2020 ජනවාරි 04 වන සෙනසුරාදා

උම්මග්ග ජාතකය කියැවූ අපේ ඉංජිනේරුවෝ

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:31 432

ග්‍රීක යුගයේ පහළ වූ ඇතැම් දාර්ශනිකයෝ විෂය කිහිපයක කෙළ පැමිණියෝය. ඔවුහු එක් විෂයක් පමණක් හැදෑරුවෝ නොවූහ. සොක්‍රටීස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් ආදීහු ඒ ගණයට වැටෙති. කලාව, විද්‍යාව, ගණිතය, සාහිත්‍ය, වෛද්‍ය විද්‍යාව, දේශපාලනය ආදී හැම විෂයක්ම එකී දාර්ශනිකයෝ හැදෑරුවෝය. මධ්‍යකාලීන යුගයේ විද්‍යාත්මක හැදෑරීම් අභාවයට ගිය පසුව නැවත විද්‍යා පුනරුදය ඇතිවන්නේ 1400 ගණන් එළඹෙන විටය. 1600 ගණන්වල මුල්භාගයේ විසූ ගැලීලියෝද හොඳ සාහිත රසකාමියෙකි. බයිබලයේ දුර්මතයන්ට ඔහුගේ පර්යේෂණවලින් පහර වැදුණද, ඔහු බයිබලයේ සාහිත්‍යය අනූනව රසවිඳි බව කියැවේ. මහාචාර්ය කාලෝ ෆොන්සේකා වැනි විද්වතුන්ද විවිධ විෂයන් වෙත නැඹුරුවෙමින් දාර්ශනික දෘෂ්ටිකෝණයෙන් සරලව කරුණු විග්‍රහ කිරීමේ ආදර්ශය මෙරටට දුන්නේය.

කලාව, සංගීතය, සාහිත්‍ය ගැන ප්‍රසිද්ධියේ කතා නොකළත් එම ක්ෂේත්‍රවල සැබෑ රසකාමීන් වූ විද්‍යාඥයන් මට මුණගැසී තිබේ. ඒ අයගෙන් බොහෝ දෙනෙක් ‘82 වසරේ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු විද්‍යා පීඨයෙන් සාර්ථක අධ්‍යයනයන් නිමාකොට නික්ම ගිය අයයි. තම වෘත්තීන්හි අතිවිශිෂ්ට දස්කම් පෙන්වීමට අමතරව ඒ අයගෙන් කෙනෙක් ඉංජිනේරු විද්‍යාවේ විශේෂිත ක්ෂේත්‍රවල ගැඹුරු අධ්‍යයනයන්හි නිරතවෙමින් ආචාර්ය උපාධි (PhD) ලබා ගත්හ. ඔවුන් සෑම දෙනකුම පාහේ ජාත්‍යන්තර මට්ටමේ නිපුණතා ඇති ඉංජිනේරුවෝය.

82 වසරේ මොරටුව විශ්වවිද්‍යාලයෙන් නික්ම ගිය ඉංජිනේරු ශිෂ්‍යයන්ගෙන් කිහිප දෙනකු මා හඳුනාගත්තේ ඔවුන්ගේ සරසවි ජීවිත ගෙවන කාලයේදීමය. ඔවුන්ගේ වසරේ සොයුරන් (බැචාලා) දෙකට බෙදී ක්‍රිකට් ක්‍රීඩා කරන විට ආගන්තුකයකු වූ මාද ඔවුහු එක් පිලකට ගත්හ. විනෝද ගමන් යන විට, සාදවලට මට ආරාධනා කළෝය. සතුටු සංවාදයේදී ඔවුන් තමන්ගේ විෂය හැර අනෙක් හැමදේම කතා කළ නිසා ඔවුන් සමඟ ඇසුර වඩාත් රසවත් විය. සරසවි ශිෂ්‍ය අවධියේම ඔවුන්ව මට හඳුන්වා දුන්නේ අතුල හෙවත් අතුල ද සිල්වාය. ඔහු මගේ ළමා කාලයේ මිතුරෙකි.

මට මුලින්ම අතුල මුණගැසුණේ ගල්කිස්සේ හේනපාර කනිෂ්ඨ විද්‍යාලයේ පිට්ටනිය අයිනේ තිබුණු අඩි 8ක් පමණ උස පස් කණ්ඩිය මුදුනේදීය.

“මේ ඉන්නෙ අතුල”.. අයියා මට ඔහුව හඳුන්වා දුන්නේය. මම එවෙලේම අතුලට පහරක් ගසා පස් කණ්ඩියෙන් පහළට ඔහුව ඇද දැමූ බව අයියාත් අතුලත් තවම කියති. මා එසේ කළේ ඇයිදැයි මම නොදනිමි. ඒ කුඩා කාලයේ මගේ හැටිය. තමාගේ පන්තියට අතුල නැමැත්තකු අලුතෙන් පැමිණි බවත් ඔහුගේ පියා ගල්කිස්ස දුම්රිය ස්ථානාධිපතිවරයා බවත් අයියා මට කියා තිබුණේය. ඉන් වසර කිහිපයක් ඉක්ම ගොස්, අප වෙනත් පාසල්වලට ගිය පසු 1970-70 කාලයේ (ඇඳිරි නීතිය පැවති (71 කැරැල්ල සමයේ) අපේ කෙළිබිම වූයේ ගල්කිස්ස දුම්රිය ස්ථානාධිපති නිල නිවෙස ඉදිරිපස තල් ගස් වලින් වටවූ සතරැස් බිම්කඩයි. පාඉන්න පැත්තෙන් (දකුණත් පිතිකරුගේ) හයේ පහර එල්ල කළ යුතු වූයේ දුම්රිය ස්ථානයේ තාප්පයෙන් ඔබ්බටය. ඉදිරි පාදයේ හයේ පහර එල්ල කළ යුතු වූයේ මවුන්ට් පිටියේ පාමුලටය. බෝල පාර වැදී බිඳෙන නිල නිවෙසේ ජනෙල් වීදුරුවක් පාසා දුම්රිය ස්ථානාධිපතිතුමා (අතුලගේ පියා) සිය වියදමෙන් ගෙනත් දැමුවේය.

ඉංජිනේරු පීඨයේ සිසුන් මගේ මිතුරන් වූයේ අතුල උසස්පෙළ සමත් වී එම පීඨයට ඇතුළත් වූ පසුවය. එම වසරේම ඉංජිනේරු සිසුවකු වූ “සේරා”ව මා හඳුනාගත්තේ තවත් අවුරුදු තුන හතරක් ඉක්ම ගිය පසුවයි. සේරා නමින් මිතුරන් ඔහුව ඇමතුවත් ඔහුගේ සැබෑ නම කමල් සේනසිංහය.

සියලු මිතුරන් රැස්කිරීමේ බලයක් සේරාගේ ගිටාරයට ඇත. සේරා සාහිත්‍ය රසවිඳින්නේ සියලු මිතුරන් හට සාහිත රසය බෙදා දෙමිනි. සේරා පරිණාමවාදය, විශ්වය ගැන කරන සංවාදවලින් මිතුරු විද්වතුන්ගේ පරිකල්පනය අලුත් වෙයි. මට පෙනෙන්නේ ඔහු ග්‍රීක යුගයේ විසූ දාර්ශනිකයකු සේය. 88/89 කාලයේ සේරා සේවය කළේ සපුගස්කන්ද ඛනිජ තෙල් පිරිපහදු ඒකකයේ විශේෂ අංශයක් භාර ඉංජිනේරු ප්‍රධානියකු ලෙසය. එවකට ඔහු නිර්මාණය කොට තිබූ අකුණු සන්නායක පද්ධතිය මෑතක් වනතුරුම භාවිත කළ බව මා අසා තිබේ. ඒ කාලයේ උම්මග්ග ජාතකය කියැවූ සේරා සියලු මිතුරු සමූහයාටම එහි රස බෙදා දුන්නේය. වෙනත් තාක්ෂණික අංශවල සේවය කළ ඔහුගේ අසල්වැසි මිතුරෝ ද උම්මග්ගය ගැන ඔහු කරන වර්ණනාවන් දෑස් අයාගෙන අසා සිට උම්මග්ග ජාතකය කියවන්නට ගත්හ. උම්මග්ග ජාතකයේ චරිත විග්‍රහ, සිදුවීම්, අඛ්‍යාන විලාසය ගැන සේරාගෙන් දැනගත් ඉංජිනේරු මිතුරෝද උම්මග්ග ජාතකය කියවන්නට ගත්තෝය.
කේවට්ටයා, සේනක පඬිවරයා ආදීන් අපටද කලක් යනතුරු අමතක කරන්නට නොහැකි විය.

ඒ කාලයේ සති අන්තයේ (මීවිතක් තොලගාමින්) මිතුරු සංවාදයේ යෙදෙන ඔහු වරෙක විශ්වය ගැන ප්‍රශ්නයක් මතුකොට, එකිනෙකා බුද්ධි කලම්භනයට ලක්කොට, අනතුරුව ඒ ගැන නවතම විද්‍යාත්මක මත සහිත විග්‍රහයක් ඉදිරිපත් කරයි. ඒ ගැන අධ්‍යයනයක යෙදෙන්නට සෙසු මිතුරන්ද ඔහු පොළඹවයි.

අනූ ගණන්වල මුල් කාලයේදී ඔහු මිතුරන් හා එක්ව 1958 බණ්ඩාරනායක ඝාතනයේ සුලමුල හොයන්නට පෙළඹුණේය. එහි ප්‍රතිඵලයක් ලෙස ඊට සම්බන්ධ හපුතලේ පිහිටි (ඇඩිෂම්) බංගලාව දැකබලා ගන්නට සියලු දෙනාට ආසාව ඇතිවිය. ඇඩිෂම්හි ඇති පූජක අභ්‍යාස ආයතනයේ ප්‍රධාන පූජක තැනට (Father Superior) ලිපියක් ලියූ සේරා අපට එහි නවතින්නට අවසර ගත්තේය. එවකට ඔස්ට්‍රේලියාවේ පදිංචිව උන් සේරා ඒ උදෙසාම මෙරටට පැමිණියේය. ඇඩිෂම් බංගලාවේ දින 3ක් නතර වී සියුම් සංවාදයේ යෙදෙන්නට අපට අවසර ලැබිණි. එහි ගීත ගයන්නට තහනම් වුවද මීවිතක් තොලගාමින් විවේකී සංවාදයේ යෙදෙන්නට තහනමක් නොවීය. එවකට එහි සිටි Brother John අපට එහි ඉතිහාසය කියා දුන්නේය. ඇඩිෂම් මුල්වරට දකින විට එම ගොඩනැගිල්ල කතා කරන්නා සේ මට දැනුණි.

සේරාගේ බුද්ධිමය ක්‍රියාදාමයන් අතරින්, වඩාත් මගේ සිතගත්තේ දැනට වසර හයකට පමණ ඉහතදී ඔහු ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ පැවැත්වූ දේශනයයි. පැය 2ක් පමණ දීර්ඝ වූ එම දේශනයේදී වචන දහස් ගණනක් කතා කරන රූපසටහන් 20ක් පමණ ඔහු ඉවහල් කර ගත්තේය. ඔහු ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වූ එම දේශනය නම්කොට තිබුණේ “Points to Ponder” (සිතා බලන්නට කාරණා) යනුවෙනි. එම දේශනයේදී ඉංජිනේරු විද්‍යාව ගැන කිසිවක් කතා නොකරන බව ඔහු මුලින්ම කීවේය. හැඳින්වීමකින් අනතුරුව මූලික ගණිතය සහ මානව ප්‍රතිභානය, මූලික තාරකා විද්‍යාව, විශ්වයේ සම්භවය, සාපේක්ෂතාවාදය, පෘථිවිය නිර්මාණය පිළිබඳ මත, භූ තැටි සංකල්පය, පරිණාමය, ඒස් සහ වානර වර්ග, DNA සහ මානව පරිණාමය හා දාර්ශනික ධ්‍යානයන් පිළිබඳව කරුණු පැහැදිලි කෙරිණි. එම දේශනය කුඩා දරුවකුට පවා වැටහෙන ආකාරයෙන් කළ කරුණු විග්‍රහයකි. පැමිණ සිටි සියලු විද්වතුන්ගේ සිත් අලුත් දිශානතිවලට යොමුකොට අලුතෙන් යමක් සිතා බැලීම සඳහා නැඹුරු කරන්නට දේශනය ඔස්සේ සේරා සමත් විය. පෘථිවියට ආලෝක වර්ෂ 400ක් දුරින් පිහිටි සමීපම තාරකාව ගැන ඔහු කළ ඉදිරිපත් කිරීමට ලංකා ඉතිහාසය හා “නපුරු උණ කටුව කකුළේ ඇනුණාය” කවියද ඇතුළු විය.

2019 ජූලි මාසයේ සුන්දර බෝපත් ඇල්ල පෙනෙන මානයේ නිවාඩු නිකේතනයකට සිය මිතුරන් රැස් කරන්නට සේරාට හැකි විය. සේරාගේ ගිටාර හඬට සැවොම ඇදී ආවෝය. මගදීම අවිස්සාවේල්ලේ කවියාගේ කඩයේ පාතරාසයට එක්වී කිරිමාළු, ඉඳිආප්ප සහ අලකොළ මාලුව රසවිඳ තුන්දොහේ රස ගුලාවට පිවිසියෙමු. 1982 සරසවියෙන් නික්මුණු ඉංජිනේරු ශිෂ්‍යයෝ දැන් ලොව දිනූ විද්වත් ඉංජිනේරුවෝ වී සිටිති. ඔවුන් ජාත්‍යන්තරයට ගිය අය නිසා විශේෂයෙන් අපේ මිතුරන් ගැන නොකියා බැරිය. තම විද්වත් බවේ කිරීට පසෙක තබා සේරාගේ ගිටාරය සමඟ රස බෙදාගත් පිරිස අතර සිටි එක් අයෙකි, මහාචාර්ය කමල් ප්‍රේමරත්න. (ඔහු මියාමි ඉංජිනේරු විද්‍යායතනයේ විදුලි හා පරිගණක ඉංජිනේරු අංශයේ මහාචාර්යවරයාය.) ආචාර්ය සමන් ද සිල්වා තවත් අයෙකි. ඔහු දැන් මෙල්බර්න් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි.

සිංහල ගීත සාහිත්‍යයේ අමතක නොවන ගී කියා විනෝදවන අතර, දේශපාලනය, අධ්‍යාපනය, ආර්ථිකය, පරිණාමවාදය, දර්ශනය පිළිබඳ සාරගර්භ කථිකා රාශියක් එම තුන්දොහේ දී සිදු වූයේය.

ගිය අවුරුද්දේ පෙබරවාරියේදී රක්වානේ කඳු මැද පිහිටි නිවාඩු නිකේතනයක නැවතුණු අපි සේරාගේ කුඩා අවධියේ පාසල සොයන්නට ඔහු ගිය ගමනට එක් වූයෙමු. ඒ ගමනට වෙස්ටර්න් ඔස්ටාරියේ විශ්වවිද්‍යාලයේ විදුලි හා පරිගණක ඉංජිනේරු විද්‍යා අංශයේ මහාචාර්ය ජගත් සමරබන්දු ද අපේ ගමනට එක් වූයේය. (ඔහු ද ඉහත කී 82 ශිෂ්‍ය සමූහයෙන් අයෙකි.) 

සේරා මෑතක සිට සිංහල නවකතා කියවන්නට පටන්ගත් විට මම බෙහෙවින් සතුටු වූයෙමි. මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ “සෙංකොට්ටං” නවකතාව විසින් ඔහු අලුත් නවකතා කියවන්නට පෙළඹුවූයේය. ඔහු එය රසවිඳි ආකාරය මිතුරන්ට කී විට තවත් මිතුරෝ රාශියක් එය කියවූවෝය. මොහාන් රාජ් මඩවලගේ “ලොවීනා” නවකතාව කියවූ ඔහු ගල්කිස්ස හෝටලයේ දැනට ඉතිරි වී තිබෙන උමඟ ද දැකගත්තේය. සේරා ගොඩකවෙල ප්‍රසාද් මස්ඉඹුලගේ නිවෙස සොයා ගියේය. එදා මස්ඉඹුල කොළඹ උන් නිසා ඔහුට හමුවුණේ නැත. 

අතීත ග්‍රීසියේ උන් සියලු විෂයන් හදාරන විද්වතුන් දැන් නැතැයි අප සිතා සිටියද එය එසේ නොවේ. අප්‍රසිද්ධියේ අප අතරම එවැන්නෝ සිටිති. 82 ඉංජිනේරුවන් ලෙස මොරටුව සරසවියෙන් පිටවූ අය ගැන විස්තරවලින් මා උත්සාහ ගත්තේ ඒ ටික කියන්නටය. ඔවුන්ගේ නිපුණතාවලින් ලෝකය වැඩ ගෙන තිබේ. අපගේ ආර්ථිකයවත්, සමාජයවත්, අධ්‍යාපන ක්ෂේත්‍රයවත් ඔවුන්ගේ දක්ෂතා උරාගන්නට සමත් නොවීම නම් සැබෑ වේදනාවකි.

 සමන් පුෂ්ප ලියනගේ