2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

බණ කියා පාසලක් හැදූ හාමුදුරුවෝ

 2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 64

උන්වහන්සේ බුද්ධ පුත්‍රයෙකි. සැබෑ බුද්ධ පුත්‍රයෙකි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉතාම දුෂ්කර ගල්කිරියාගම උල්පතගම ගම්මානයේ පිහිටි ශාක්‍යසිංහරාමයේ වැඩසිටින අඹන්පොළ විනීත හිමියෝ ගම්මානයේ ජීවත් වන අහිංසක අසරණ දූවා දරුවන් වෙනුවෙන් ඉංග්‍රීසි සහ පරිඝනක අධ්‍යාපනය නොමිලේ ලබා දෙන පාඨශාලාගාරයක් ඉදිකළහ.

“මේ විහාරස්ථානය පිහිටලා තියෙන්නේ ගල්කිරියාම උල්පතගම ගම්මානයෙයි. මීට අවුරුදු දහයකට විතර උඩදී මම විදෙස් ගතවුණා. ඊට පෙර වැඩසිටියේ මේ විහාරස්ථානයෙයි. මේ ගම්මානයේ ජීවත් වෙන අහිංසක ගම්වාසීන්ගේ සිව්පසෙන් ජීවත් වෙලා ඉංග්‍රීසි අධ්‍යාපනය ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගත්තු අධ්‍යාපනය මේ ගමේ දුවා දරුවන්ට මම ලබාදෙන්න තීරණය කළා.”යැයි අඹන්පොළ විනීත හිමියෝ දේශයට පැවසූහ.

ශාක්‍යසිංහාරාමයේ වසර ගණනාවක් වැඩ විසූ අඹන්පොළ විනීත හිමිපාණෝ මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දුනීසියාව, තායිලන්තය, තායිවානය, වියට්නාමය වැනි රටවල සංචාරය කරමින් ධර්ම ප්‍රචාර කටයුතුවල නිරත වූහ. එයින් උන්වහන්සේ තමන්ට ලැබුණු සම්පත් උපයෝගි කරගනිමින් ගමේ අහිංසක දරුවන් වෙනුවෙන් යමක් කිරීමට ඉටාගත්හ. ඒ වනවිට ශාක්‍යාරාමය වැනි දුප්පත් විහාරස්ථානයට බහුකාර්ය ගොඩනැගිල්ලක් නොතිබුණි. අබලන් වූ ධර්මශාලාවක් දහම් අධ්‍යාපනයටත් ගමේ අනෙකුත් වැඩකටයුතු වෙනුවෙනුත් පැවතුණි. එයද ඉතාම අබලන් ධර්මශාලාවකි. මේ නිසා තමන් හැදීවැඩුණු දුප්පත් විහාරස්ථානය වෙනුවෙන් යම් මෙහෙවරක් කළහැකි කාලයේදී එම මෙහෙවර කළ යුතුයැයි අදහස විනීත ස්වාමීන් වහන්සේගේ හිත තුළ ඇති විය.

ගමේ පන්සලෙන් අධ්‍යාපනය ලබමින් බොහෝ වරප්‍රසාද ලබාගන්නා, ඒ වරප්‍රසාද හේතුවෙන් ගමේ පන්සල අමතක කරන, ගැමියන් අමතක කරන ඇතැම් ස්වාමීන්වහන්සේලාට ආදර්ශයක් දෙමින් විනීත ස්වාමීන්වහන්සේ බහුකාර්ය ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මුලපිරූහ. ඒ මීට අවුරුදු දෙකකට පමණ උඩදීය. ඒ වනවිට උන්වහන්සේගේ අතේ ගොඩනැගිල්ල ඉදිකර අවසන් කිරීමට තරම් විශාල මුදලක් නොතිබුණි. සැබැවින්ම උන්වහන්සේගේ අතේ තිබුණේ රුපියල් ලක්ෂ එකහමාරක් පමණ මුදලකි. නමුත් මේ යහපත් සිතුවිල්ල හේතුවෙන් මේ බුද්ධ පුත්‍රයාණන්ට ගමේ පන්සලේ නායක හාමුදුරුවන් ඇතුළු ගැමියන්ගේ ආශිර්වාදයක් හිතේ හයියත් උපරිමයෙන් තිබුණි. මේ නිසාම අවුරුදු දෙකක් ගත වනවිට මිලියන තිස්දෙකක් වැනි මුදලක් වැයකොට ඉතා වටිනා බහුකාර්ය දෙමහල් ගොඩනැගිල්ලක් මේ දුප්පත් විහාරස්ථානයේ ඉදිකොට අවසන් කරලීමට හැකියාව තිබුණි. ඒ සඳහා උන්වහන්සේ ගල්කිරියාගම අහිංසක ගම්වාසීන්ගෙන් ආධාර උපකාර බලාපොරොත්තු නොවුණි. ඒ සෑම මුදලක්ම උන්වහන්සේ සොයා ගනු ලැබුවේ විදෙස් රටවලට ගොස් ධර්ම ප්‍රචාරයේ  යෙදෙමිනි.

ගල්කිරියාගම උල්පතගම ගම්මානය දරිද්‍රතාවයෙන් පෙළෙන අහිංසක ගැමියන් ජීවත් වන ගම්මානයකි. නමුත් උන්හිටිගමන් කඩා වැදෙන වල් අලි නිසා ඒ බොහෝ වගාවන්වලට සිදුවන්නේ විශාල හානියකි. ඇතැම් කාලවලදී ගමේ ගැමියන් මේ නිසා නොයෙකුත් කරදරවලට මුහුණ දෙති. එවන් ජීවිත ගතකරන මේ ගැමියන්ගේ කුඩා දරුදැරියන් ගමේ පන්සලේ ඉදිවුණු මේ අපූරු ගොඩනැගිල්ල හේතුවෙන් අද පසුවන්නේ මහත් සතුටිණි. ගමේ බොහෝ දෙනා මේ දිනවල වැඩි කාලයක් ගත කරන්නේ ගමේ පන්සලේ ඉදිවෙන මේ අලුත් ගොඩනැගිල්ලේ වැඩකටයුතු වෙනුවෙනි. සෑම දිනකම දරුවන් සියයක්, එකසිය පනහක් පමණ දෙනා මේ අපූරු කටයුත්ත වෙනුවෙන් තම ශ්‍රමය සහ කාලය වැය කරති. දරුවන්ට අමතරව ගමේ ගැමියන් බොහෝ පිරිසක් ද ගමේ විහාරස්ථානයට ඒකරාශී වෙති. දවස් තුන්සිය හැටපහම ගමේ දරුවන් වෙනුවෙන් දුක්විඳින වැඩිහිටියන් ජීවත් වන මේ ගම්මානයේ දරුදැරියන් වෙනුවෙන් ඉංග්‍රීසි අධ්‍යාපනය හා පරිගණක අධ්‍යාපනය උගන්වන පාසල් ඉදිකිරීම සැබැවින්ම විශාල පිනකි.

“මට කන්න බොන්න දීලා මාව පෝෂණය කළ මේ අහිංසක මිනිස්සුන් වෙනුවෙන් අනාගත පරපුර වෙනුවෙන් මේ විදිහට හරි සේවයක් කරන්න ලැබීම ගැන භික්ෂූන් වහන්සේ නමක් හැටියට මම සතුටු වෙනවා.”යැයි විනීත හාමුදුරුවෝ වැඩිදුරටත් දේශයට පැවසූහ.

මීට අවුරුදු හතළිහකට පමණ මහණ දම් පිරූ විනීත හාමුදුරුවන් මහණ වෙද්දී වයස අවුරුදු දහයකි. කුඩා කලදීම භික්ෂු ජීවිතයට උන්වහන්සේ කැමති වූහ. ඒ වටිනා ජීවිතයට ඇතුළු වී මහණ දම් පුරන්නට උත්සහ දැරුවත් මව්පියන්ගෙන් එයට අවසරය ලැබුණේ නැත. උන්වහන්සේ මහණදම් පුරන්නට පෙර විහාරස්ථානයක කල්ගත කළහ. නමුත් විහාරස්ථානයට පැමිණි මව්පියෝ අකමැත්තෙන්ම මේ කුඩා දරුවා යළි නිවසට රැගෙන ගියහ. නැවතත් විහාරස්ථානයට පැමිණි අවුරුදු දහයක් වයසැති කුඩා පිරිමි දරුවා පසුකාලීනව මව්පියන්ගේ කැමැත්ත ඇතිව “අඹන්පොළ විනීත” නමින් මහණ වූහ. පහුකාලීනව උන්වහන්සේ උපසම්පදාව ලබන ලද්දේ ගල්කිරියාගම උල්පතගම ගම්මානයේ පිහිටි ශාක්‍යාසිංහාරාමයේදීය.

අලුතින් ඉදිවුණු දෙමහල් ගොඩනැගිල්ලේ ඉංග්‍රීසි, දමිළ භාෂාව මෙන්ම පරිගණක අධ්‍යාපනය ලබාදෙන අතර ඒ සඳහා අවශ්‍ය පරිඝනක උපකරණ ගමේ කුඩා දරු දැරියන් අතපත ගානු ලබන්නේ මහත් ප්‍රමෝදයෙකිනි. දෙසැම්බර් 28 වෙනිදා ගල්කිරියාගම උල්පතගම ගම්මානයේ ගැමියන්ගේත්, කුඩා දැරියන්ගේත් සහභාගීත්වයෙන් ජනතා අයිතියට පත්වීමට නියමිත වූ මේ අපූරු ගොඩනැගිල්ල විවෘත කිරීමට සමගාමීව තවත් මහඟු කටයුතු කිහිපයක් සිදුවුණි.

“මේ ප්‍රදේශයේ අහිංසක මව්පියන් දෙසීයකට අවශ්‍ය කරන බඩු භාණ්ඩත් මුදල් උපකාරත් ලබා දෙනවා. ඒ වගේම ප්‍රදේශයේ අහිංසක ගැබිණි මාතාවන් පනස් දෙනකුට අවශ්‍ය පොෂණ මල්ලක් සහ මුදල් ආධාරයන් ද විශේෂිත අවශ්‍යතා ඇති අය පනස් දෙනකුට අවශ්‍ය කරන දේ සහ මුදල් පරිත්‍යාගයන්ද කරනු ලබනවා. ඒවගේම ප්‍රදේශයේ තෝරාගත් අහිංසක දූවා දරුවන් පනස් දෙනකුට සමාජ සත්කාරයක් කරනු ලබනවා. ඒවගේම ළදරු පාසල් අධ්‍යාපනය ලබන කුඩා දරුදැරියන් පනස් දෙනකු තෝරාගෙන ලබන වසරේදී අධ්‍යාපනයට අවශ්‍ය කරන පාසල් තෑගි මල්ලක්ද අපි ලබලා දෙනවා.”යැයි අඹන්පොළ විනීත හාමුදුරුවෝ වැඩිදුරටත් පැවසූහ.

මීට අමතරව ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේලා හැත්තෑඅට නමකට දහවල් දානමය පින්කමක්, 2020 වසරට රටට සෙත් ශාන්තිය පතා පිරිත් සඡ්ඣයනාවක් සහ 29 දා වැනි දින හීල් දානමය පින්කමක් පැවැත්වෙයි. මේ සියලු කටයුතු වෙනුවෙන් විහාරස්ථානයේ නායක හාමුදුරුවන් වහන්සේ වන සිරිගල සරණංකර නායක හාමුදුරුවන් ඇතුළු සංඝයා වහන්සේලාගෙනුත්, ගමේ දායක සභාව ඇතුළු සියලුම ගැමියන්ගෙනුත් ලැබෙන ආශිර්වාදය හා මඟපෙන්වීමත්, සහයෝගයත් නිසාම ඉතා ඉක්මනින්ම ගමේ අහිංසක මිනිසුන් වෙනුවෙන් මෙම දෙමහල් ගොඩනැගිල්ල ලබා දෙන්නට හැකියාව ලැබුණි. මෙවන් උතුම් පින්කම් මාලාවක් සිදුකරන අඹන්පොළ විනීත හිමියන් බොහෝ භික්ෂූන් වහන්සේලාට ආදර්ශයකි.

 දිශානි ජයමාලි කරුණාරත්න