විශ්වාස කරනවා මට අයිති මේ මොහොත විතරයි කියන එක. අපි ගෙවමින් ඉන්න මේ මොහොත අපිට අයෙ කවදාවත් හම්බවෙන්නෙ නෑ. ගාලුකොටු පවුරෙන් එපිට සිතිජය ලස්සනට පේනවා. හරියට නූතන මිනිස් සම්බන්ධකම් වගේ ඇතින් පේන්නෙ ළංවෙලා. එකට එකක් සම්බන්ධ වෙලා වගේ. අහසයි මුහුදයි බදාගෙන තුරුල්වෙලා වගේ ඒත් ඇත්තටම එහෙම නෑ. එනිනෙක හරි ඇතයි. ළං‍වෙලා ඉන්නවා පේන්නෙ දුරින් විතරයි. අපි එකිනෙකාගෙන් හුගක් දුරින් ඉන්නෙ. අපේ සම්බන්ධකම් තියෙන්නෙ තාක්ෂණික උපකරණ එක්ක. Phone එක එක්ක. Skyp එකෙන් සම්බන්ධකම් පවත්වාගෙන යනවා. හරියටම කිවුවොත් maintain කරනවා.  හිනාවෙනවා. කතාකරනවා. ඒත් දැනෙන්නෙ නෑ. අපි දැනෙන තරම් ළංවෙලා නෙමෙයි ඉන්නෙ. අපි තවදුරටත් සංනිවේදන උපකරණ භාවිතා කරන්න මිනිස්සු විතරක් බවට පත්වෙලා ඉන්නෙ. මනුස්ස සම්බන්ධකම් එච්චර වටින්නෙ නෑ. සම්බන්ධකම් කියන්නෙ ගනුදෙනුවලට සීමාවෙච්ච දෙයක් විතරයි. අද දවසත් මොහොතින් මොහොත ගෙවීගෙන යනවා.  මම නිකමට රුවාට call එකක් ගත්තා.  මචං, කොහේද ඉන්නෙ? ගෙදර. උඹ? පරණ පුරදු තැන. පුරුදු තැන කිවුවෙ? ගාලු කොටුවෙ.  ආ හිටපන්.  මම ඉක්මනට එනනම්. කාලෙකින් එහෙම දවසක් එන්නෙ. මට හුඟක් සතුටුයි.  මම තවත් පැයක් විතර නටඹුන් වෙච්ච කොටුපවුර උඩට වෙලා බලාගෙන හිටියා. රැවා තාම නෑ. මම ආයෙත් call එකක් ගත්තා. Rings යනවා.  උත්තරයක් නෑ. මම ආයෙත් ගත්තා. ඔබ ඇමතූ දුරකථනය විසන්ධිකර හෝ ආවරණ කලාපයෙන් බැහැරව ඇත.

 චන්දිම කාරියවසම්