2020 ජනවාරි 04 වන සෙනසුරාදා

සාහිත්‍යයේ නවකයේ කරණම් ගැසූ වසරක්

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 493

නවකතාවට නවක විරාජිනී තෙන්නකෝන්ගේ මකරානන්දය සම්මාන උළෙල කිහිපයකදීම ජයග්‍රහණය හිමිකර ගැනීම පසුගිය වසරේ විශේෂිත සිද්ධියකි. ඇගේ නවකතා ගැන බොහෝ කතාබහ ඇතිවිය. ස්වර්ණ පුස්තක සම්මානයට කිහිපවරක්ම ළංවූ කපිල කුමාර කාලිංගට මෙවර එම සම්මානය හිමිකර ගැනීමට වරම් ලැබුණේ අදිසි නදිය නවකතාවටය. වර්ෂය අවසාන වනවිට දිල්ෂි තත්සරණි (බියර් සුවඳැති හාදු), ඉන්දුමතී ජයසේන (අචිරවතී) ආදී ලේඛිකාවන්ද පොත් ලියමින් නවකතා ක්ෂේත්‍රයට අවතීර්ණ වූ නවකයන් අතරට එක්වූහ. මේ රහස් කවුළුවෙන් එබෙන්න ලියා පාඨක විචාරයට අවධානයට යොමු වූ කෞශල්‍ය කුමාරසිංහ තම දෙවන නවකතාව නිම්නාගේ ඉතිහාසය පසුගියදා නිකුත් කළේය. ප්‍රවීණයන් වන කීර්ති වැලිසරගේ ලියූ රුදු රොන් සුණු, සුනේත්‍රා රාජකරුණානායකගේ නිෂ්ක්‍රාන්තිය, ලියනගේ අමරකීර්තිගේ රතු ඉරි අඳින අත ආදී නවකතාද පසුගිය කාලයේ නිකුත් කෙරිණි.

කෙටිකතා පොත් රාශියක්ද කාව්‍ය කෘති විශාල සංඛ්‍යාවක්ද පසුගිය වර්ෂයේ සිංහල සාහිත්‍යය පොහොසත් කළේය. මේ ඒ පිළිබඳව විචාරකයන් සහ ලේඛකයන් දැක්වූ අදහස් කිහිපයකි.

විචාරක රත්තනදෙණියේ මේධානන්ද හිමි පැවසුවේ පසුගිය වර්ෂයේද සමහර සාහිත්‍ය සම්මාන සඳහා කල්ලිවාදී සමීක්ෂණ මණ්ඩල සිටි බවයි.

සෑම වසරකම සාහිත්‍ය කෘති විශාල ප්‍රමාණයක් පළවෙනවා. පසුගිය 2019 වර්ෂයෙත් එය දකින්න ලැබුණා. මීට හේතුව විවිධ සාහිත්‍ය සම්මාන උත්සව ඉලක්ක කරගෙන පොත් පළකිරීමයි. ලොකු මූල්‍ය ත්‍යාගයකුත් හිමිවන නිසා ආධුනිකයන්ගේ සිට ප්‍රවීණයන් දක්වා කල්පනා කරන දෙයක් තමයි ස්වර්ණ පුස්තක, රජත පුස්තක, ගොඩගේ, සාහිත්‍ය, රාජ්‍ය, ආදී කුමන හෝ සම්මානයක් තමන්ට දිනාගත හැකිදැයි බැලීම. මේ නිසා ගුණාත්මක භාවයට වඩා ප්‍රමාණාත්මක වශයෙන් සාහිත්‍ය කෘති පළවීම සෑම වසරකම ඉහළ අගයක් ගන්නවා. ඒ අතර ඇගයීමකට ලක්විය යුතු හොඳ කෘතිත් අල්ප වශයෙන් පළවෙනවා. නමුත් සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ තිබෙන කල්ලිවාදය නිසා එවැනි කෘති නොසලකා සමීක්ෂණ මණ්ඩලයේ ඉන්න පුද්ගලයන්ගේ දෘෂ්ටිවාදයට ගැලපෙන කෘති සම්මාන සඳහා ඔසවා තබනවා. මේ නිසා නීරස කෘතිවලට සම්මාන ලැබුණ අවස්ථා බොහොමයි. අද එන්ජිඕ දෘෂ්ටිවාදය තමයි සාහිත්‍ය ලෝකයේ අධිපති මතවාදය බවට පත්වෙලා තියෙන්නේ. මේ තුළින් අලුතෙන් ලියන නවකයන්ටත් මේ සමීක්ෂකයන්ගේ දෘෂ්ටිවාදයට ගැළපෙන කෘති ලිවීමට සිදුවී තිබෙනවා. එය අද සාහිත්‍ය ක්ෂේත්‍රයේ ඇති නරක පුර්වාදර්ශයක්. නමුත් සාපේක්ෂ වශයෙන් රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල තාමත් මුළුමනින්ම එන්ජිඕ දෘෂ්ටිවාදයට ගොදුරු නොවීම නිසා තරමක් හෝ සාධනීය විනිශ්චය ක්‍රියාවලියක් දැකිය හැකියි. නිදසුනක් ලෙස පසුගිය වසරේ රාජ්‍ය සම්මාන ලැබුණ මකරානන්දය කෘතිය දැක්විය හැකියි. එය ඇගයීමකට පාත්‍රවිය යුතු පොතක්. එයට විද්‍යෝදය සම්මානය වගේම නවක දායකත්වය වෙනුවෙන් ගොඩගේ සම්මානයත් ලැබුණා. යකඩ සිල්පර, බණ්ඩර මැරූ උන්, දුල්වල අලංකාරේ, කාල නදී ගලා බසී වැනි කෘතිවලට පසුගිය වසරවල රාජ්‍ය සම්මාන හිමිවීම තවත් උදාහරණයි. මින් පෙනෙන්නේ රාජ්‍ය සම්මාන විනිශ්චය ක්‍රියාවලිය තාමත් සාහිත්‍ය අධිපති දෘෂ්ටිවාදයට ගොදුරැ වී නැති බවයි. එය ඉදිරියටත් ඔවුන්ට ආරක්ෂා කරගැනීමට හැකිවේවා යන්න අපේ පැතුමයි.

ස්වර්ණ පුස්තක හා රජත පුස්තක සමීක්ෂකණ ක්‍රියාවලියේ වෙනසක් ඉදිරි වර්ෂවල සිදු නොවුණොත් එකම කුලකයකට සම්මාන බෙදාගැනීමක් හැර එය සාහිත්‍යයේ ප්‍රගමනයට හේතුවක් වෙන්නේ නැහැ. ව්‍යාපාරික වාසි පමණක් නොව සාහිත්‍යයේ ප්‍රගමනයට හේතු වෙන්න නම් අද සාහිත්‍ය කෘති විනිශ්චයේ තිබෙන කල්ලිවාදය තුරන් කළ යුතුයි. විශේෂයෙන්ම පොත් ප්‍රකාශන සංගමය විශාල මූල්‍ය පිරිවැයක් වැයකරන හා ලාභ උපයන සංගමයක් වශයෙන් සාහිත්‍ය විචාර කතිකාව දියුණු කිරීමට මැදිහත් විය හැකියි.

කවියකු නවකතාකරැවකු මෙන්ම ප්‍රකාශකයකුද වන මහින්ද ප්‍රසාද් මස්ඉඹුල තම අදහස අපට පැවසුමේ මේ අයුරිනි.

සාහිත්‍යයේදී පසුගිය වර්ෂය ගත්තම සාධනීය ලක්ෂණ දකින්න ලැබෙනවා. පසුවූ 2019 කල්පනා කර බලන විට මට සාපේක්ෂව කවි පොත් ගැන බැලුවොත්, පොත් පළකිරීමේ ප්‍රමාණාත්මක ප්‍රගතියක් තිබෙනවා. ඒක පසුගිය කාලසීමාව පුරාම දකින්න ලැබුණු දෙයක්. 2019 අවුරුද්දේ ඒ ප්‍රගතිය වඩාත් ඉහළ මට්ටමකින් දකින්න ලැබුණු බව කිව හැකියි.

සාහිත්‍ය රසවින්දනය සම්බන්ධයෙන් පසුගිය වසරේ විශාල උනන්දුවක් දැකගත හැකි වුණා. මටත් රසවින්දන වැඩසටහන් රාශියකට සහභාගි වීමේදී ඒ බව පැහැදිලි වුණා. විශ්වවිද්‍යාලවල, පාසල්වල වගේම සාමාන්‍ය රසිකයන් අතරත් මේ උනන්දුව ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්. ගම්වලත් රසවින්දන වැඩසටහන් රාශියක් සංවිධානය වී තිබුණා.

නවකතාව තුළ කැපීපෙනෙන වෙනස්කම් දැකගැනීම අසීරු වුණා. ඊට වඩා කෙටිකතාවේ සහ කවියේ විශේෂත්වයක් දැකගත හැකිවූ බවයි මගේ හැඟීම. මේ වනවිටත් කවි පොත් 100 ඉක්මවා පළවී තිබෙනවා. සාහිත්‍ය විචාරය සම්බන්ධයෙන් බැලූවිට පුවත්පත්වල සුපුරුදු විදිහට විචාර පළවුණා. මම බලාපොරොත්තු වුණා කාව්‍ය විචාරය ගැන විශේෂ කතිකාවක් ඇතිවේවි කියලා. නමුත් එවැන්නක් වුණේ නෑ. වඩාත් ගුණාත්මක බවින්, නිර්මාණාත්මක බවින් පිරිපුන් නිර්මාණ 2020 දී බිහිවුණොත් අපේ සාහිත්‍යය වඩාත් ඉහළ මට්ටමකට ළඟාකර ගැනීමට හැකිවේවි යැයි මම සිතනවා.

සාහිත්‍යයේ ප්‍රගමනයට දායක වන මැදහත් විචාරකයකු මෙන්ම ප්‍රවීණ ලේඛකයකු ද වන බුද්ධදාස ගලප්පත්ති පසුගිය වර්ෂයේ සාහිත්‍ය ප්‍රවණතා දුටුවේ මෙලෙසිනි. 

නිර්මාණ සාහිත්‍යයේ එක්තරා ආකාරයක ප්‍රබෝධයක්, ඉදිරි ගමනක් තිබූ බව පේනවා. විශේෂයෙන්ම ප්‍රධාන සාහිත්‍ය ධාරා තුන වන නවකතාව, කෙටිකතාව, කවිය ගත්විට මේ සෑම ක්ෂේත්‍රයකම අලුත් පරම්පරාව නියෝජනය කරන ලේඛක ලේඛිකාවන් බිහිවීමක් දැකගත හැකියි. කවියෙත් බොහොම උණුසුම් තරගකාරී මට්ටමේ නිර්මාණ කෘති කිහිපයක් බිහිවුණා. නවකතාවෙත් අපි හැමදාම අසා පුරුදු ප්‍රවීණයන් වෙනුවට අලුත් පරම්පරාවේ නිර්මාණාත්මක කෘති පළ වූ බව පෙනුණා.

කෙටිකතාවෙන් සුපුරුදු නම් සමඟම අලුත් නම් කිහිපයක් ඉදිරියට ආවා. සාධනීය ලක්ෂණයක් විදිහට පළවූ නිර්මාණවල ප්‍රමාණාත්මක වැඩිවීමක් තිබෙනවා. ගුණාත්මක වශයෙනුත් එක්තරා මට්ටමක ඉදිරි ගමනක් පේනවා. ඒ නව නිර්මාණකරැවන්ගේ ප්‍රවේශයත් සමඟයි.

ඇතැම් ප්‍රවීණයන්ගේ කෘති ගැන මම සෑහීමට පත්වෙන්නේ නැහැ. සමහරවිට ඔවුන් සම්මානම ඔළුවේ තියාගෙන කෘති රචනා කරනවද කියලත් හිතෙනවා. සම්මාන උළෙලවල නරක පැත්තක් තමයි ලේඛකයා හැකි සෑමවිටම සම්මානවලට අවුරුද්දකට පොතක් බැගින් ලිවීමට පෙළඹවීම. ඇත්තටම විය යුත්තේ පුළුවන් ඉක්මනට පොතක් ලිවීම නොවෙයි. ලේඛකයා මුලින්ම තෘප්තිමත් වී තම නිර්මාණ කෘතිය පාඨකයා අතට පත්කළ යුතුයි කියන මතයේ තමයි මම ඉන්නේ.

සම්මාන උළෙල ගැන නම් මම මොනවත් කියන්නෙ නෑ. ඉතිහාසය පුරාම සම්මාන උළෙල විවිධ විනිශ්චයන්වලට ලක්වෙනවා. නමුත් වැරදි කෘතීන්වලට සම්මාන ගියා කියන කතාව වෙනුවට පවත්වන සම්මාන උළෙල කිහිපයකදී හොඳම කෘති මග නොහැරී තෝරාගත් බව කිවයුතුයි. ඒ කියන්නේ හොඳ කෘති අතහැරුණේ නැහැ.

  කුසුම්සිරි

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00