2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

මාකටිංවලදි කවියොත් විකිණෙනවා

 2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 225

- නඳුන් යසිත දසනායක

තරුණ කවියකු වන නඳුන් යසිත දසනායකගේ පස්වැනි කාව්‍ය සංග්‍රහය මගේ ආලයෙ ග්‍රැමෆෝන්ය. නඳුන් කාව්‍යකරණයේ අලුත් ඉසව් සොයා යන කවියකු ලෙස විචාරක අවධානයට පාත්‍ර වූවෙකි. ඔහු ලියූ විල් නෙතක මල් මතක කවි පොත රජත පුස්තක ප්‍රශස්ත කෘතියක් ලෙස සම්මානයට පාත්‍ර විය.

ඔබේ අලුත්ම කවි පොත මගේ ආලය ග්‍රමෆෝන් ගැන කිව්වොත්?

මේ මගේ පස්වන කාව්‍ය සංග්‍රහයයි. මේ කාව්‍ය සංග්‍රහයට ඇතුළත් වන්නේ පසුගිය වසර කිහිපය පුරාවට මා ලියූ කවි 54ක්. මම පෙර පළකළ කාව්‍ය සංග්‍රහවලට වඩා කවියේ සංරචන පාර්ශ්වය සහ කවියේ රූපකත්වය මගින් බහු අරුත් නැංවීම සඳහා ගොඩනගන කාව්‍ය මාර්ගය වැඩිදියුණු කිරීමට උත්සාහ දැරුවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඒ කාව්‍ය අත්දැකීම් මගේ ජීවිතයේ සමීපත්වයේ ඉඳගෙන ලියන්න උත්සාහ කරපුවා. මේ කෘතිය නම් කිරීමේ සිටම මම උත්සාහ කරන්නේ කවියේ රෑපක භාවිතාව වඩාත් එක්කර ගන්න.

මේ වනවිට ඔබ කවි පොත් හතරක් එළිදක්වා තිබෙනවා. එදා වගේ අදත් ආධුනික කවියකුට මුල් පොත පළකර ගැනීම අපහසුද?

ඇත්තටම ආධුනික කවියකුට හෝ වෙනත් ආධුනික ලේඛකයකුට කෘතියක් මුද්‍රණය කිරීමේදී කුමන යුගයක වුණත් අපහසුතා තියෙනවා. මොකද ඔහුගේ එම කෘතිය ප්‍රකාශයකු බාරගන්නෙම කෘතිය විකුණන පරමාර්ථයෙන්මයි. නැත්නම් ප්‍රකාශකයා අසමත්. ඉතින් සමහර ප්‍රකාශකයන් එක්ක ලේඛකයෝ ගිවිසුම් ගතවෙනවා මූල්‍යමයාකාරයෙන් හෝ කෘති විකිණීමාකාරයෙන්. මේක රහස්‍යමය කාරණයක් නෙමෙයි. හැබැයි අද බොහෝවිට ප්‍රධාන ප්‍රකාශක ආයතන මේ ක්‍රමයට විකල්ප ක්‍රම භාවිත කරනවා. උදාහරණයක් හැටියට අත්පිටපත් තරග. එහෙම නැත්නම් ඒ ප්‍රකාශක ආයතනයේම ඉන්නවා අත්පිටපත් කියවන අය. ඒ අත්පිටපතේ ගුණාත්මක බව පිළිබඳ යම් මිණුම්දණ්ඩක් හරහා තමයි කෘතිය මුද්‍රණය කරන්නේ. මේ මිණුම් දඬුවල යම් යම් දුර්වලතා තියෙන්න පුළුවන්. නමුත් මේ ක්‍රමවේදය සාධනීයයි. ඉතින් යම් ආධුනික කවියකුගේ මුල් කෘතිය වුණත් පළ කරගැනීමට මේ විකල්ප ක්‍රම හරහා යම් අවකාශයක් නිර්මාණය වෙලා තියෙනවා.

ඔබේ විල් නෙතක මල් මතක පොතට රජත පුස්තක ප්‍රශස්ත කවි අගැයීමක් ලැබුණා. ඊටපසු පළ වූ සුළගෙහිම සුළඟක්ව පොතට ඇගැයීමක් ලැබුණේ නෑ. ඒ ගැන ඔබේ පුද්ගලික අදහස කුමක්ද?

කෘතියක සියලු කවි පිළිබඳව ඒ කෘතිය පළකරන අවස්ථාවේ කවියා සෑහීමකට පත් වුණත් ඔහු කවියේ නව සොයා ගැනීම් සොයා යන්නකු නම් පසුකාලීනව අනිවාර්යයෙන්ම ඒ කෘතියේ බොහෝ කවි පිළිබඳව දරන්නේ නොපිරිපුන් බවක්. මමත් එහෙමයි. මගේ පැරණි කෘතිවල කවිවලින් අද මම සෑහීමකට  පත්වන්නේ නැහැ. ඒ නිසාමයි මම නැවත නැවත ලියන්නේ. ජීවිතය ආලෝකය දෙසටත් අන්ධකාරය දෙසටත් හැරෙනවා. ඒක නවත්වන්න ඉතාම අමාරැයි. කවියත් එහෙමයි. ඇගයීමේ සිට නිර්දය විවේචනය දක්වා මේ සියල්ල ඉතා මැදහත්ව බලන්නට හෝ ඒවා කවියෙන් වියුක්ත කරන්නට මා පොළඹවන්නේම මගේ කවිය කියලයි මම හිතන්නේ. ලිවීම කියන ඉතා බැරූරැම් කාර්යය සෙමෙන් ලුහුබැඳීමේ සිතිවිල්ල හැර, ආපසු හැරී බලන්නට වෙනත් මිණුම් දඬු අද මා සොයන්නේ නැහැ.

අද ලංකාවේ වර්ෂයකට වැඩියෙන්ම පළ වෙන්නේ කවි පොත්. නමුත් කවි පොත් මිලදී ගැනීමට කවි ලියන වැඩි දෙනෙක් උනන්දුවක් නෑ නේද?

මම හිතන්නේත් වර්ෂයක් තුළ ඉතා විශාල ප්‍රමාණයක් කවි පොත් පළවෙනවා. ඇත්තමට ඔබ මින් පෙර ඇසූ ප්‍රශ්නයට පිළිතුරත් මේ ප්‍රශ්නය තුළම තියෙනවා. අද කෘතියක් කිරීමේ අවකාශය වඩා පෘථුල වෙලා. විවර වෙලා. විශේෂයෙන් මේ ආර්ථික රටාව තුළ කෘතියක වටිනාකම වැඩි වෙලා වගේ දැනෙනවා. මේක සාධනීය කාරණයක් වගේ පෙනුණට මේ ක්‍රමයේ අසාධනීය පාර්ශ්වයකුත් තියෙනවා. කෘතියක අවම ප්‍රමිතියක්වත් නැතිව කෘතිගත කරන නිර්මාණ කියවීමේ අවකාශය කොතනද ගොඩනැගෙන්නේ? ඒක බලෙන් හදන්න බෑ. මේ වගේ සමාජ රාමුවක කවි ලියන අය හා කවි පොත් පළ කරන අය අතර සෘජු පාලමක් ගොඩනගන්න පුළුවන්ද? අපිට එහෙම අපේක්ෂාවක් තියාගන්න පුළුවන්ද? මම හිතන්නෙම කෘතියක් බොහෝවිට පවතින කාලයට සාපේක්ෂව කියවීමට සුදුසු නිර්මාණයක් බවට යම්තාක් දුරට හෝ පත්කිරීම වැදගත්. එවිට පාඨකයා සෑම යුගයකම ඒ කෘතිය වෙත නැඹුරැ වෙනවා. මම හිතන්නේ කියවීම කියන්නේ යම් පුහුණු රසිකත්වයක් ඇතිකර ගැනීම. ඒ සඳහා කවියා, පාඨකයා සහ විචාරකයාගේ මැදිහත් වීම අවශ්‍යයි කියලා.

අපට නම් පේන්නේ හුඟදෙනෙක් ෆේස්බුක්වල කවියක් ලියලා කියවලා සෑහීමට පත්වෙන බවයි. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?

මුහුණුපොත කියන්නේ කවියට පමණක් සීමා වූ මාධ්‍යයක් නෙමෙයි. ඒක සමාජ මාධ්‍යයක්. කවුරැහරි මුහුණුපොතට කවියක් ලියලා වුණත් ඉන් සෑහීමකට පත්වෙන්න පුළුවන්. නමුත් එකම කාරණය ඒ හරහා කවිය පිළිබඳ වැදගත් සංවාදයක් ගොඩනගන්න පුළුවන් නිවැරදි අවකාශය තියෙනවද කියන කාරණයයි. මම එහෙම කියන්නෙම මුහුණුපොත කියන්නේ පෞද්ගලික රාමුවකින් තවත් පෞද්ගලික රාමුවලට එබීමක් කරන මාධ්‍යයක්. පුවත්පත් හෝ වෙනත් පොදු මාධ්‍ය භාවිතාවකින් ඒ මාධ්‍යය වෙනස්.

අප හඳුනාගත යුතු වන්නේ මේ කාරණයයි. මේ සියල්ල ඉතාම බුද්ධිමත්ව භාවිත කරන කවීන් සහ විචාරකයන් ඉන්නවා. ඒ වගේම ඔවුන් මුහුණු පොතේ කවි හෝ විචාර පළ කිරීමෙන් නොනැවතී ඉතා හොඳ කෘති පළකරනවා. නැවත අධ්‍යයනය කරමින් ලියනවා. මේක මුහුණු පොතේ ලියන්නන්ට විතරක් නෙවෙයි ලියන අපි හැමටම පොදු කාරණයක්.

සමහරු කවි පොත්වලින් පිටපත් 250ක් පළකර පසුව යළිත් මුද්‍රණය කර දෙවැනි තුන්වැනි මුද්‍රණ නිකුත් වූ බවට ප්‍රචාරය කරනවා. එය පාඨකයා මුලා කිරීමක් නොවේද?

ඇත්තටම කෘතියක මුද්‍රණයක් පිටපත් 1000ක් වත් එක් වරක් මුද්‍රණය වෙනවනම් ඒක කෘතියක මුද්‍රණ වාරයක් විදිහට සලකන්න පුළුවන්. කවි පොතක් වගේ අලෙවි වීමේ සීඝ්‍රතාව සළකලා පිටපත් 500ක අවමයක් වත් මුද්‍රණ වාරයක් විදිහට සලකන්න පුළුවන්. මම හිතන්නේ කෘතියක පිටපත් 250ක් මුද්‍රණය කරලා ඒ කෘතියේ ඊළඟ මුද්‍රණය දෙවැනි මුද්‍රණය විදිහට සලකනවා නම් ඒක සාධනීය කාරණයක් නෙවෙයි. බොහෝවිට මේ සියල්ල මේ තරගකාරී රටාව තුළ සිදුවන වැරදි ක්‍රමවේද. නමුත් මාර්කටින් ඇතුළෙ අද නොකරන දෙයක් නෑ. පාඨකයා, ප්‍රේක්ෂකයා, ගැනුම්කරුවා, ශිෂ්‍ය, ළදරැවාගේ සිට වැඩිහිටියා දක්වා මුලා වෙලා. කෘතියක් විකිණීම කියන්නෙත් තරගයක්. දරුවෙක්ට කිරිපිටි විකිණීමේ ඉඳලා මේ මාර්කටින් ඇතුළේ මොනතරම් කවි විකිණෙනවද? පිටපත්, මුද්‍රණවාර කියන්නෙම ප්‍රාථමික මාර්කටින්. සමහර සම්මාන වුණත් පාඨක ඇස් මොනතරම් අන්දනවද?

තරුණ කවීන් බහුලව කවි ලියන අතර ප්‍රවීණ කවීන් නිහඬව සිටින බව පේනවා නේද?

මම නම් හිතන්නේ කවීන් තරගෙට ලියන්න අවශ්‍ය නෑ කියලයි. ලිවීම කියන්නෙම ලිවීමට අවංක වීමක් විය යුතුයි. ඒකට නවීන ප්‍රවීණ කියලා භේදයක් නෑ. මම හිතන්නේ එහෙම බේදයක් නිර්මාණය කිරීමම නිර්මාණයේ සාධනීයත්වයට කරන අගතියක්. නිර්මාණ බිහිවීමට වඩා සාධනීය නිර්මාණ බිහිවීම වඩා වැදගත්. පාඨක මනස පරිකල්පනය වෙත විවර කරන නිර්මාණ වඩා විශිෂ්ටයි. ඒ විශිෂ්ටත්වය වඩා තීව්‍ර වෙන්නෙම ඒ නිර්මාණය බුද්ධිමත් සමාජ සංවාදය ඇතුළෙ කරන අරගලය.

 කුසුම්සිරි