2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

රටේම බඩට ගහන ආණ්ඩුවත් කඩේ යවන හාල් මුදලාලිලා

 2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:31 288

ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රධාන ආහාරය බත්ය. එම බත් සකස් කිරීමට අවශ්‍ය සහල් හිඟයකින් තොරව සැපයීම පාලන බලධරයන්ගේ වගකීමකි. එසේම ප්‍රධාන ආහාර අවශ්‍යතාව සැපයීම ජනතාවගේ මූලික අයිතිවාසිකමක් ද වෙයි. එය කඩ කිරීමට කිසිදු ආණ්ඩුවකට නොහැකිය.

එහෙත් මේ වනවිට දිවයිනේ සහල් හිඟයක් ඇතිවී තිබේ. එම හිඟය දඩමීමා කරගෙන ඇතැම් වෙළෙන්ඳෝ සහල් වැඩි මිලට විකිණීමට පුරුදු වී සිටිති. මෙලෙස මිල ඉහළයාම නිසා බත් කන ජනතාව විශාල හිරිහැරයකට පත්වී තිබූ බව කිවයුතු නොවේ. මෙම සහල් ගැටලුව අද ඊයේ ඇතිවූවක් නොව පෙර ආණ්ඩු කාලවල සිට උද්ගතවූවකි. එහෙත් කිසිදු ආණ්ඩුවක් මෙයට ස්ථිර සාර විසඳුමක් ලබා නොදීම නිසා මේ වනවිට එය උග්‍ර ගැටලුවක් බවට පත්ව තිබේ.

සහල් ආර්ථික භාණ්ඩයකට වඩා දේශපාලන භාණ්ඩයක්ව තිබූ බව අතීතය දෙස බැලූවිට පෙනීයයි. හාල් සේරු දෙකම “නිකම්දීම” එක සේරුවක් නිකම් දී අනෙකට ශත 25ක් අයකිරීම මෙන්ම හාල් කූපන් නිකුත් කිරීම ආදී සංසිද්ධි අපට තවම අමතකව ගොස් නැත. අතීතයේ දේශපාලනඥයා සහල්, ඡන්ද ලබා ගැනීමේ උප්පරවැට්ටියක් ලෙස යොදාගත් බවක් පෙනෙන්නට තිබිණි.

අද ද ඒ තත්ත්වය වෙනස්ව නැති බව පෙනෙන්නේ වර්තමාන දේශපාලන පොරොන්දුවල සහල් පිළිබඳ විශේෂයෙන් සඳහන් කර ඇති නිසාය. වර්තමානයේ දැඩිව බලපාන සහල් අර්බුදයට පිළියමක් ලෙස පාරිභෝගික සේවා අධිකාරිය පසුගිය ජනවාරි 19දා සහල් මිල පිළිබඳ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය. ඒ අනුව සුදු සම්බා, රතු සම්බා, සුදු නාඩු, රතු නාඩු සහල්වල උපරිම සිල්ලර මිල කිලෝව රුපියල් 98ක් බව ප්‍රසිද්ධ කළ අතර කීරි සම්බා, සූදුරු සම්බා, මොට්ටයි කරුපන් හා ආටිටකාරි ආදී සහල් වර්ගවලට උපරිම මිල අදාළ කර නැත. එසේම පාරිභෝගිකයා වැඩියෙන් ඉල්ලන කැකුළු සහල් ද මෙයට අඩංගු නොවේ.

පාරිභෝගික සේවා අධිකාරිය පොලීසියේ ද සහය ඇතුව වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් අත්අඩංගුවට ගැනීමට පටන් ගෙන තිබුණි. පසුගිය දෙදිනක් තුළ වෙළෙඳ සල් 9194ක් පරීක්ෂා කර දැනුවත් කර හා අනතුරු ඇඟවීම් කර තිබේ. මේ වනවිට වැඩි මිලට අලෙවි කළ වෙළෙඳුන් 274කට නඩු පැවරීමට කටයුතු කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර පුවත්පත්වලට පවසා තිබුණි. එසේම කැකුළු සහල්වලට ද නුදුරු දිනක පාලන මිලක් නියම කරන බව ඔහු කියයි.

සහල් වර්ග දෙකකට රුපියල් 98ක පාලන මිලක් නියම කළේ පසුගිය සතියේ ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම්, මුදල් අමාත්‍යාංශ ලේකම් යන නිලධාරින් ප්‍රධාන පෙළේ මොල්හිමියන් සමඟ කරන ලද සාකච්ඡාවකදීය. මෙයට දේශපාලනඥයන් සහභාගී නොවූ බවද විශේෂයෙන් සැලකිව යුතුය. මෙහිදී හෙළිවී තිබෙන්නේ සහල් හිඟයක් ඇතිව තිබෙන්නේ සහල් තොග වෙළෙඳ පොළට නිසියාකාරව නිකුත් නොකිරීම නිසා නොව ගොවීන් සම්බා සහ නාඩු වී අතහැර වැඩි මිලක් ගත හැකි කීරි සම්බා වගා කිරීම නිසා බවය. සහල් හිඟය නිසා මෝල් හිමියන්ට ගොවීන්ගෙන් වී මිලට ගැනීමට සිදුව ඇත්තේ වැඩි මිලකට නිසා සහල් අඩු මිලට විකිණිය නොහැකි බව මෝල්හිමියන් පවසා තිබේ.

අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන පවසන්නේ මේ පාලන මිලට සහල් අලෙවි කිරීමට රජයට උපරිම සහය දෙන අතර වෙළෙඳ සල්වලට සහල් නිකුත් කිරීම අරඹා ඇති බවය. වැඩි මිලට සහල් නොගන්නා ලෙස ඔහු පාරිභෝගිකයන්ගෙන්ද ඉල්ලා සිටී.

එසේ වුවද කුඩා සහල් ව්‍යාපාරිකයන් සහ ගොවියන් පවසන්නේ අද මහා පරිමාණ මෝල් හිමියන් රුපියල් 96ට පමණ සිල්ලර වෙළෙන්දාට ලබාදෙන සහල් නිපදවා ඇත්තේ පසුගිය කන්නවල කිලෝව රුපියල් 30-32ට ගත් වීවලින් බවය. එසේ කුණු කොල්ලයට ගත් වී ගබඩා කර තබාගෙන වෙළෙඳ පොළේ හිඟයක් ඇති කර වැඩි මිලට අලෙවි කරන බවද ඔවුහු කියති. මෙලෙස රුපියල් 98ට සහල් අලෙවි කිරීම රජය නිත්‍යනුකූල කිරීම නිසා මෝල්හිමියන්ට දැන් කිසි බියකින් තොරව පාරිභෝගිකයා ගසා කෑමට අවස්ථාව සැලසී තිබෙන බව වැඩිදෙනාගේ මතයයි. ඔවුන් ළඟ ඇති වී තොග මිලට ගත් අඩු මිල සලකා බලන විට සහල් කිලෝව රුපියල් 75-80කට සෑහෙන ලාබයක් ද තබාගෙන අලෙවි කළ හැකිබව ඔවුන්ගේ අදහසය.

පසුගිය 24 දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති ජීවන වියදම් කමිටුවේදී තීරණය කර ඇත්තේ සහල් මිල බැස්සවීම සඳහා ප්‍රධාන වී මෝල් හිමියන් සතු සියලුම සහල් තොග රජයෙන් මිලට ගෙන සහල් කර සහන මිලට ජනතාවට ලබා දීමටය. මෙය හොඳ යෝජනාවක් නමුත් ප්‍රායෝගිකව කළහැකිද යන්න ගැටලුවක් බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති. 

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පවසන්නේ දැනට ගැසට් කර ඇති උපරිම සහල් මිල නිසා සිදුවූයේ මිල අඩු වීම නොව මුලින් තිබූ සහල් මිල තවත් වැඩි විම බවයි.

“මහ කන්නයේ වී හැකි තරම් මෝල් හිමියන් අඩු මිලට ලබාගෙන ඒවා වෙළෙඳ පොළට සහල් කර යොදා ගබඩා කර තැබීම අද ඇතිව ඇති සහල් හිඟයට හා මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවයි. මහා පරිමාණ මෝල් හිමියන් කිහිපදෙනා එකට කතා කරගෙන කළ දෙයක් තමා මෙය. ඒ නිසා තමා මේ කෘත්‍රීම සහල් හිඟය නිර්මාණය වූයේ.

සහල් කිලෝවක් නිෂ්පාදනය කරන්න වී කිලෝ 1.5ක් යනවා. වී කිලෝවක මිල 2.1න් වැඩි කරලා තමා සාමාන්‍යයෙන් සහල් මිල තීරණය කරන්නේ. එහෙත් අද මිල හැදෙන්නේ එම සම්ප්‍රදාය අනුව නොවෙයි. ඒ නිසයි මිල ඉහළ. 2019 ජූලි 31 දින අවසාන වරට ප්‍රසිද්ධ කළ ගැසට් නිවේදනය අනුව සම්බා කිලෝව රුපියල් 85ක් සහ නාඩු සහල් කිලෝව රුපියල් 80ක් තමා මිල වූයේ. එහෙත් එය අවලංගු කරලා පසුගිය සතියේ ප්‍රසිද්ධ කළ ගැසට් නිවේදනය අනුව සම්බා සහ නාඩු උපරිම මිල රුපියල් 98 කළේ ඇයිද යන්න තමා ගැටලුව. ගැසට් එක නිසා සහල් මිල අඩු වෙනවා වෙනුවට වැඩි වෙලා කියලා මම කියන්නේ ඒකයි. 

මුලින් පැවසූ මිල කිරීමේ සම්ප්‍රදාය අනුව 2.1න් වැඩි කරලා මිල කළොත් සහල් කිලෝව රුපියල් 47.20ක් වෙනවා. ඒ නිසා ඒ මිල සහතික මිල විය යුතුයි. එහෙත් එහි දෙගුණයකටත් වඩා වැඩි වූයේ ඇයිද යන්නයි ප්‍රශ්නය. වී කිලෝව රුපියල් 47.20 ගන්න ඕනෑ රුපියල් 98 සහතික මිලට දෙනවා නම්. ඒත් අද සෑම වී කිලෝවක්ම රුපියල් 31-41 අතරයි මිල. ඇයි මෙහෙම විශාල ලාභයක් ගන්න මෝල්හිමියන්ට ඉඩ දීලා තියෙන්නේ? රුපියල් 13ට වඩා කිලෝවකට ලාබ ගන්න දීම අසාධාරණයි.

අපේ රටේ මොන ආණ්ඩුව ආවත් මේ හාල් මාෆියාව පාලනය කරන්න බැරි වූණා. අද ආණ්ඩුවක් අලුතෙන් ආවත් ඒ සින්දුවම තමයි කියන්නේ. කැකුළු සහල් මෙට්‍රික් ටොන් 70,000ක් දැනට ආණ්ඩුවේ ගබඩාවල තියෙනවා.

 ඒවා මෙයට පෙර වී අලෙවි මණ්ඩලය සහතික මිලට ගත් ඒවායි. දැන් කළ යුත්තේ එසේ ගබඩාවල සඟවා තබාගෙන තිබෙන ඒවා පිටතට අරගෙන හාල් කරලා වෙළෙඳ පොළට දැමිල්ලයි. එහෙම කළානම් දැනට පවතින මෝල්හිමියන්ගේ ඒකාධිකාරය කැඩෙනවා. අනිත් අතට බොහෝ කාලයක් ගබඩා කර තබාගත් විට වී නරක් වෙනවා. පහුගිය කාලයේ සත්ව ආහාරවලට අඩු මිලට දෙන්න වුණේ මත්තල ගුවන් තොටුපොළේ ගොඩගසා තබන්න සිදුවුණේ මෙලෙස දීර්ඝකාලයක් වී ගබඩා කර තබාගැනීම නිසයි. දැන්වත් මේ තත්ත්වය නැති කරන්නේ නැත්තේ මොකද කියන එකයි ප්‍රශ්නය.

රාජාංගණ ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති සහ ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් නිහාල් වන්නිආරච්චි:-

“වී කිලෝව රුපියල් 50-55 කළාට දැන් වැඩක් නැහැ. දැන් ගොවීන් ළඟ වී නැහැ. යල කන්නයේ වී කිලෝව 32-33 වගේ අඩු මුදලට තබා දුන්නේ. රජය වී ගත්තේ නැහැ. වී වල වෙළෙඳ පොළ හදන්නේ වී ගන්න මුදලාලිලයි. වී මිලට සහතික මිලක් දුන්නට ගොවියාට වෙන සෙතක් නැහැ. ඒ මිලට ගන්නේ නැතිනම් එහෙම මිලක් ප්‍රකාශ කරලා වැඩක් තියෙනවා ද?

ජනවාරි මාසය අවසන් වනවිට ලැබෙන වී වෙළෙඳ පොළට එන විට මිල හොඳටම බැහැලා. හැමදාම වෙන්නේ මේකයි. වෙළෙඳ පොළේ වී නැති විට මිල වැඩි කරලා වැඩක් නැහැ. වී මිල වැඩි කිරිල්ල දැන් මුදලාලි පාවිච්චි කරන්නේ සහල් මිල වැඩි කරන්නටයි. රුපියල් 32ට වි ගත්තත් එහෙම ගන්න වීවලින් ලබන සහල් මිල කරන්නේ ආණ්ඩුව වැඩි කළ සහතික මිල පාවිච්චි කරලයි. ඒ නිසා මේ මිල වැඩි කිරිල්ලෙන් හාල් මුදලාලිට මිසක ගොවියාට වෙන වැඩක් නැහැ. ඒ නිසා වී මිල වැඩි කළාය කියලා හාල් මිල වැඩි කරන්නට ඉඩදෙන්න හොඳ නැහැ. මොකද වී අරන් තියෙන්නේ සහතික මිලට අඩුවෙන් නිසා.

මහා පරිමාණ සහල් මෝල්හිමියන් දෙදෙනෙක් තමා සහල් ඒකාධිකාරය පවත්වන්නේ. අනිත් කෙනෙකුට ඔලුව උස්සන්න ඉඩ දෙන්නේ නැහැ. අනුරාධපුරයේ වී වගා කළාට පොළොන්නරුවේ හාල් තමා අනුරාධපුරයට එන්නේ. ඉතින් අනුරාධපුරයේ තත්ත්වය එය නම් රටේ වෙන තැන් ගැන කියන්න දෙයක් නැහැ. රජය සහතික මිල වන කිලෝව රුපියල් 50 මිලට වී ගත්තත් සහල් කිලෝව රුපියල් 80ට දෙන්න පුළුවන්. දැන් රුපියල් 98ට අලෙවි කරන්නේ රුපියල් 32-33ට ගත්ත වීවලින් කෙටූ හාල් තමා. ඔවුන් ලබන ලාභය ගැන හිතාගන්න පුළුවන් නේද?

අද තොග වෙළෙඳුන් සහල් දෙන මිලේ හැටියට සිල්ලර වෙළෙන්ඳාව රුපියල් 98ට විකුණනකොට ලැබෙන්නේ රුපියල් 2ක ලාභයක් විතරයි. මුලින් ගැසට් කරලා නීතිය ක්‍රියාත්මක කිරීම. ඊළඟට කළ යුතුයි. ඒත් දැන් කරන්නේ ප්‍රථමයෙන් මිල තීරණය කරලා දෙවනුව එය ගැසට් කිරීමයි. මේ පාර කළේ එයයි. ආණ්ඩුව ගැසට් කරලා තියෙන්නේ මෝල් හිමියන්ගේ මිල මිසක් ගොවියන්ගේ මිල නොවෙයි.

සමස්ත ලංකා ගොවිජන සම්මේලයේ ජාතික සංවිධානයක නාමල් කරැණාරත්න ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ සිල්ලර වෙළෙඳුන් අත්අඩංගුවට ගැනීමෙන් සහල් මිල පාලනය කළ නොහැකි අතර කළයුතු වන්නේ සහල් මිල පාලනය කරන ලොකු මෝල්හිමියන් කිහිපදෙනා මෙල්ලකරන ලෙසටය. “ආණ්ඩුව සහල් මිල වී මිල පාලනය කරන කමිටුව අහෝසි කළා. ඒ කමිටුව මෝල්හිමියන්ට යම් බලපෑමක් කළා. එය නැති කළ නිසා මෝල්හිමියන් හිස එසවූවා.”

ශ්‍රී ලංකා සහල් නිපදවන්නේ සංගමය මැදහත් වී “ශක්ති” නමැති සහල් වෙළෙඳ පොළට ලබාදුන් අතර ඒ පැරණි මිල අද නැතිවෙලා ඇතැයි ඔහු කියයි. 

රත්නපුර දිස්ත්‍රික් සහල් නිෂ්පාදකයන්ගේ සමූපකාර සමිති සංගමයේ ලේකම් එච්.ජී. ගුණදාස:-

“පසුගිය අවුරුද්දේ මාස් කන්නයේ රජය මිලදී ගත් වී කිලෝව 9100ක් හෙවත් මෙට්‍රික් ටොන් 9000ක් රත්නපුර හා හම්බන්තොට දිසාපතිවරුන් මගින් මීට මාසකට පෙර කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල්වලට සහල් කරන්න දුන්නා. එහෙම සකස් කළ සහල් දැන් ගබඩාවල තිබෙනවා. ඒවගේම දුන් වීවලින් සියයට 95ක් කොටා ලබාගත් සහල් විශාල ප්‍රමාණයක් ද පෞද්ගලික මෝල්වල තියෙනවා. එම සහල් වීරවිල ගබඩාවට බාර දිය යුතු නමුත් එහෙම කරන්නේ නැහැ. එම ගබඩාවෙන් දිනකට බාර ගන්නේ ලොරි 15ක් හෙවත් කිලෝ ලක්ෂ 2ක් පමණ වූ සුළු ප්‍රමාණයක්. මේ වනවිට මෝල්හිමියන් ළඟ කිලෝ හැටලක්ෂයක් තියෙනවා. දවසකට ගන්නේ කිලෝ ලක්ෂ 2යි. මෙහෙම වුණොත් දැනට ඇති තොග අරගෙන ඉවර කරන්න මාස දෙකකටත් වැඩියෙන් යාවී. එතකොට පෙරහැර ගිහින් ඉවරයි. ඒ වනවිට කොටපු ඒවත් නරක් වෙන්න පුළුවන්.”

දැනට වෙළෙඳ පොළේ හිඟ වුණාට ආණ්ඩුවෙන් ගත්ත තොගවලින් කෙටූ සහල් මෝල්වල තියෙනවාඅ. කළයුතු එකම දෙය වන්නේ ඒ සහල් කඩිනමින් වෙළෙඳ පොළට එන පිළිවෙළක් ක්‍රියාවට නංවන එකයි.

මෝල්හිමියන් වීරවිල ගබඩාවට දෙන සහල්වලට කිලෝවට රුපියල් 72ක් දිසාපතිවරුන්ට ගෙවනවා. දිසාපතිලා මෝල්හිමියාට ප්‍රවාහනයට පැටවුම් බෑම්වලට වියදම් ලෙස කිලෝවට 4.50ක් දෙනවා. මේ වනවිට හම්බන්තොට හා මොනරාගල දිස්ත්‍රික්ක දෙකේ වී කිලෝ ලක්ෂ 85ක් සහ රත්නපුරයේ කිලෝ 5,65,000ක් හම්බන්තොට හා රත්නපුර දිස්ත්‍රික්කවල මෝල්වලට සහල් කරන්න දීලා තියෙනවා. මේ ආකාරයටම මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කවල සහල් තොග ද කුඩා හා මධ්‍ය පරිමාණ මෝල්වල තියෙනවා. දැන් වෙළෙඳ පොළේ සහල් හිඟ වුණාට මෝල්වල කෙටූ සහල් ඕනෑ තරම් තියෙනවා. අපිට ඒවා විකුණ ගන්න බැහැ. ඒ වී කොටන්න කියලා රජයෙන් අපට දීපුවා. අපි වෙලාවට කෙටුවා. කොටපු හාල් ආණ්ඩුවට දී ගන්න බැරැවයි අපි රස්තියාදු වෙන්නේ. ප්‍රධාන නගරවල ඇති සතොස තොග ගබඩාවලට මේ සහල් බාරදෙන්න ක්‍රමයක් සැලසුවොත් අපට යහපතක් වෙනවා මෙන්ම වෙළෙඳ පොළේ සහල් හිඟයට විසඳුමක් වෙනවා.

අපිට දැන් කිලෝවකට ගෙවන රුපියල් 72 හා වියදම් රුපියල් 4.50 එකතු කරලා ඒ මිලට සහල් පුද්ගලික වෙළෙඳුන්ට විකුණන්න ඉඩ දුන්නොත් සතියක් හමාරක් යනකොට මේ සහල් හිඟය නැතිවෙයි. තව ප්‍රමාද වුණොත් අප ළඟ ඇති සහල් තොග නරක්වෙලා ඒවා හරකුන්ට දෙන්නයි වෙන්නේ.

සමස්ත ලංකා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සහ සිල්ලර වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති චාමින්ද බන්දුල ජයමාන්න:-

“අපිට දැන් වෙනදා වගේ මෝල්වලින් සහල් ලැබෙන්නේ නැහැ. වෙනදාට සතියකට අපේ තොග කඩයකට සහල් කිලෝ 20000ක් ලැබුණා. ඒ වුණාට දැන් ලැබෙන්නේ නාඩු කිලෝ 1000ක් විතරයි. දැන් සහල්වල උපරිම පාලන මිල රුපියල් 98ක් වුණාට අපට ලැබෙන්නේ රුපියල් 94-95ටයි. මෙහිදී අපි විශාල ගැටලුවකට මුහුණපාලයි තියෙන්නේ. අපි 95ට ගන්න සහල් සුළු වෙළෙඳුන්ට කීයට ද දෙන්නේ කියන එක තමා ප්‍රශ්නේ. ඒ මිනිස්සු 98ට විකුණන්න ඕනෑ. ඉතින් අපි දෙන්නේ කීයටද? අපට ලැබෙන ලාභය මොකක්ද? ඒ සිල්ලර වෙළෙඳුන්ට කිලෝවට කීයක ලාභයක් තියාගන්න පුළුවන්ද?

මෙරට දිනක සහල් පාරිභෝජනය කිලෝ 65,000-70,000 අතර ප්‍රමාණයක්. මේ පවතින තත්ත්වය මත ඉදිරියේදී විශාල සහල් හිඟයක් ඇතිවෙන එක වළක්වන්න බැහැ. රජයට වහාම යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. මහා පරිමාණ මෝල්හිමියන් ගොයම් කැපෙන කාලෙට අඩු මිලට වී තොග මිලට ගෙන රැස්කර තබා විශාල සහල් ඒකාධිකාරයක් ඇතිකර ගන්නවා. ආණ්ඩුව මොනවා කිව්වත් ඒ ගොල්ලන්ගේ මිල තමා සහල් මිල වන්නේ. මේ තත්ත්වය නැති කළ යුතුයි.

යසවර්ධන රුද්රිගු

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00