2020 ජනවාරි 04 වන සෙනසුරාදා

ඌරන්ට ඇටවූ කරන්ට් කම්බියෙන් අවසන් ගමන් ගිය එකම පවුලේ තුන්දෙනා

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:31 163

“පුතේ තාත්තා කුඹුරට යනවා කියලා හවස ගියා. තාමත් ගෙදර ආවේ නෑ... දැන් පැය ගාණක් වෙනවා. අපි ගිහින් ටිකක් බලලා එන්නම්..”

“ගියාටනම් කමක් නෑ අම්මේ... කුඹුර පැත්තේ දිගටම මිනිස්සු කරන්ට් කම්බි දානවා. පරෙස්සමට ගිහින් එන්න” 

කුඹුරට ගිය වීරසිංහ ගොවි මහතා නැවත නිවසට ඒම ප්‍රමාද වීම නිසා ඔහු සෙවීමට යාමට මත්තෙන් ගුවන් හමුදා සේවයේ නියුතු තම පුත්‍රයා සමඟ වීරසිංහ මහතාගේ බිරිය මල්ලිකා මහත්මිය අවසන් වතාවට කීවේ ඉහත පණිවුඩය පමණය.

ආදරීණීය මෑණියන් පියා සෙවීමට යන බව පවසා මේ කතා කළේ සිය මවගේ අවසන් වචන කිහිපය බව හමුදා රාජකාරියේ නිරත පුත්‍රයාට කිසිවිටෙකත් දැනුණේ නැත. එබැවින් ඔහු තවත් හෝරාවක් හමාරක් බලා සිටින්නට ඇත්තේ යළිත් වතාවක් සිය මෑණියන් දුරකථනයෙන් අමතන තෙක්ය. එහෙත් ඔහුට අවසානයේ අසන්නට ලැබී තිබුණේ සිහිනෙකින් හෝ නොසිතුව ඛේදවාචකයකි.

මාතලේ, උකුවෙල, ගුරලවෙල, කන්දෙමඩ, දකුණු වෙදපහිල්ල වෙල්යායේ වල් ඌරන්ට ඇද තිබූ විදුලි රැහැනක පැටලී එකම පවුලේ තිදෙනකු මියගිය එම ශෝචනීය පුවත ඉකුත් 29 වැනිදා අසන්නට ලැබිණ.

උඩගෙදර වීරසිංහ මහතා දකුණු වෙදපිහිල්ල වෙල් යායේ ගොවි මහතෙකි. සෑම දිනකම සවස් යාමයේ කුඹුර දෙසට යාමත් පසුව වෙල් යාය ඉස්මත්තේ පිහිටි කඩයට ගොස් ටික වෙලාවක් සිට රෑපවාහිනියේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය නැරඹීමට නොවරදවාම පැමිණීම ඔහුගේ සිරිතය. ඒ අනුව රාත්‍රී හතට පෙර නිවෙසට එන වීරසිංහ මහතා එදා නිවසට පැමිණීම ටිකෙන් ටික ප්‍රමාද වෙමින් තිබිණ. හෝරා දෙක තුනක් ගෙවී ගියද වීරසිංහ ගෙදරට නොපැමිණීම නිසා ඔහුගේ බිරිය සිය දියණිය හා ලේලිය කැටුව විදුලි පන්දමක් රැගෙන සැමියා සෙවීම සඳහා කුඹුරට යාමට පිටත්ව තිබිණ. ඊට මත්තෙන් සිය පුත්‍රයාට ඉහත කී දුරකථන ඇමතුම ලබා දෙමින් ඔහුට දන්වා එළියට බැස ගොස් ඇත. රාත්‍රී දහයට පමණ බිරිය මව හා නැගණිය යන ගමනේ අවදානම පිළිබඳ දැන සිටි හමුදා රාජකාරියේ නියුතු පුත්‍රයා ප්‍රදේශයේ වල් ඌරන්ට විදුලිය දැමීම පිළිබඳ අවධානයෙන් සිට ඇත.

මව පසුපසින් ලේලියත් ඇයට පසුපසින් නැගණියත් වශයෙන් තිදෙනා කුඹුරු යායේ නියරක් දිගේ ගමන් කරමින් සිටියදී මාර්ගය හරහා බිම දිගේ ඇද තිබූ විදුලි රැහැනක පළමුව මව පැටලී ඇද වැටී තිබිණ. ඒ පිළිබඳ නොදැන ලේලිය මව නැගිට්ටවීම සඳහා උත්සාහ කිරීමේදී ලේලියටත් විදුලි සැර වැදී තිබිණ. තත්ත්වය පිළිබඳ අවබෝධයක් නොවූ දියණිය අම්මාත් අක්කාත් නැගිට්ටවීම සඳහා සූදානම් වෙද්දී ඇයටත් විදුලි සැර වැදී විසි වී ඇත. තත්ත්පර කිහිපයක් තුළදී වූ සිදුවීම අවස්ථාවේ මරලතෝනි නැගූ එම දියණියගේ හඬ ගමේ වෙල්යාය පුරා ඇසෙන්නට විය.

ඒ අනුව එතැනට ආ අසල්වැසි පුද්ගලයකු දියණිය බේරාගෙන ඇති අතර ඇය කියා තිබුණේ සිය මව හා අක්කා ඇයත් සමඟ පැමිණි බවය. එහිදී විදුලිසැර වැදෙන්නට ඇතැයි අනුමාන කළ ඔහු ප්‍රදේශවාසීන්ගේ සහායෙන් ඇය රෝහල්ගත කිරීමට සලස්වා තවත් පහළොස් දෙනකු පමණ ඒකරාශී කොටගෙන සෙසු අය සෙවීමට පැමිණ ඇත. ඒ අවස්ථාවේ අවට නිරීක්ෂණය කළ තරුණයෙක් දැක තිබුණේ වෙල්යාය හරහා ඉහළින් තිබෙන විදුලි රැහැන්වල සිට පහළට කොකු දෙකක් ආධාරයෙන් රඳවා රැහැන් දෙකක් වෙලට දමා ඇති බවය.

ඒ බව සෙසු පිරිසට දන්වා ප්‍රථමයෙන් එම කොකු දෙක ගලවා දමා විදුලිය විසන්ධි වූ විට වැටී සිටි මව හා ලේලිය රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණේ මාතලේ පොලිස් නිලධාරීන් පිරිසක් ද එතැනට පැමිණීමෙන් අනතුරුවය.

එම දෙදෙනා රෝහල්ගත කෙරැණ ද ඒ වනවිටත් වීරසිංහ මහතා පෙනෙන්නට සිට නැත. ඒ පිළිබඳ සැක සිතූ පිරිස අනුමාන කොට තිබුණේ වීරසිංහටත් විදුලි සැර වදින්නට ඇතැයි යන්නය. ඒ අනුව යළිත් අවට සෝදිසි කළ පිරිසට වීරසිංහ මහතා වැටී සිටියදී හමුව තිබුණේ තවත් අඩි 50කට පමණ ඈතිනි. උපැස් යුවළ දරා සිටියදීම බිම ඇද වැටී සිටි ඔහු කුඹුරට යන අතරමගදී විදුලි මාරයාට බිලිවන්නට ඇතැයි පොලීසිය විශ්වාස කරයි.

මෙම ඛේදජනක සිදුවීමෙන් එකම පවුලේ පියා, මව හා ලේලිය ජීවිතක්ෂයට පත්ව සිටිති.  ඔවුන් වීරසිංහ (65 - පියා), මල්ලිකා (53 - මව), ඉරේෂා ශෂිකා (30 - ලේලිය) ලෙස හඳුනාගෙන තිබිණ. මියගිය වීරසිංහ යන අය කිතුල් මල් මැදීමට පුරුදුව සිටි බවත් අනතුරට පත්ව මියගිය මොහොතේ කිතුල් රා අඩංගු බෝතලයක් ළඟ තිබී ඇති බවත් කියති.

සිදුවීම සම්බන්ධයෙන් ප්‍රථමයෙන් පුරුෂයකු හා කාන්තාවක අත්අඩංගුවට ගැනුණේ ඔවුන් දෙදෙනාට අයත් කුඹුරු සීමාව තුළ මෙම අනතුර සිදුවීම නිසාය. අනතුරුව සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට මාතලේ මූලස්ථාන පොලීසියේ නිලධාරීන් සමත්ව තිබිණ. ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ මියගිය වීරසිංහ හා සම්බන්ධ වී වල් ඌරන් මැරීම සඳහා විදුලිය රැහැන් ඇදීම සිදුකරන බවය.

කෙසේ හෝ ඔවුන් සිදුකළ අකටයුත්ත නිසා අකාලයේ ජීවිත තුනක් මියැදී අවසන්ය. මියගිය ඉරේෂා ශෂිකා නැමැත්තිය පුංචි දරු දෙදෙනකුගේ මවක වූ අතර අවුරුදු 2ක සහ මාස 15ක දරුවෝ ඇයට සිටිති. මවගේ මරණයත් සමඟ මේ පුංචි දරු දෙදෙනාට මවගේ ආදරය රැකවරණය අහිමිව තිබේ. එමෙන්ම සැඳෑ සමය ගතකළ වීරසිංහ යුවළට ජීවිත අහිමිව ගොසිණි. නොමිනිස් ගති නිසා අහිංසක දරු පවුල් දෙකක් විනාශ වෙද්දී නිසල දේහයන් තුනක් එකම නිවසක තැන්පත් වෙද්දී උකුවෙල ගුරලවෙල කන්දේමඩ ප්‍රදේශය එකම මළගෙයක් බවට පත්ව නව වසර උදාවත් සමඟ කන්දේමඩ ගමම හඬවා පළමුවැනිදා  සවස වීරසිංහ යුවළ සමඟ ලේලිය ගම්මුන්ගේ කර මතින් අවසන් ගමන් ගියහ.

සමන්ත ප්‍රදීප් විල්තෙර
පසුබිම් වාර්තා හා සේයා රූ - මහේෂ් කීර්තිරත්න