2020 ජනවාරි 04 වන සෙනසුරාදා

දහමට අභියෝග කළ බංග්ලාදේශ් සිනමාකරුවා!

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 48

පසුගියදා බාලිවුඩ් සිනමාපටයක විශිෂ්ටත්වය වින්දනය කිරීමට අපට අවස්ථාව හිමිවිය. බාලිවුඩ් යනු බංග්ලාදේශයේ ඩකා අගනුවර කේන්ද්‍ර කරගෙන බිහිවන සිනමා කෘතිවේ. වර්ෂ 1971 දී බංග්ලාදේශය, පකිස්ථානයෙන් වෙන්ව නිදහස් රටක් බවට පත් විය. ඒ සමඟම එරට සිනමා කර්මාන්තය ද දියුණු වන්නට විය. අද වනවිට බංග්ලාදේශය වාණිජ සිනමාව මෙන්ම කලාත්මක සිනමාවෙන්ද ඉදිරියට පැමිණ තිබෙන බව ඒ නිර්මාණ විමසන විට පෙනේ. තන්වීර මොකාම්මල්, ගියාසුඩින් සෙලිම්, බිජොන් ඉම්ටියාස් මේ සිනමාකරුවන් අතර ඉදිරියෙන් සිටින අධ්‍යක්ෂවරු කිහිප දෙනෙකි.

ඒ අතරින් බිජොන් ඉම්ටියාස් නව මං සොයායන තරැණ අධ්‍යක්ෂවරයෙකි. ඔහු තිරරචනය ලියා අධ්‍යක්ෂණය කළ මතීජ් පෝර්ජා දේශ් (Kingdom of clay subjects) බංග්ලාදේශයේ මෙන්ම  විදෙස් ජාත්‍යන්තර සම්මාන රුසකට හිමිකම් කීමට සමත් විය. මෙම චිත්‍රපටය පෙළගස්වා ඇත්තේ දස වසරක් වයසැති ජමාල් නම් දරුවාගේ කතා පුවත පාදක කර ගනිමිනි. බංගල්දේශයේ ග්‍රාමීය පරිසරයක ජමාල් ඔහුගේ තරුණ මව සමඟ ජීවත් වේ. ඒ පල්ලියේ ඉමාම්වරයකු වූ හූජූර් ලබාදුන් ඉඩමක අටවාගත් පැල්පතකය. ජමාල්ගේ මව පාතිමා නිවෙසක වැඩකාරියකි. ජමාල් බයිසිකල් වින්කලයක සුළු සුළු වැඩ කර කීයක් හෝ උපයාගනී. ජමාල්ගේ අසල්වැසි මිතුරිය ලොක්කි අවුරුදු 12ක් වයසැති දැරියකි. ඇගේ පියාගේ බලකිරීම මත ලොක්කි බාලවයස් විවාහකට ඇතුළු වී ගමෙන් පිටව යයි. ඉන්පසු ජමාල් තවත් හුදෙකලා වේ. ඔහුට අවශ්‍ය වන්නේ පාසලට ඇතුළු වී සමවයසේ දරුවන් ඇසුරු කිරීමටය. මව එයට ඉඩ නොදෙන්නේ ඉගෙනනොගත් මිනිසුන් ඕනෑතරම් ධනවත්ව සිටිනවා කියමිනි. ජමාල් තනිවම පාසලට යයි. පාසල් ලිපිකරැ වන මුස්ලිම් ජාතිකයා ජමාල් තනිවම පැමිණීම ගණන් නොගත්තද විදුහල්පති වන හින්දු ජාතික නිමල්චන්ද්‍ර ඔහු පාසලට ඇතුළත් කර ගැනීමට කැමති වේ. පාසලේ ලිපිකරු ජමාල්ගෙන් පියාගේ නම විමසුවද ඔහු එය නිවැරදිව කීමට අපොහොසත් වේ. මේ නිසා ලිපිකරැවා ජමාල් පාසලෙන් පන්නාගන්නේ වැඩිහිටියකු සමඟ එන ලෙස කියමිනි.

මේ අතර ජමාල්ගේ මව කලකට පෙර ගණිකාවකව සිටි බව හෙළිදරව් වේ. මේ අන්දමින් ගලායන කතාව බංග්ලාදේශයේ ග්‍රාමීය වටපිටාවක සුන්දරත්වය යට සැඟවුණු ජීවන ගැටලු මතුපිටින් මුස්ලිම් ආගමික සළු පොරවාගත් බහුතරයකගේ සැඟවුණු දුෂ්ටත්වය අපට පෙන්වා දේ. පාතිමා ගණිකාවක බව දැනගත් විට එතෙක් ඇයගෙන් වැඩ ගත් අය පවා ඇයට සලකන්නේ පහත් අන්දමිනි. ඇයට පහර දී කාමරයක සිරකර තබයි. ඇය වෙනුවෙන් ඉදිරිපත් වූ හූජූර් නම් ඉමාම්වරයාටද පහර දේ. ආගමේ මුවාවෙන් මානුෂිකත්වය යටපත් කිරීමක් මෙහිදී සිදුවේ. එය බංග්ලාදේශයේ පමණක් නොව ශ්‍රී ලංකාවේද දැකගත හැකිය.

බිජොන් තම තිරරචනයෙන් මෙම අන්තවාදීන්ගේ ඍණාත්මක හැසිරීම මනාව තම කතාවට ගලපා තිබේ. අවසානයේ චිත්‍රපටය ධනාත්මක අවසානයකට ළඟා වේ. ඒ හූජූර් ගමෙන් පැනයන පාතිමාට සහ ජමාල්ට සරණ වීමට එක්වීමෙනි. කුරානයේ පවසන්නේ මිනිස් යහපත බව යයි මෙම චිත්‍රපටයේ යටිපෙළ ඔස්සේ පැවසීමට අධ්‍යක්ෂ බිජොන් නිර්භීත වී තිබේ. මුස්ලිම් ආගම පැතිරි රටක එම ආගමට මුවාවී දුෂ්ටත්වය පතුරැවන පිරිස් විවේචනය කිරීම එක්තරා අභියෝගයකි.

මෙහි ජමාල්, ලොක්කි යන ළමා චරිත විශිෂ්ට ලෙස හැසිරවීමට අධ්‍යක්ෂවරයා සමත්ව සිටී. ඔවුන්ගේ මුහුණේ ඉංගිත හා හැසිරීම් ඔස්සේ ළමා වියේ ස්වභාවය කදිමට නිරෑපණය වේ. ජමාල්ගේ මව ලෙස චින්මෝයී ගුප්තගේ රංගනය ද ඉහළ මට්ටමක පවතී. තම අප්‍රසන්න අතීතය වළලා දමා පුතුද සමඟ යහපත් අනාගතයක පෙරනිමිති දකින දිරිමත් ගැහැනියක් අපට ඇයගෙන් දැකගත හැකිය.

සම්ප්‍රදායට හිරවී එයම බදාගෙන සිටිනවා වෙනුවට ඉන් බැහැර වී වඩාත් යහපතක් ළඟා කරගත හැකිය යන මානුෂික පණිවුඩය මෙම සිනමාපටය අපට ලබා දේ. බෘෘස් ඩිස්කෝල්ගේ සංගීතයත් රම්ෂ්රෙයාස් රාවෝ සහ ඇන්ඩෘෘ වෙස්මන්ගේ කැමරාවත් චිත්‍රපටයට විශාල මෙහෙවරක් කර ඇත.

  ප්‍රේක්ෂක