2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

හිතේ කරදර දුරු කරන දිනපොත්

 2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:31 272

අද නත්තල් දාය. සාමයේ පණිවිඩය ලොවට ගෙන ආ ජේසු සමිදාණන්ගේ උපන් දිනය යෙදුණේ මේ ලිපිය මා ලියන්නට ගන්නා නත්තල් දිනයේය.

මෙවැනි ශ්‍රේෂ්ඨ දිනයක උපන් දිනය සමරන්නට අවස්ථාව ලද අය වෙතොත් ඔවුහු ද භාග්‍යවන්තයෝය. “මතකය සොඳුරුම නැත” ලිපියෙන් අපේ සොඳුරු මතකයට එකතු වූ වැදගත් පුද්ගලයන් තිදෙනකුගේම උපන් දිනය යෙදී ඇත්තේ ද අදටය. අප පසුගිය සතියේ මතක් කළ රවිබන්දු විද්‍යාපති කලාකරුවාණන්ගේත්, සෝමලතා සුබසිංහ ළමා හා යොවුන් රංග පීඨයේ කටයුතු මෙහෙයවන, කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන අලුත්ගේගේත්, ටෙලිනාට්‍ය හා සිනමා අධ්‍යක්ෂක, ප්‍රවීණ ගුවන්විදුලි ශිල්පී අශෝක අතාවුදහෙට්ටිගේත් උපන් දිනය යෙදී ඇත්තේ අද දිනටමය. ඔවුනට සුබ උපන් දිනයක් හා ලෝකවාසී සැමට සුබ නත්තලක් පතමින් අද ලිපිය අරඹන්නෙමි.

මේ සහශ්‍රයේ තෙවැනි දශකයට අප පියමනින්නට සූදානමින් ඉන්නා 2019 අවසාන දින කිහිපය ගත කරන කාලයයි. බොහෝවිට අතට වැඩිපුර ලැබෙන දිනපොත් වේ නම් අන්‍යයන් හට ඒවා පරිත්‍යාග කරන්නේත් මේ කාලයේය. අලුතෙන් ලැබෙන දිනපොත වැඩිදෙනා ජනවාරි මාසයේ ආසාවෙන් ලියන්නට ගනිති. එසේ ලියන්නට ගත් දිනපොතේ මැයි ජූනි වන විට සවිස්තරව ලිවීම නවතා දමා කෙටි සටහන් තබන්නේ ලිවීමේ උනන්දුව ටිකෙන් ටික ගිලිහෙන නිසාය. අගෝස්තු මාසය වන විට වැදගත් ගණන් හිලව් පමණක් දිනපොතේ ලියවේ. දිනපොතේ අවසාන පිටුවේ නම් බොහෝ දෙනා මතක තබාගන්නට අවශ්‍ය දුරකතන අංක ඇතුළු වෙනත් සටහන් තබා ගනිති. මුල පටන් වසර අවසානය දක්වාම තම දිනපොත ලියන්නේ ටික දෙනෙකි.

දිනපොතේ ලිවීම නිසා පුද්ගලයාගේ “භාව විශෝධනය” සිදුවෙතැයි කියනු ලැබේ. සරලව කිවහොත් භාව විශෝධනය යනු සිත අසීරැවට පත්වන භාවයන් හෙවත් හැඟීම් සිතෙන් සේදී ඉවත්ව යාමයි. විරේචනය, විමෝචනය, විශෝධනය යන නම් වලින්ද හඳුන්වන මෙය ඇරිස්ටෝටල් පඬිවරයා ලියූ (කාව්‍ය ශාස්ත්‍රය) පොයටික්ස් නම් ග්‍රන්ථයේ “කැතාර්සීස්” යනුවෙන් හඳුන්වා දී තිබේ. ඉංග්‍රිසි පරිවර්තකයන් එය Purgation යනුවෙන් පෙරළා ඇතත් ඉංග්‍රිසියේ දැන් “Catharsis” යන වචනය ඍජුව භාවිත වේ. දිනපොත ලියන්නකුගේ දිනපතා සිතට දැනෙන මානසික අවපීඩන, හිතේ අමාරු, කනස්සලු ගතිය දිනපොත් ලිවීම තුළින් දුරුවී යතැයි කියනු ලැබේ. එසේ වුවද දිනපොතක් යනු එය ලියූ තැනැත්තාගේ පෞද්ගලික මනෝභාවයන් මුදාහල පිටු එකතුවක්ම නොවේ. එය පැරණි වෙත්ම යම් නිශ්චිත කාලයක සිදුවීම් සටහන් වූ ලේඛනයක් පමණක් නොව එම සිදුවීම් මිනිස් සන්තානයට දැනුණු ආකාරය ද කියාපාන ලේඛනයක් බවට පත්වෙයි. එවිට එය ලියූ තැනැත්තාට පමණක් නොවූ සෙසු මානව සමාජයටම වැදගත් වෙයි. තවත් පැරණි වෙත්ම දිනපොත මානව සමාජ පරිණාමයේ සන්ධිස්ථානයක් සටහන් වූ ඓතිහාසික ලේඛනයක් බවට පත්වේ.

ලෝකය ගෝලාකාර බැවින් තමන් වටා භ්‍රමණය වෙමින් දිවා රෑ හෙළිකොට එය දවසින් දවස ගෙවා දමයි. ගෝලාකාර ලෝකය ඉර වටා වටයක් කැරකී දවස් 365 ¼ක් ගෙවා දමා අවුරැද්දක කාලය සම්පූර්ණ කරයි. කාලය මේ රිද්මයට දවස් ගෙවා වසර ඉක්මවා, දශක පසු කරන කාල රිද්මයට අනුගත වන්නට එහි ගෝලාකාර බව හේතු වේ. ලෝකය පැතලි නොවන බවත් එය ගෝලාකාර බවත් ටිකෙන් ටික සාක්ෂාත් වෙද්දී එක්දහස් හාරසිය ගණන් වෙද්දී දේශ ගවේෂකයෝ අලුත් බිම් සොයා යන්නට උනන්දු වූවෝය. පැතලි පොළොවක නොදන්නා දිහා ගොස් කොහේ හෝ වැටේවි යන අවදානම ඔවුන්ගේ සිතෙන් බැහැර වූයේය. ගෝලාකාර පොළොවක වටේ කැරකී සිටි තැනටම එන්නට හැකි බව දැනගත් විට ඔවුහු බිය නැතිව මුහුදු මතින් යාත්‍රා කළහ.

1254 – 1324 කාලයේ දේශ ගවේෂණයේ යෙදුණු මාර්කෝ පෝලෝ ඉන් එක් අයෙකි. වැනීසියානුවකු වූ ඔහු, දිනෙන් දින ගෙවා දමමින් ආසියාවේ ගිය හැටි (ඔහුගේ දිනපොත) “ලෝකයේ විශ්මිත බව පිළිබඳ කියවෙන පොත” යනුවෙන් නම්කොට පොතක් ලෙස එළි දුටුවේය. ක්‍රිස්ටෝපර් කොළොම්බස් දේශ ගවේෂණයේ යෙදෙන්නට උනන්දු වූයේ මේ පොත කියවීම හේතුවෙනි. ක්‍රිස්ටෝපර් කොළොම්බස්ගේ අත්අකුරින් සටහන් තැබූ මාර්කෝ පෝලෝගේ එදිනෙදා දේශාටන සටහන ලෝකයේ ඇති දිනපොත්වලින් විශේෂිත දින පොතක් ලෙස සැලකේ.

ශ්‍රේෂ්ඨ සංගීතඥ ලුඩ්විග් වෑන් බීතෝවන්ගේ හඬ ලෝකයේ අග්‍රගන්‍ය සංධ්වනි රාශියකින් ඇසෙන මුත් ඔහුගේ නිහඬතාවයේ හඬ ඇසෙන්නේ දිනපොත් සටහන්වලය. ඔහු ජීවිතයේ අවසාන කාලය ගෙවා දැමුවේ තමාගේ සංගීතයවත් නෑසුණු බිහිරි අයකු ලෙසයි. ඒ වන විට සංගීතය ලියමින් ඔහු නිර්මාණ බිහි කළේය. බිහිරි වූ කල ඔහුට දැනුණු සිත්වේදනා මුදාහරිමින් ඔහු දිනපොත ලියා තිබේ. මානසික අවපීඩන, ආදිය දුරුකර ගන්නට දිනපොත ලිවීමේ භාව විශෝධනය ඔහුට උපකාරී වී තිබේ.

ඩැනියෙල් ඩෙෆෝ ලියූ රොබින්සන් ක_සෝ කෘතියේ, 6 වැනි පරිච්ඡේදයේ ශීර්ෂය “අසනීපය හා චිත්ත පීඩාව” යන්නයි. බිඳුණු නැවෙන් දූපතට පැමිණි රොබින්සන් ක_සෝගේ චිත්ත පීඩාව හෙළි කරන්නට ඩෙෆෝ උපයෝගී කර ගන්නේ ඔහු ලියූ බව කියන දිනපොතයි. රොබින්සන් ක_සෝගේ දිනපොතේ මැයි 03 වැනිදා සිට ජූලි 14 දක්වා දිනසටහන්වල උදෘත මේ සඳහා ඩැනියෙල් ඩෙෆෝ නිර්මාණාත්මකව යොදාගෙන තිබේ. එහි මැයි 4 දිනපොත් සටහන මෙසේය.

“මාළු අල්ලන්නට ගියෙමි. එහෙත් ආහාරයට ගත හැකි කිසිදු මසකු අසුවූයේ නැත. ඒ කාර්යයෙන් හෙම්බත් වී එන්නට සූදානම් වන විට ඩොල්පින් පැටවකු අසුවුණි. මා ළඟ සෑහෙන තරම් දිග කඹ, රැහැන් ආදිය තිබුණද බිලීකටු හිඟය. එහෙත් නිතරම මම මට ප්‍රමාණවත් මසුන් අල්ලා ගතිමි. ඉන් ඇති තරම් කොටසක් කා, ඉතිරි ඒවා අව්වේ වේලාගෙන කල් තබා ආහාරයට ගත්තෙමි.”

තනිවූ පුද්ගලයකුගේ චිත්ත පීඩා දිනපොත ලිවීමෙන් මගහරවා ගන්නා ආකාරය එම පොතේ 6 වැනි පරිච්ඡේදයෙන් ඩැනියෙල් ඩෙෆෝ හොඳින් කියාපායි. එතැන ද මතුවන්නේ භාව විශෝධනයයි.

දිනපොතකට අදාළ යාං හෑල්ලක් මගේ මතකයේ ඇත. එම දිනපොත ලියා ඇත්තේ නැවක ගමන් කරමින් සිටි තරැණ කාත්තාවකි. එම කාන්තාවගේ ජූලි මාසයේ දිනසටහන් මෙසේය.

ජූලි 5

නැව් තට්ටුවේ තනිව හිඳිනා විට කැප්ටන් මා හමුවට ආවේය. ඔහු මගේ වං හුං ඇසුවේය. ඔහු මට සිගරුට්ටුවක් දුන්නේය. මම දුම් පානය නොකරන බව ඔහුට කීවෙමි.

ජූලි 6

කැප්ටන් මා හමුවට ආවේය. මගේ ඇඳුම ලස්සන යැයි ඔහු කීවේය.

ජූලි 7

කැප්ටන් මගේ රූපය වර්ණනා කළේය. මම කිසිත් නොදොඩා උන්නෙමි.

ජූලි 8

කැප්ටන් මට නොමනා යෝජනාවක් කළේය. මම ඔහුට බැණ වැදුණෙමි. ඊට කිසිසේත් එකඟ නොවන බව කීවෙමි.

ජූලි 9

ඔහු සමඟ යහන්ගත වන්නට එන ලෙස කැප්ටන් මට තර්ජනය කරමින් යෝජනා කළේය. මා ඊට එකඟ නොවුවහොත් 700 ක් දෙනා සමඟ නැව ගිල්වා දමන බවට කැප්ටන් තර්ජනය කළේය.

ජූලි 10

මම ජීවිත 700 ක් බේරාගතිමි.

සිරිලක අන්තිම රජු, ශ්‍රී වික්‍රම රාජසිංහව අල්ලාගෙන මදුරාසියට එකල ගෙන ගොස් ඇත්තේ HMS කොන්වෝලීස් නැමති නෞකාවෙනි. 1816 ජනවාරි 25 කොළඹ වරායෙන් පිටත්ව එම නෞකාවේ දින 14 ක් තිස්සේ සිදුවූ සිදුවීම් රජතුමා භාරව සිටි සිවිල් සේවක විලියම් ග්‍රැන්විල් දිනපොතේ ලියා තිබේ. රජතුමාගේ ස්වභාවය පිළිබඳ තතු රාශියක් හෙළිවන්නේ එම දිනපොත් සටහන් වලිනි.

වසර දෙකක් තිස්සේ Prinsengracht හි අංක 263 හි ඇනෙක්සියේ සැඟවී තම දිනපොත ලියූ සුප්‍රසිද්ධ ඈන් ෆ්‍රෑන්ක් දිනපොත ලිවීමෙන් කෙතරම් සිත පිරිපහදු කරගෙන උන්නේදැයි ඇයගේ අවසන් සටහනෙන් පෙනේ. ජර්මානුවන් හට තිබූ වෛරය ඈ ඒ වන විට සිතෙන් තුරන් කරගෙන උන් බැව් එම සටහනෙන් පෙනී යයි.

“මේ සියල්ල මෙසේ සිදුවෙද්දී, මේ මිනිසුන් හොඳ හදවත් ඇත්තන් යැයි මම තවම විශ්වාස කරමි.” 

කුරිරු ජර්මානුවන් ගැන මෛත්‍රී සිතින් බලන තරමට ඈ භාව විශෝධනයට ලක්ව උන් බවට මෙම සටහන සාක්ෂි දරයි. මෙම සටහන ලියා දින 3කට පසුව ඇය “ගෙස්ටාපෝ” රහස් පොලීසියේ අත්අඩංගුවට පත් වූවාය. ඇගේ දිනපොත එකී ස්ථානයේ (එම ඇනෙක්සිය දැන් කෞතුකාගාරයකි.) තවම ප්‍රදර්ශනය වන බව වාර්තා වේ.

දිනපොත්වල ලියන්නේ අතීතය ගැන වුවද අනාගතය නිර්මාණය කිරීම ගැන වැදගත් සටහන් දිනපොත්වල ලියවී තිබේ.

“අනාගතය ගැන අනාවැකි කීමට හැකි හොඳම ක්‍රමය එය නිර්මාණය කිරීමයි.” මේ තවත් එකකි.

“අතීතය යනු ඔබ පාඩම් ඉගෙනගන්නා තැනයි. එම පාඩම් උපයෝගී කර ගනුයේ අනාගතයටයි.”

මේ පාඨ දෙකම වාර්තාගත වූ දිනපොත් සටහන්ය.

සහශ්‍රයේ තුන්වැනි දශකයට එළඹෙන අපට ඒ ගැන අනාවැකි කීම කළ හැකි හොඳම ක්‍රමය නම් එකී අනාගතය නිර්මාණය කිරීමට දායක වීමයි. අපි අපේ අනාගතය නිර්මාණය කරමු.

 සමන් පුෂ්ප ලියනගේ

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00