2020 ජනවාරි 04 වන සෙනසුරාදා

ජාඩියට මූඩිය

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 449

ජාඩි කෑ නොකෑ කාටත්  පංකාදු ජාඩි කතාවක් කීමට තතු අපට හමුවිය. සත්සමුදුරෙන් වටවූ අසිරිමත් දිවයිනක විශ්මිත ආහාර සංස්කෘතියේ අග්‍ර ඵලයක් ලෙස අපි ජාඩි හැඳින්වීම අසාධාරණ නැත. අප එසේ කියනුයේ වෙරළකරයේ ජාඩි තැවරුණු බත් රස දන්න නිසාම නොවේ. අද ඔබ කියවන ජාඩි ගැන මේ ‍අපූරු කතාවේදී හෙළිවන තොරතුරු නිසාවෙනි.

ජාඩි යනු මුහුදු මාළු කල්තබා ගන්නා ක්‍රමවේදයක් යැයි සරලව කිව හැකිය. ඒත් ඊට එහා යමක් ජාඩි ඇසුරේ අපට දැනගන්නට ලැබුණි. පළමුව ජාඩි ඉතිහාසය සොයා බැලීම යෙහෙකිය. ලාංකීය වංශකතාවට අනුව මුහුදු මාළු ආහාරයට ගැනීම පිළිබඳ විධිමත් සඳහනක් නැතැයි ඉතිහාසඥයෝ කියති. එහෙත් දූපත් රාජ්‍යයක මාළු ආහාරයට එකතු නොවීම අරුමයකි. ඇතැම්විට බෞද්ධ ආභාශය මත ලියැවුණු ලේඛනවල මාළු ආහාර පිළිබඳ හෙළි නොවුණත් වෙරළකරයේ මෙම ආහාර සම්ප්‍රදායන් තිබෙන්නට ඇත. කෙසේ නමුත් පෘතුගීසින් පැමිණීම සමඟ මෙරට ලුණු මාළු ප්‍රකට වූ බව කියැවේ. එහි දේශීය ආර ජාඩි ලෙස ද ඇතැම්හු හඳුන්වති. දකුණු ඉන්දියාවේ මීට සමාන ආහාර සම්ප්‍රදායන් තිබී ඇත. එහිද යම් බලපෑමක් ලංකා ජාඩිවලට ලැබී ඇති බව සිතිය හැකිය. ඒ කෙසේ වෙතත් අප ජාඩි සංස්කෘතිය මුළුමනින්ම දේශීය බව කිවයුතුය. ජාඩි යනු බඳුන් විශේෂයක් හැඳින්වීමට භාවිත කර ඇති නමක් හරහා බිඳී ආවක් බව සිතිය හැකිය.

ජාඩි හැදීමට නම් දැරූ ප්‍රදේශ ලෙස  බලපිටිය, දොඩන්දූව, රත්ගම, ගිංතොට, කොග්ගල, අහංගම වාගේම ගාල්ල, මාතරද හැඳින්විය හැකිය. දොඩන්දූවේ ජාඩි හැදීමේ කලාවේ කෙළ පැමිණි අය සිටි බවට තතු තිබේ. ඒ අනුව දකුණේ මිනිසුන් අතීතයේදී සුලුප්පු යාත්‍රාවල නැගී ඉන්දියාවට ගොස් ජාඩි හැදූ කතාවක් වෙයි. ඊට අනුව, ලුණු ගොරක රැගෙන ඉන්දියාවේ තූත්තුකුඩි වරායට ගිය අපේ ධීවරයෝ තූත්තුකුඩියෙන් මාළු අල්ලාගෙන ජාඩි දමා ඒවා පීප්පවල බහා ලංකාවට ගෙනැවිත් තිබේ. දොඩන්දූවේ ධීවර ජනතාව අතර මේ කතාව ඉතා ප්‍රකටය.

විශාල ජාඩි පීප්ප තැනීමට වඩුවෝ ද රැගෙන දකුණේ මිනිස්සු විස්සක් තිහක පමණ පිරිසක් රුවල් නැව්වලින් දකුණු ඉන්දියාවට ගොස් මාස තුන හතරක් නතර වී කළ මේ වික්‍රමය ඇත්තෙන්ම පුදුමයකි. ජාඩි කතාවේ මෙවන් අපූරු කතා රැසක් අපට හමුවෙයි.

ජාඩියට මූඩිය වගේ යනු ජාඩි පීප්ප නිසාම ජනවහරට එකතු වූ අපූරු යෙදුමකි. ජාඩි කර්මාන්තයක්ව පැවති අතීතයේදී ජාඩි පීප්ප බොහෝ සේ ප්‍රකටව පැවත තිබේ. මෙහිදී ජාඩි පීප්පයේ කටෙහි වූ පියන වැසීම වැදගත් කාර්යයක්ව තිබේ. කෙසේ ජාඩි තැනුව ද හරියට මූඩිය ගැසුවේ නැතිනම් මාළු කල් තබා ගැනීමේ කාර්යය හරියට සිද්ධ නොවේ. මේ නිසාම ජාඩියට මූඩිය හරියට ගැලපීමේ වැදගත්කම අරුත් ගන්වමින් ජාඩියට මූඩිය වගේ යනුවෙන් කතාවක් ජන ව්‍යවහාරයට එකතු වී තිබේ.

අප ජාඩි කතාවේ රස මතුවුණේ ජාඩි කෑම සහ සැකසීම පිළිබඳ තොරතුරු එකින් එක හෙළිවන විටය. කොස් හෝ දෙල් තම්බා පොල් සමඟ ජාඩි තවරා කෑම, ජාඩියි පොලුයි බතුයි කෑම,  කැකුළු බතුයි ජාඩි කිරි හොදියි කෑම සිහි වනවිට රස නහර පිනා යයි. ජාඩි සැකසීමේ ශිල්ප ක්‍රමය පොතකින් පතකින් කියවා ඉගෙනීම නම් පහසු නැත. එය පාරම්පරික ශිල්පයක් හා සමානය. දකුණේ පැරැන්නන්ගේ ශේෂ මේ ශිල්පය අද වියැකී යමින් තිබේ. ජාඩි කතාවේ නොකියාම බැරි නිසා මේ ශිල්පය ද සරලව අප ඔබට කියමු.

මේ නිවසේ ජාඩි දැමූ සරල පිළිවෙතයි. මෙහි ශිල්ප ක්‍රම රැසක් වූ බව කිව යුතුමය. එදා අපේ ගම්මුන් ජාඩි දැමීමට ගත්තේ වැල්ලෙන් ගෙනා අලුත් මාළුය. හුරුල්ලෝ, කුම්බලාවෝ, බලයෝ, අලගොඩු වගෙ මාළු ප්‍රමුඛ වේ. පළමුව මාළු හොඳට ලුණු වතුරෙන් සෝදයි. වැල්ලේ කරිජ්ජෙන් සේදීම පැරැන්නන්ගේ සිරිතයි.

ඉන්පසු මාළුන්ගේ ඔළු, බඩබොකු ඉවත්කර පෙති කපාගැනීම සිදුවේ. දැන් ලුණුකැට සහ වියළි ගොරකා යහමින් අවැසි වෙයි.

පිරිසිදු වියළි ලොකු මැටි මුට්ටියක් ගෙන එහි ලුණු ගොරක තට්ටුවක් ඇතිරීම පළමු රාජකාරියයි. පසුව මාළු පෙති හෝ මාළුවන් කීපදෙනෙක් එහි තැම්පත් කරයි. නැවතත් ඊට උඩින් ලුණු ගොරක අතුරයි මාළු තට්ටුවක් තබයි. මෙසේ තට්ටු කිහිපයක් තැම්පත් කිරීමෙන් පසු මුට්ටියේ කට හොඳ කඩවැස්මකින් බැඳීම සිදුවේ. ජාඩියට හරියට මූඩිය ගැසීම ඉතා වැදගත් වෙයි. පසුව වතුර නොවැටෙන, මැස්සන් නොගැවසෙන තැනක මේ ලුණු ගොරක දැමූ මාළු මුට්ටිය තබයි. අතීතයේ දකුණේ නිවෙස්වල දුම් මැස්ස මීට කදිම තැනකි. මාසයක් පමණ පරණ වූ පසු මෙම මාළු ගාණට පදම් වී තිබේ. ලුණුවල තිබෙන ලවණ ගතියට මාළුවාගේ ඇඟේ තිබෙන වතුර උරා ගැනීම සිදුවේ. විද්‍යාත්මකව ආසෘතිය නමින් මේ ක්‍රියාවලිය හැඳින්වේ.

ජාඩි හොද්ද මේ කතාවේ අමතක කළ නොහැක. ජාඩි මුට්ටියෙන් ගෙන හෝදා පෙති කපා මැටි හට්ටියක දමා රතුලූණු, මිරිස් කුඩු, පමණට ලුණු, දමා දිය කිරෙන් ලිප තබා තැම්බීගෙන එනවිට මිටිකිරි ටිකකුත් දමා ලිපේදී හැඳි ගා ජාඩි හොද්දට සකසාගත හැකිය. වෙරළකරයේ ගම්මුන් කියනුයේ ජාඩි හොද්ද එක්ක බත් මරන්නට ඇහැකි බවයි. ඊට පොල් සම්බලයකුත් එකතු වූ විට රස දෙගුණ වෙයි. එසේම අප පෙර කී ලෙස පොල් දමා තැම්බූ කොස් දෙල් සමඟද ජාඩි රස වෑහේ.

කලකට පෙර කර්මාන්තයක් වූ ජාඩි අද ඉතා විරලය. ජාඩි පණුවෝ ගැසීම ආදී අපුල දනවන කතා නිසා ජාඩිවලට මේ විපත සිදුවී ඇතැයි සිතේ. නිවැරදිව ජාඩි හැදීමට අප සමත් වුවහොත් අදද ලක්ෂෙට කොඩි දැමිය හැකිය. වරක් ජාඩි කෑ සුද්දන් තව වරක් ජාඩි සොයා එන බව දකුණේ සංචාරක කර්මාන්තයේ නියුතු වූවෝ අදද කියති.

චමිඳු නිසල්