2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

අධික වේගයෙන් ඉදිවෙන දක්ෂිණ අධිවේගය

 2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 59

2014 වසරේ අගභාගයේ ආරම්භ කෙරුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා කොටස 2015 ආණ්ඩු පෙරළියත් සමඟ සිදුවූයේ ඉතා මන්දගාමී අයුරිනි. නියමිත පරිදි එහි වැඩකටයුතු අවසන් නොවූවද ජනාධිපතිවරණය ආසන්න වෙත්ම අන්දරවැව සිට හම්බන්තොට දක්වා කි.මි 16.6ක ප්‍රමාණයක් හා බරවකුඹුක සිට අන්දරවැව හරහා මත්තල දක්වා කි.මි 21.8 ප්‍රමාණයක් කඩිමුඩියේ විවෘත කිරීමට පැවැති ආණ්ඩුව කටයුතු කළේය. පසුගිය නොවැම්බර් 7 වැනි දින විවෘත කළ අධිවේගී මාර්ගය ඒ වන විටත් වැඩ අවසන් කර නොතිබිණි. අදාළ ඉදිකිරීම් අංගසම්පූර්ණ නොමැති බව පවසමින් ප්‍රදේශවාසීහු එදින විරෝධතාවකද නිරත වූහ. 

අලිවැට ඉදි නොකිරීම හා සතුන් ඇතුළුවීම වැළැක්වීම සඳහා ඉදිකළ යුතු දැල් වැට හෝ ඉදිකර නොමැති වීමෙන් එම මාර්ගය හරහා වන අලින්, සුනඛයන් වැනි සතුන් එහා මෙහා ගමන් කරන බවට සලකුණු දැකිය හැකි විය. මෙය හුදෙක් ජනාධිපතිවරණය අරමුණු කර ගනිමින් කළ මවාපෑමක් බව බොහෝ පිරිසකගේ මතය විය. මාතර ප්‍රධාන අධිවේගී මාර්ගයට සම්බන්ධ කෙරෙන තුරු මෙම කොටස විවෘත කිරීමෙන් මහජනයාට කිසිදු ප්‍රතිලාභයක් අත්නොවන බවත් මෙම කොටසට ඇතුළුවීමටත් පිටවීමටත් කිලෝමීටර 20ක් පමණ ගමන් කළ යුතු බවත් ප්‍රථමයෙන් විවෘත කළ යුත්තේ මාතර සිට බෙලිඅත්ත දක්වා වන කොටස බවත් ඔවුහු පෙන්වා දුන්හ.

නව ආණ්ඩුව පත්වීමෙන් පසු වරාය, නාවික කටයුතු සහ මාර්ග හා මහාමාර්ග සංවර්ධන ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට මත්තල දක්වා කොටසෙහි ඉදිකිරීම්වල ප්‍ර‍ගතිය සොයා බැලූ අතර. වැටිය – මත්තල සහ අන්දර වැව – හම්බන්තොට කොටස අනාරක්ෂිත ලෙස විවෘත කර ඇති බවත් එය විවෘත කිරීම සඳහා පසුගිය ආණ්ඩුව බලහත්කාරයෙන් අනුමැතිය ලබාගෙන ඇති බවටත් අනාවරණ විය.

“තව වැඩ ගොඩක් ඉවර කරන්න තියෙනවා. මේක ජීවිත බිල්ලට කරපු වැඩක්. මේකෙ ගිනි නිවන හමුදාවක් නැහැ, ඇම්බියුලන්ස් නැහැ, අවශ්‍ය කරන වැඩකටයුතු අවසන් කරලා නැහැ. ඒ නිසා මම වහාම වාර්තාවක් දෙන්න කිව්වා. මේ ගැන සොයාබලා මාර්ගය වසා දැමීමට අවශ්‍ය වුවහොත් මෙහි වැඩ කටයුතු අවසන් වන තෙක් අපි මේක වසාදැමීමට පියවර ගන්නවා. ජනතාවගේ ජීවිත සම්බන්ධව කවුරු හරි වගකීම ගන්නවා නම් එහෙනම් ඒකෙ ප්‍ර‍ශ්නයක් නැහැ. මේ ගැන අපි සොයා බලනවා යැයි” ඔහු එහිදී ප්‍රකාශ කළේය.

ඔහු එලෙස සඳහන් කළද අධිවේගී මාර්ගයේ එම කොටස වසා නොදමා එහි ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කරමින් සිටී. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කමල් අමරවීර මහතා,

“නියමිත සැලසුම අනුව ඉදිකිරීම් කටයුතු සිදුකරනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ස්ථානවල පැවැති අඩුපාඩු සකස් කරමින් පවතිනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙතෙක් භාවිත කෙරුණේ ගොඩගම දක්වා පමණයි. ගොඩගම සිට හම්බන්තොට දක්වා අලුතින් එකතුවන දුර ප්‍රමාණය කිලෝමීටර 96ක්. එහි ස්ථාන කිහිපයක් තමයි පසුගිය දිනවල විවෘත වූයේ. සමස්ත මාර්ගයේම වැඩකටයුතු ලබන පෙබරවාරි වනවිට අවසන් කිරීමට නියමිතයි. දැඩි වර්ෂාව වැනි අයහපත් කාලගුණික තත්ත්වයන් යටතේ බාධාවක් නොවුවහොත් අනිවාර්යයෙන්ම පෙබරවාරි මාසයේ වැඩ අවසන් කිරීමට අපේක්ෂා කරනවා.”

කොට්ටාවේ සිට මාතර දක්වා කිලෝ මීටර් 126.1ක් වන දක්ෂිණ අධිවේගී මාර්ගයට ඉදිරියේදී ගොඩගම සිට බෙලිඅත්ත දක්වා කිලෝ මීටර් 30ක්ද, බෙලිඅත්ත සිට බරවකුඹුක දක්වා කිලෝමීටර් 26ක්ද බරවකුඹුක සිට අන්දරවැව දක්වා කිලෝමීටර් 17ක්ද  හම්බන්තොට සිට සිට මත්තල දක්වා අන්දරවැව හරහා කිලෝ මීටර් 22ක්ද එක්වීමෙන් පසු කොට්ටාව සිට හම්බන්තොට දක්වා කිලෝමීටර 222ක දුරක් පැය දෙකහමාරකින් පමණ ගමන් කළ හැකි වනු ඇත.

අලුතින් ඉදිවන ප්‍රදේශයේ අලි ඇතුන් නිතර එහා මෙහා ගමන් කරන බැවින් ඔවුන් ගමන් ගන්නා මංමාවත්වලට අවහිරයක්  නොවන අයුරින් එම ස්ථානවලදී මාර්ගය කණු මත ඉදිකර තිබේ. කොළඹ - ගාල්ල අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී සිදුවූ ඇතැම් අඩුපාඩු මඟහරවා කිසිදු ජල මාර්ගයක් මෙම අධිවේගී මාර්ගය නිසා අවහිර නොවන ආකාරයට මෙම ඉදිකිරීම් සිදුකර ඇති බවද පැවසේ. අලුතින් ඉදිවන කිලෝමීටර් 96ක මාර්ගය මාර්ගය කොළඹ සිට ගොඩගම දක්වා මාර්ගයට වඩා තවත් 20%කින් පමණ පුළුල්ව ඉදිකර තිබේ. 

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00