2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

මිනිසා නාගයෙක් කරන රාහු

 2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 3188

රාහු පාථිවියේ උතුරු කොණත් කේතු දකුණු කොණත් වශයෙන් සමහරු හඳුන්වා ඇතත්. රාහු අදෘශ්‍යමාන ඡායා ග්‍රහයෙක් ලෙස හැඳින්වීම උචිතය. රාහු ග්‍රහ තාරකාවක් නොවන්නේ, එම නිසාය. රාහු දේශ දේශාන්තර කෙරෙහි ලොකු බලපෑමක් ඇති කරන අතර පාප ග්‍රහයෙක් ලෙස සලකයි. ලෞකික ද්‍රව්‍යයන් කෙරෙහි බලපෑම් ඇති කරයි. කළුවර්ණ රාහුට නාග හිසක් ඇත. ජන්මියකුට රාහු ලැබූ විට නාගයකු තුළ ඇතිවන ගති ලක්ෂණ වුව පහල විය හැකිය.

දුරදිග නොබලා කටයුතු කිරීම, ඉක්මන් කෝපය, එක තැනක එක විදියකට නොසිටීම, නොයෙක් තැන්වල ඇවිදීමේ ආශාව, රාහු ලැබූවන්ගේ ගති සිරිත්ය. විශේෂයෙන් උස ශරීරයක් සහ දිගු කකුල් ඇති රාහුට වේගයෙන් දිවීමට සහ ඉක්මණින් ඇවිදීමට ඇති හැකියාව පිළිබිඹු කරයි. එම වේගවත් බව දියුණු කිරීම අශ්වයාගෙන් සිදුකරන බව පෙනේ. තම නිවසින් පිටව යාම රාහු දශා කාලයේදී සිදුවේ.

ගෙදරින් පිටව ජීවත්වීමට වැඩි කැමැත්තක් දක්වයි. මෙම ජන්මින් පිළිබඳ වැඩි ප්‍රසිද්ධියක් ඇතිකරයි. ඉගෙනීමට විශේෂයෙන් බාධා හිරිහැර පැමිණේ. රාහු අසුරයෙක් වශයෙන් බුදු දහමේ සඳහන් වෙයි. චන්ද පරිත්ත, සූරිය පරිත්ත යන පිරිත් සූත්‍රවල චන්ද්‍ර සූර්ය පුත්‍රයින් රාහු ග්‍රහණයට හසු වූ අවස්ථාවේ දී දිව්‍ය පුත්‍රයින් බුදු පිහිට පැතූ බව සඳහන් වේ.

කෙනෙකුගේ ශරීරයේ උණුසුම වැඩිවන්නේ රාහු ග්‍රහයා ලැබූ විටදීය. සිකුරු උෂ්ණාධික ගති පීඩාකාරී ගති ඇති කරයි.

රාහු ග්‍රහයා ඉතාමත් සුබව ජන්මියාට පලදෙන විට බලාපොරොත්තු සඵල වී වස්තුව ලබාදෙන බව ප්‍රකට කරැණකි. වස්තු සම්පත්, දරැ සම්පත් ලැබුණු විට ප්‍රසිද්ධිය ඇති කරයි. ඉගෙනීම අඩපණ වීම, ධාරණ ශක්තිය අඩුවීම, අධ්‍යාපනය කඩාකප්පල් වීම, රැකියා සහ ව්‍යාපාර එපාවීම, තනතුරැවලින් පහත වැටීම, සිත්තැවුල් ඇතිවීම, ධන හානි ඇතිවීම, අධික තරහ ගතිය, රෝග පීඩා ඇතිවීම, භූත දෝෂ බලපෑම්, නිතර නිකරුණේ ඇවිදීමට සිදුවීම, රාහු අපලය නිසා සිදුවන ක්‍රියාදාමයන්ය. ජන්මීන් උපත ලබන වේලාවේ විභය තුළ රාහු සිටින ලග්නය නැකත අනුව ශුභ ඵල නැත්නම් අශුභඵල උදා වේ. රාහු පෙර භවයන්හි සිදුකරන ලද පව් පින් අනුව ශුභ හෝ අශුභ බලපෑම් ලබමින් ජන්මියා මෙලොව ජනිත වේ. කවුරු කොහොම කීවත් රාහු හොඳ ශුභ ප්‍රතිඵල මෙන්ම අශුභ ප්‍රතිඵලද උදාකරයි. රාහුට බියවීම එතරම් හොඳ නැත.

අසුර හා භූතාත්ම විසින් රාහු ලැබූ විට හොඳ නරක සිදුකරන බවට ජ්‍යොතිෂයේ මත ගොඩනැගී ඇති බව පෙනේ. පෙර කළ පාපකර්මවල විපාක අනිෂ්ඨ පල අපල කියා හැඳින්විය හැකිය. ඒවා දුරැකර ගැනීමට පින් දහම් කළ යුතුය.

රාහු කාලයට පුද පූජා පැවැත්වීමේ දී තෙල්, මල්, පහන් තිර කපුරැ සාම්බ්‍රානි, හඳුන්කූරු, මල්මාලා, කොඩි යන පූජා භාණ්ඩ සකස් කරගත යුතුව ඇත. රාහු අපලයට පුද පූජා පැවැත්වීමේ දී නාගරුව සහිත බුදුරුවක් අභියස පූජා පැවැත්වීම වඩාත් ගුණදායකය. සත් සතියේ මුචලින්ද නාගදරණය සහිත බුදුරැවකට පුද පූජා පැවැත්වීම අර්ථවත්ය.

රාහු අපලය තදින්ම බලපාන අවස්ථා තිබේ. ඒ කාලයේ බලු බළල් සිව්පා සතුන්ගෙන්ද, නයි පොළොඟුන්ගෙන්ද කරදර විපත් පැමිණිය හැකිය. මේ සඳහා ඡන්ද පිරිත, තුන්වරක්, හත්වරක්, විසි එක්වරක් කීමෙන් හා මෛත්‍රී භාවනාව දියුණු කිරීමෙන් උවදුරු විපත් අඩුවෙන බව සඳහන් කළ හැකිය. සතුන්ට දානදීම, උරගයින් නොමැරීම, පැටවුන්ට හා කිරිදෙන බැල්ලන්ට ආහාර දීමද. අපලයට ප්‍රතිකර්මයකි.

මහා අභිසම්භිදාන යන්ත්‍රය, ඛන්ධ පරිත්ත සූත්‍රය, තුන්සිය විසි හතර වරක්, එක්දහස් අසූ වාරයක් පිරිත් කර පස්ලෝ සුරයක පැළඳ ගැනීමෙන් හෝ ගෝම්ද ගලක් අල්ලා පස්ලෝ නාගදරණයක් සහිත මුද්දක් පැළඳීම ගුණදායකය. මෙය කළ යුත්තේ පිරිත් කීමෙන් පසුවය. එවිට රාහු අපලයට ගුණ ලැබේ.

රාහු අපලයට පූජා භාණ්ඩ ගැනීමේදී නවය බැගින් ගතයුතුය. පිරිත් ගාථා කීමද නවය, දහ අට, අසූ එක, එකසිය අටවාරය, ගණනේ කළ යුතුය. ඉහත කී දේ අනුගමනය කර රාහු අපලයට බිය නොවී සතුටින් ඉන්න.

දේශමාන්‍ය
ජ්‍යොතිෂ්‍ය විද්‍යා විශාරද,
මහාචාර්ය හේමපාල පතිරණ