2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

සාහිත්‍ය රත්න පිදුම් ලැබූ කමලා විජේරත්න

 2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 106

කමලා විජේරත්න මහත්මිය සිය ජීවිතය පුරා සිදුකළ සාහිත්‍ය මෙහෙවර උදෙසා සාහිත්‍ය රත්න සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබුවාය.

කමලා විජේරත්න මහත්මිය ගුරු උපදේශිකාවක් මෙන්ම ලේඛිකාවක් ලෙසද ප‍්‍රකටය.  ඈ ඉංග්‍රීසි උසස් අධ්‍යාපනය උදෙසා ඉටුකළ මෙහෙවර අනල්පය. ඇගේ ආකල්ප හා දැනීමේ ශක්තිය ඇයටම ආවේණික වූවකි. ඇගේ සමහර කවි 1983 වර්ෂයේ ජූලි මාසයේ සිදු වූ වාර්ගික හිංසනය පසුබිම් කොට ලියැවී තිබේ. මෙම හිංසනයේ ප‍්‍රතිඵලයක් ලෙස බිහිවූ උන්හිටිතැන් අහිමිවූවන්ගේ මානසික කම්පනය ඇගේ කවි තුළ බලසම්පන්න ලෙස නිර්මාණය වී තිබේ.  දේශපාලන නිර්මාණයක් වූ වාර්ගික අර්බුදය සමස්ත භීතිය හා හිංසනය සමඟින් නිර්මාණවලට එක් කිරීමට ඈ සමත්ව තිබේ. බිම් බෝම්බ පුපුරායාම, මාංශ දැවෙන දුර්ගන්ධය හා මරණයට පත්වූවන්ගේ තැලී පොඩිවුණු සිරැරැවල විස්තර ඇගේ කවි නිර්මාණවල ඇතුළත්ය.

ඈ පළමුවරට ඇගේ නිර්මාණ ග‍්‍රන්ථයක් ලෙස එළිදක්වා ඇත්තේ 1983 වසරේය. “The Smell of Araliya” (අරලිය සුවඳ) නම් එය කාව්‍ය විසිහතකින් සමන්විත වූවකි.  ඉතිහාස හා පුරාවෘත්තවලින් සමන්විත අපගේ දේශයේ යථාර්ථය ඉන් නිරෑපණය කරයි.  සහජීවනය කෙරෙහි ඈ තුළ ඇති අනන්‍ය පෞරැෂය ඇගේ නිර්මාණ ඔස්සේ පිළිබිඹු කරයි. සහජීවන අවශ්‍යතාවයක ඇතුළත දැක්ම පිළිබඳ සංවාදය ඇගේ නිර්මාණාත්මක ඉංග්‍රීසි රචනා තුළට පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකික ඉංග්‍රිසිය තුළට ඇතුළත් කිරීමට ද ඈ සමත්ව තිබේ.

කමලා විජේරත්න මහත්මියගේ සේවය වෙනස් මට්ටම් තුළින් අගය කිරීමත් සිදුකළ හැකි බව පෙනේ. ගුරැ පුහුණුවේදී ඇගේ කවි හා කෙටිකතා උගන්වන විට චිත්තවේගාත්මක නිර්මාණ හඳුනාගැනීමටත්, සිදුවීමේ ප‍්‍රබල මතුකිරීම බෙදාහදා ගැනීමටත් සිසුසිසුවියන් යොමුවන අන්දම මට හමුවී තිබේ. ඇගේ නිර්මාණ විදේශ පාඨකයන් වෙතද විවිධ මාධ්‍ය ඔස්සේ යොමුව තිබේ. සංස්කෘතික වැදගත්කමට ඇගෙන් ලැබුණු දායකත්වය පිළිබඳව විචාරවලින් පෙන්වා තිබේ. ඈ මෙරට මෙන්ම විදෙස් රටවලද ගෞරවය දිනාගත් ලේඛිකාවකි.

කමලා විජේරත්න මහත්මියගේ නිර්මාණ ගුරැපුහුණුවේදී ඉගැන්වීම කළ ගුරැවරියක ලෙස ඈ ගැන ලිවීමේදී ඇගේ නිර්මාණ වෙත විවිධ විචාරකයින් දැක්වූ වෙනස් ප‍්‍රතිචාර තුළින් ඇගේ නිර්මාණයන් තුළ අද්විතීය බවක් ඇති බව මට පෙනේ.  ලේඛකයෙකුට තමන්ගේ නිර්මාණ පොදු ජනයා වෙත ගොස් විශේෂ හා අද්විතීය බවකින් හඳුනා ගැනීම සඳහා කලක් ගතවේ.

නීලමණී කරුණාරත්න