2020 ජනවාරි 04 වන සෙනසුරාදා

සැකකරුට ගල් ගසා පුංචි දැරිය බේරාගත් අවුරුදු 15 වීරයා

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 197

මේ ගෙවෙමින් යන්නේ පාසල් නිවාඩු සමයයි. පාසල් නිවාඩු සමය යනු දුවා දරුවන්ගේ ස්වර්ණමය දින කිහිපයයි. පාසල් දරුවන්ට ඇති තරම් සෙල්ලම් කිරීමට මව්පියන්ගෙන්ද නිදහස ලැබෙන්නේ මේ දින කිහිපයේ පමණි. මේ නිසාම තංගල්ල කදුරුපොකුණ පාරේ තහංචිවැව පදිංචි දස හැවිරිදි දැරියකද ඉකුත් 17 වැනි දින අසල ඥාති නිවෙසකට යාමට පිටත් වූයේ ඇයගේ වයසේම පසුවන දැරියකද එම නිවෙසේ සිටින නිසාය. දෙදෙනා සමඟ සෙල්ලම් කිරීමට පෙර දිනයේ යොදාගත් පරිදි මෙම දැරියද නිවෙසේ සිට නිදහසේ පාර දිගේ ආවේ සිය ඥාති නිවසට යන්නටය.

උපන්දා පටන් තමන් හැදී වැඩුණු ගමේ වුවද නිදහසේ ඇවිද යන්නට මේ දැරිවියට කිසිදු බයක් සැකක් නොවූයේ මේ සමාජයේ කෘර මිනිසුන් සිටින වගට ඇයට ඒ තරම් වැටහීමක් නොතිබුණු නිසාවෙන් විය යුතුය. දැරිවිය ඉතා සතුටින් පාර දිගේ සිය ඥාති ගෙදරට යන්න ආවාය. දැරිවිය එන මඟ මිනිසත් බව ලැබූ මුරුගයකු දැරිය ගිල දමන්නට මාන බලමින් සිටින බවක් කිසිවකුත් නොසිතන්නට ඇත. දැරිය ඉතා සැහැල්ලුවෙන් මාර්ගයේ ගමන් කරමින් සිටින විට මඟ රැක සිටි සල්ලාල මුරුගයා දැරිවියගේ ඇඟට පැන ඇය තදින් අල්ලා මාර්ගයෙන් ඉවතට ගත්තේ ඇයගේ විලාපයත් සමඟය.

හැඩිදැඩි මේ මුරුග මිනිසාගේ දෑත්වලට හසුවූ දැරිවියට “බුදු අම්මේ මාව බේරාගන්නෝ” කියා කෑගසනවා හැරෙන්නට වෙන කරන්නට කිසිවක් ඉතිරිව නොතිබුණි. හැඩි දෑත්වලට හසුවූ මේ පුංචි මල් කැකුළියට ඔහුගෙන් මිදෙන්නට කිසිදු හැකියාවක් නොවීය. දැරිවියගේ අඛණ්ඩ කෑගැසීම හා ඉකිබිඳීම හමුවේ මේ සල්ලාල තිරිසන් මිනිසා දැරිවියට හදි කරන්නට සැරසුණේ කිසිදු හිතක් පපුවක් තියා මිනිස්කමද තඹ සතයකටවත් මායිම් නොකරමිනි. දැරිවියගේ කෑගැසීම කෙරෙහි කිසිදු තැකීමක් නොකර මේ සල්ලාලයා මාර්ගය අයිනේ ඇති වදුලට දැරිය රැගෙන යාමට දඟලමින් සිටියේය. දියෙන් ගොඩගත් මාළුවකු සේ දැරිය දැඩි භීතියට පත්ව ගැහෙමින් “අම්මේ.. අම්මේ” කියා කෑගසන්නට වූවාය.

මේ මොහොතේ කදුරුපොකුණේම පදිංචි 15 හැවිරිදි කොලුගැටව් දෙදෙනකු ද පාරේ ගමන් කරමින් සිටියේ අසල පිහිටි කඩයකට යාමටය. කඩයට යමින් සිටි මේ කොලුගැටව් දෙදෙනාට දැරිවියගේ විලාපය ඇසෙන්නට විය. යාමට ආ ගමනද පසෙකලා ශබ්දය ඇසුණු දෙසට වහා දිවගිය මේ කොලුගැටව් දෙදෙනාට දැකිය හැකි වූයේ බිහිසුණු අත්දැකීමකට මුහුණ දෙමින් සිටින දැරියකි. දෙවරක් නොසිතූ මේ කොලුගැටව් දෙදෙනාද කෑගසමින් සල්ලාලයා දෙසට දිවගියේ “අතෑරපිය ඔය නංගි” යැයි කියමිනි. මේ කිසිවක් කෙරෙහි අවධානයක් යොමු නොකළ සල්ලාල මුරුග තිරිසන් මිනිසා සිය කාර්යය සපුරාගැනීමට දඟලමින් සිටියේය. කොලුගැටව් දෙදෙනාගේ කෑගැසීම කෙරෙහිවත් මේ සල්ලාල මිනිසා පාලනය නොවීම නිසා දෙවරක් නොසිතූ එක් පුංචි කොලුගැටවකු මේ සල්ලාල මිනිසාගේ ඇඟට කඩා පැන්නේ සිය ජීවිතය කෙරෙහි ඇති අවදානමද තඹයකට මායිම් නොකරමිනි. එක අතකින් දැරිවිය අල්ලාගෙන ඇඟට කඩාවැදුණු සල්ලාලයා අනිත් අතින් කොලුගැටයා ඈතට තල්ලු කර දැමීය. සල්ලාලයාගේ තල්ලු කිරීම හමුවේ මීටර් දෙක තුනක් දුරට විසිවී ගොස් වැටුණු මේ කොලුගැටයා තව වරක් නොසිතා වැටුණු තැනින් නැගී සිටියේ බිම තිබූ ගල්කැට කිහිපයක්ද සිය අත්ලේ ගුලි කරගෙනය. තත්පර ගාණක් තුළ නැගී සිටි මේ කොලුගැටයා සිය අත්ලේ තිබූ එක් ගල්කැටයක් ගෙන හරි ඉලක්කය බලා සල්ලාලයා වෙත වැරෙන් එය එල්ල කළේය. ගල් පහර වැදීමත් සමඟ සල්ලාල තිරිසන් මිනිසා කොලුගැටයා දෙසට හැරෙනවාත් සමඟම මෙම පුංචි කොලුගැටයා සිය අත තිබූ තවත් ගල් කැටයක් මේ තිරිසන් මිනිසා වෙත එල්ල කළේය. එයින් තෘෂ්ණිම්භූත වූ සල්ලාල තිරිසන් මිනිසා සිය ග්‍රහණයේ සිටි දැරිවිය අතහැර පාර දිගේ දිව යන්නට විය. දිවයන මේ සල්ලාල මිනිසා මෙලෙස අතහැරිය යුතු නැතැයි සිතූ මේ පුංචි කොලු ගැටයා ඔහු පසුපස හඹා ගොස් තවත් ගල් පහර කිහිපයක්ම එල්ල කර දැරිවිය අසලට පැමිණියේය. ඒ වන විටත් දැරිවිය වතුරෙන් ගොඩ දැමූ මාළුවකු සේ ගැහෙමින් සිටියාය. දැඩි කම්පනයටත් භීතියටත් පත්ව සිටි මේ පුංචි මල් කැකුළියට හඬනවා හැරෙන්නට වෙනත් කරන්නට දෙයක් නොවීය.

මේ අපූරු වීරක්‍රියාව සිදු කළේ කදුරුපොකුණේම පදිංචි හඳුන්නෙත්තිගේ ඉසුරු නිම්සර නැමති දරුවාය. බිම වාඩි වී දැඩි කම්පනයෙන් පසුවූ දැරිවියගේ අතින් අල්ලාගත් නිම්සර “එන්න නංගි අපි ගෙදර යමු” යැයි කියා ඇය රැගෙන ගියේ තමන්ටද එවැනිම නැගණියක් සිටින නිසාවෙන් විය යුතුය. ඒ වනවිටත් මේ සල්ලාල මිනිසා සමඟ පොරබැදීම නිසා දැරිවියගේ නාසය හා මුඛය අසල තුවාල වී තිබුණි. ඇයගේ ඇඳුම් ද ඉරී තිබුණි. දැරිය බේරාගැනීමට ගිය නිම්සරගේ ද අත්වල සීරීම් තුවාල දක්නට ලැබුණි.

නිම්සර ඉකිබිඳිමින් හඬන දැරිවිය රැගෙන ගොස් ඇයගේ මිත්තණියට බාර දුන්නේ සිදුවූ ඇබැද්දිය ගැන විස්තර කරමිනි. මිත්තණිය දුටු දැරිවිය දුවගොස් ඇය බදාගෙන අඬන්නට වූවාය. දැරිවියට සිදුවන්නට ගිය මහා අපරාධය පිළිබඳව ඇසූ මිත්තණිය ද දැරිවිය බදාගෙන හඬමින් නිම්සරගේ ඔළුව අතගා “මගේ පුතා බුදුවෙන්න ඕනේ” යැයි පැවසුවාය.

සිදුව ඇති දෑ මනාව පැහැදිලි වූ මිත්තණිය දැරිවියත් නිම්සරත් රැගෙන කෙළින්ම ගියේ තංගල්ල මූලස්ථාන පොලීසිය වෙතය. සිද්ධිය සම්බන්ධයෙන් දැරිවියගේ මිත්තණිය පොලීසියට පැමිණිල්ලක්ද සිදු කළාය. සුළු තුවාල ලබා සිටි දැරිය පොලීසියට රැගෙන ගියද ඇය ඒ වනවිටත් සිටියේ දැඩි කම්පනයෙනි. තංගල්ල මූලස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීහු අනතුරුව දැරිය තංගල්ල මූලික රෝහලට ඇතුළත් කළහ.

පොලීසියට ලද පැමිණිල්ලට අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සැකකරු සොයා කදුරුපොකුණේ සැකකරුගේ නිවෙසට ගියත් ඒ වනවිටත් සැකකරු නිවෙසින් පිට සැඟව සිටියේය. එහෙත් පොලීසියේ උකුසු ඇස්වලින් වසන් වීමට මේ සල්ලාල තිරිසන් සැකකාර මිනිසාට නොහැකි විය. සැකකරු පොලිස් අත්අඩංගුවට පත්විය. සැකකරු පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමඟ ඔහුගේ මව පොලීසියට පවසා ඇත්තේ සැකකරුට මානසික ආබාධයක් ඇති බවයි.

මෙහිදීද අප ලිවිය යුතු කරුණක් ඇත. එනම් තම දරුවා බේරාගැනීමට මෙම සල්ලාල මිනිසාගේ මව්පියන් උත්සාහ කරන්නේ ඔහුට මානසික ආබාධයක් ඇති බව පවසමිනි. එහි කිසිදු ගැටලුවක් නොමැත. සල්ලාලයකු වුවත්, මානසික ආබාධයකින් පෙළෙන අයකු වුවත් ඔහුගේ මව්පියන් ඔහු බේරාගැනීමට උත්සාහ දරන්නේ දරු සෙනෙහස නිසාය. නමුත් එය එසේ යැයි පවසා තවත් මවකගේ දරුවකු බිල්ලට දීමට කිසිසේත් ඉඩහැරිය නොහැකිය. සිය දරුවාට මානසික ආබාධයක් ඇත්නම් ඒ පිළිබඳව ඔහුගේ මව්පියන් කටයුතු කළ යුත්තේ මීට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයකින් බවද සිහිපත් කළ යුතුය. යම් හෙයකින් මේ සල්ලාල මිනිසා අතින් මේ දැරිවියට යම් කරදරයක් වූයේ නම් එය මහ පොළොව පවා නුහුලන අපරාධයකි.

එමෙන්ම මේ දැරිවිය සල්ලාලයාගෙන් මුදාගත් කොලුගැටයා වූ නිම්සර ගැනද යමක් ලිවිය යුතුය. නිම්සර ගියේ කඩේට යන්නටය. තමන් යන්න ගිය ගමනත් පසෙක දමා ඔහු දැරිවියක සල්ලාලයකුගෙන් බේරාගත්තේ සිය පණ කෙරෙහිවත් නොසිතමිනි. පාරේ වැටී සිටින කෙනකු දිහාවත් නොබලා ගණන් නොගෙන නොපෙනුණා සේ යන ඇතැම් මිනිසුන් අතරේ නිම්සර පුංචි වීරයෙකි. ඔහු තැනට සුදුසු නුවණ භාවිත නොකළේ නම් අද තවත් එක් පුංචි මල් කැකුළක් තිරිසන් සල්ලාලයකු විසින් තලා දමා හමාරය. අද සමාජයට ඕනෑ කරන්නේ නිම්සරලා වැනි දරුවන්ය.

දැරියට හදි කරන්නට ගිය සල්ලාලයා තංගල්ල මූලස්ථාන පොලීසිය විසින් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර කරනු ලැබීය. සල්ලාලයාගෙන් මෙම දැරිවිය බේරාගත් නිම්සරට සල්ලාල මිනිසාගේ පාර්ශ්වයෙන් තර්ජන ගර්ජන එමින් පවතින බවටද වාර්තා විය. බන්ධනාගාර ගත කෙරුණු සැකකරුගේ සොහොයුරියක නිම්සරට තර්ජනය කර ඇතැයි ද පැවසේ. මේ සම්බන්ධයෙන් දැනගත් තංගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක ලාල් චන්ද්‍රසිරි මහතා සැකකරුගේ සොහොයුරිය ඇතුළු ඥාතීන් කිහිප දෙනකු පොලීසියට ගෙන්වා කරුණු කාරණා පැහැදිලි කර දී තිබේ. වෙන්නට ගිය මහා විනාශයක් පුංචි නිම්සර වළකා තිබීම ජාතියේ වාසනාවක් බඳුය. මෙනිසා නිම්සරට නැවත කිසිදු තර්ජනයක් නොකරන ලෙසට මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සැකකරුගේ සොයුරිය ඇතුළු ඥාතීන්ට තදින් අවවාද කර තිබේ.

තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවීන්ද්‍ර අඹේපිටිය මහතාගේ උපදෙස් පරිදි තංගල්ල මූලස්ථාන පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලාල් චන්ද්‍රසිරි මහතාගේ අධීක්ෂණය යටතේ තංගල්ල පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති කාන්තා උප පොලිස් පරීක්ෂක හසිනි දිනූෂා, කාන්තා පොලිස් සැරයන් (2190) කාන්ති, පොලිස් සැරයන් (13317) සේනානායක, පොලිස් කොස්තාපල් (92814) හේරත් යන මහත්ම මහත්මීහු මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූහ.

I සූරියවැව නුවන් ජයසේකර

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00