2020 ජනවාරි 04 වන සෙනසුරාදා

මත් රකුසාට බිලිවෙන මධ්‍යම පළාත් ඉස්කෝල

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 72

මධ්‍යම පළාත ගිලගත් මත්රකුසා මධ්‍යම පළාතේ පාසල් තුළට එය ව්‍යාප්ත කරමින් මේ වනවිට පාසල් 126ක් ගොදුරු කරගෙන ඇතැයි පසුගියදා මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවති මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු රැස්වීමේදී අනාවරණය විය.

මෙම අනාවරණය කිරීම සිදුකරනු ලැබුවේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා විසිනි. ආණ්ඩුකාරවරයා එම හෙළිදරව්ව සිදුකළේ මධ්‍යම පළාතේ අධ්‍යාපන බලධාරීන් විසින් ලබාදුන් තොරතුරැ පදනම් කර ගනිමිනි.

විශේෂයෙන් මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පාසල් සිසුන් හා පාසල් හැරගිය තරැණ පිරිස් අතර ගංජා, බාබුල්, කූල්, හෂීස් වැනි මත්ද්‍රව්‍ය බහුලව භාවිතා වන බවත් හෙරොයින්, මරිජුවානා සහ මදන මෝදයක මිශ්‍රිත මත්ද්‍රව්‍ය සහ නාසයට තබා උරන මත්කුඩු විශේෂයක් ව්‍යාප්තව තිබෙන බවත් පොලිස් ස්ථාන හරහා සිදුකරනු ලබන මත්ද්‍රව්‍ය වැටලීම්වලදී අනාවරණය වෙයි.

මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ මෙහෙයවීමෙන් පැවති පළාත් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුවට මධ්‍යම පළාතේ දිස්ත්‍රික් ලේකම්වරැ (නුවර, මාතලේ සහ නුවරඑළිය) පළාත් අධ්‍යාපන බලධාරීන්, විදුහල්පතිවරුන් අමාත්‍යංශ ලේකම්වරැන් පොලිස් හා ත්‍රිවිධ හමුදා නිලධාරීහු සහභාගී වූහ.

එහිදී පාසල් තුළට මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීම පිළිබඳව කමිටුවේ දැඩි අවධානය යොමුවිය. විශේෂයෙන් විදුහල්පතිවරු හා ගුරු මහත්ම මහත්මීන් පාසල් තුළදී දරැවන් පිළිබඳව අවධානයකින් පසුවීමත් ඔවුන් පාසල තුළට රැගෙන එන යම් යම් ද්‍රව්‍ය හා ආහාර සම්බන්ධයෙනුත් අවධානය යොමු කිරීමත් කෙරෙහි මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

මධ්‍යම පළාතේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන පිළිබඳව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගෙන් කළ විමසීමකදී ආණ්ඩුකාරවරයා මෙසේ කීය.

මධ්‍යම පළාතේ පාසල් 126ක් මත්ද්‍රව්‍යයට යොමු වූ සිසුන් සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යංශය හඳුනාගෙන තිබෙන බවට මා වෙත වාර්තා කර තිබෙනවා. අපි ඒ සම්බන්ධව විශේෂ අවධානයක් යොමුකළා. මේ ගැන විශේෂයෙන් සොයා බලන්නට ඒ ඒ විදුහල්වල විදුහල්පතිවරැන් දැනුවත් කිරීමට ඉදිරියේදී පියවර ගනු ලබනවා.

පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් ඔවුන් දැනුවත් කරල මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී වැඩසටහන් ආරම්භ කිරීමටත් මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති මගින් හා මධ්‍යම පළාතේ ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් මෙන්ම අන්තරායදායක ඖෂධ පාලක මණ්ඩලයේ නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් පළාත් අධ්‍යාපන බලධාරීන් මේ සැම ඒකරාශී කර ගනිමින් මෙම මත්ද්‍රව්‍ය ව්‍යසනය මර්දනය කිරීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නවා. 

විශේෂයෙන් පාසල් දරුවන් මගින් මත්ද්‍රව්‍ය ගෙන්වා ගැනීම ගැනත් අවධානය යොමුකළ යුතුව තිබෙනවා. අද ඇතැම් වෙළෙඳ ප්‍රචාරණ දැන්වීම් නිසාත් ළමුන් මත්ද්‍රව්‍ය භාවිතයට ඉබේම ඇබ්බැහි වනවා. මේ ගැනත් විශේෂ අවධානයක් යොමුකළ යුතුයි.
අද අපට ලැබී තිබෙන තොරතුරු අනුව පාසල් දරැවන් සූක්ෂම ලෙස මත්ද්‍රව්‍ය වෙත යොමු කරවීමේ වැඩපිළිවෙළවල් විවිධ වෙළඳ ප්‍රචාරණ කටයුතුවලින් මෙන්ම විවිධ රසකැවිලි මගිනුත් සිද්ධ වෙනවා.

මේ මත්ද්‍රව්‍ය ව්‍යසනය සහමුලින්ම මධ්‍යම පළාතෙන් තුරන් කිරීම සඳහා මාසයක් ඇතුළත ඒකාබද්ධ සැලැස්මක් අවශ්‍යයි. මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ජාතික මට්ටමේ සැලසුම් තිබුණත් වර්තමානයේ පවතින දත්ත පිළිබඳව අවධානය යොමුකළ විට එම සැලසුම් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ගැටලු තිබෙනවා. මධ්‍යම පළාතේ පාසල් 126ක් මත් රකුසාට යොමු වී තිබීම සුළුවෙන් තකන්න බැහැ. මේ සම්බන්ධව අප කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතුයි. අපේ දරු පරපුර මත් උවදුරෙන් මුදවා ගැනීම සඳහා ගනු ලබන සෑම කටයුත්තකටම මධ්‍යම පළාතේ ආණඩුකාරවරයා වශයෙන් මාගේ පූර්ණ සහයෝගය ලබාදෙනවා. එය මතු පරම්පරාව රුකගැනීම වස් අපගේ වගකීමක් වෙනවා.

මධ්‍යම පළාතේ වතුකරය ආශ්‍රිතව විවිධ මත්ද්‍රව්‍ය (හෙරොයින්, ගංජා, අයිස්, කසිප්පු, මදන මෝදක ගුලි, මත්ද්‍රව්‍ය මුසු සුරැට්ටු, සීනි කරිඤ්ඤං (මත් වතුර) නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ 2019 ජනවාරි මස 01 වැනි දින සිට 2019 දෙසැම්බර් මස 25 දින තෙක් සිදුකරන ලද වැටලීම් සංඛ්‍යාව 271,230ක් බව මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාල සංඛ්‍යා ලේඛනවලින් තහවුරැ වී තිබේ.

විශේෂයෙන් මහනුවර පොලිස් කොට්ඨාසය තුළ මත්ද්‍රව්‍ය වැටලීම් 299,9111ක්ද තෙල්දෙණිය පොලිස් වසම් තුළ වැටලීම් 30135ක්ද මාතලේ පොලිස් කොට්ඨාසය තුළ වැටලීම් 108,000ක්ද ගම්පොළ පොලිස් කොට්ඨාසය තුළ වැටලීම් 65630ක්ද සිදුකර ඉහතින් සඳහන් කළ විවිධ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙන බව පොලිස් දත්ත වාර්තාවලින් හෙළිවිය. මාතලේ මහනුවර පොලිස් කොට්ඨාසවලින් සොයාගත් හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය මිලිග්‍රෑම් 170,4427කි. අයිස් නැමැති මත්ද්‍රව්‍ය ප්‍රමාණය මිලිග්‍රෑම් 8783කි.

නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ සිදුකරන ලද පොලිස් වැටලීම්වලදී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 29151ක්ද අයිස්, මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 12253ක්ද වෙනත් විවිධ විෂ මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 14,89,256ක්ද වශයෙන් මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාල දත්ත වාර්තාවලින් අනාවරණය කරගත හැකි විය.

මහනුවර මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට විවිධ මත්ද්‍රව්‍ය පැමිණීම සිදුවන්නේ කොළඹ ප්‍රදේශයෙන් පැමිණෙන ඇතැම් ජාවාරම්කරැවන් හා වෙනත් විවිධ දේශීය හා විදේශීය සංචාරකයන් මාර්ගයෙන් බවද හෙළි වී තිබේ. විශේෂයෙන් මහනුවර ප්‍රදේශයේ ප්‍රධාන පාසල් අතර පැවැත්වෙන ක්‍රිකට් තරග හා වෙනත් තරගකාරී ක්‍රීඩාවන් (රග්බි, පාපන්දු, මලල ක්‍රීඩා) අවස්ථාවන්හිදද විවිධ උත්තේජක මත්ද්‍රව්‍ය තරැණ කොටස් අතර ව්‍යාප්තවීමද ඉතා සුලභව දක්නට ලැබෙයි.

මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති ඩී.එල්.ආර්. රණවීර මහතා පැවසුවේ මධ්‍යම පළාත් පාසල් දරැවන් ඒකරාශි කර ගනිමින් වරින් වර විවිධ අවස්ථාවන්හිදී මත්ද්‍රව්‍ය භාවිතයෙන් (විශේෂයෙන් අන්තරායකර මත්ද්‍රව්‍ය) සිදුවන භයානක ප්‍රතිවිපාක තත්ත්වයන් පිළිබඳව පාසල් මට්ටමින් ඔවුන් දැනුවත් කිරීම තුළින් පාසල් දරැවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් බේරාගත හැකි බවකි.

 ජේ.ඒ.එල්. ජයසිංහ

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00