2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

පොල් ඉඩම් කැඩිල්ලට වැටෙන අලුත් තහංචිය

 2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 484

දැනට වසර දෙකකට පමණ පෙර අපේ රටේ මිනිස්සුන්ට එලොව පොල් පෙනී තිබුණා යැයි කිවහොත් නිවරදිය. ඉතාම කුඩා ප්‍රමාණයේ පොල් ගෙඩියක මිල පවා රුපියල් සියය ඉක්මවා තිබිණි. දවසට රුපියල් පන්සියයක් පමණ හෝ මාසිකව රුපියල් 15000ක් පමණ උපයන කෙනකුගේ වැටුපෙන් හරි අඩක්ම පොල්වලට වියදම් කරන්නට සිදු වූ කාලයක් මෙරට ජනතාවට තිබුණි. අද වනවිට පොල්වලට රජය විසින් පාලන මිලක් නියම කර පැවතිය ද ඒ මිල බොහෝ විට පිළිපදින්නේ සතොස ඇතුළු මහා පරිමාණ වෙළෙඳසල්වල පමණි. සිල්ලර වෙළෙඳසල්වල හා අනෙකුත් වෙළෙඳසල්වල පාලන මිලට පොල් ගෙඩියක් සොයාගන්නට නැත. බොහෝ වෙළෙඳුන් මේ මිල වැඩිවීම සාධාරණය කරන්නේ වෙළෙඳපොළට නිකුත් කෙරෙන පොල් ප්‍රමාණය අඩු වී ඇති බැවින් මිල ඉහළ යන බව කියමිනි.

මහ බැංකු වාර්තා අනුව පසුගිය වසරේදී සියයට 18කට ආසන්න ප්‍රතිශතයකින් පොල් පලදාව පහත වැටී ඇත. මෙලෙස පොල් පලදාව පහත වැටීමට හේතු කිහිපයක්ම බලපා ඇත. ඉන් එකක් වන්නේ පසුගිය කාලය පුරාවටම මෙරටට බලපෑ නියඟයයි. දෙවැන්න වන්නේ කෘමි උවදුරයි. මේ දෙකම මිනිසුන්ගේ සෘජු මැදිහත්වීම නිසා හටගත් දේවල් නොවේ. එහෙත් මෙලෙස වෙළෙඳපොළට එන පොල් ඵලදාව අඩු වීමට මිනිසාගේ සෘජු මැදිහත්වීමෙන් සිදුකළ කටයුත්තක් ද බලපා ඇත. එනම් පොල් ඉඩම් කට්ටි කිරීම හෝ සම්පූර්ණයෙන් වගා රහිත තත්ත්වයකට පත් කිරීමය.

මිනිසාගේ කප්රුක ලෙස හඳුන්වන පොල් වගාවෙන් අවුරුද්දකට සාමාන්‍යයෙන් හොඳ ඵලදාවක් ඇති ගසකින් ගෙඩි සියයක් පමණ ලබාගත හැකිය. අක්කරයක තිබිය යුතු පොල් ගස් ගණන 70කි. අක්කරයක ඉඩමකින් පොල් වගා සහිත බිම් කට්ටි කර විකිණීම මගින් වසරකට පොල් ගෙඩි 70000ක් පමණ මේ අනුව අහිමි වෙයි. පොල් කර්මාන්තකරුවන්ගේ සංවිධානය පවසන්නේ වසරකට පොල් ඉඩම් අක්කර 10000ක් පමණ කට්ටි කර විකුණන බවයි. එවිට දළ වශයෙන් අපට අහිමි වන ගෙඩි ගණන 7000,0000කි.

කෙසේ වෙතත් 2010 වසරේදී එවකට රජය විසින් පොල් ගස් කැපීම තහනම් කිරීමේ නීතියක් හඳුන්වා දුන්නේ පොල් වගා කිරීමේ මණ්ඩලයේ ලිඛිත අවසරයක් නොමැතිව පොල් ගස් කැපීම දඬුවම් ලැබිය හැකි වරදක් බව සඳහන් කරමිනි. එහෙත් 2010 වසරේ පැනවූ එම නීතිය කවුරුත් ගණනකට නොගත් බවක් පෙනෙන්නට ඇත්තේ තවමත් පොල් ඉඩම් කට්ටිකර විකිණීම සිදුවන බැවිනි. වසරින් වසර පොල් ඉඩම් කට්ටි කර විකිණීම 2010 වසරේදී 4000ත් 5000ත් වූ අතර මේ වනවිට අක්කර 10000ක් තරම් ප්‍රමාණයට ඉහළ ගොස් තිබේ.

කෙසේ වෙතත් අනුමැතියකින් තොරව කැබලි කිරීමට අවසර ලබා දෙන අක්කර 10ක පොල් ඉඩම් උපරිම සීමාව අක්කර 5ක් දක්වා අඩු කිරීමට වත්මන් රජය පියවර ගෙන ඇත. පොල් ඉඩම් කැබලි කිරීම විශාල වශයෙන් සිදුවන බැවින් එම ඉඩම් කැබලි කිරීම පාලනය කිරීමේ අරමුණින් රජය විසින් මෙම පියවර ගෙන ඇත.

පොල් කර්මාන්තකරුවන්ගේ සංවිධාන එකමුතුවේ සාමාජික සංජීව කරුණාසාගර

ලෝකයේ වැඩිම පොල් පරිභෝජනය කරන රට තමයි ලංකාව. මෙරට වසරක ඒක පුද්ගල පොල් පරිභෝගනය පොල් ගෙඩි 109ක් පමණ වෙනවා. ඒ වගේම එක වසරකට පොල් ගෙඩි මිලියන 2000ක් වගේ සංඛ්‍යාවක්. නමුත් මේ වනවිට වෙළෙඳපොළට අවශ්‍ය විදිහට පොල් ප්‍රමාණය දෙන්න බැරි වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ පොල් ඉඩම් කට්ටි කර විකිණීම මේ හේතුවෙන් වෙන පොල් ගස්වල විනාශය නිසා වසරකට පොල් ගෙඩි 1000ක පමණ හිඟයක් මතුවෙලා තියෙනවා. ඒ වගේම මේ වනවිට පොල් ඉඩම් හෙක්ටයාර් 21616 පමණ රටට අහිමි වෙලා තියෙනවා. පසුගිය සතියේ අපි මෙම පොල් වගාකරුවන් හා පොල් ආශ්‍රිතව නිෂ්පාදනය සිදු කරන කර්මාන්තකරුවන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳව අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළා. එහිදී ගස් හෙලීමේ පනතේ විධිවිධාන යටතට පොල් ගස ද ඇතුළත් කරන ලෙස අප ඇමැතිවරයාට යෝජනා කළා. ඒ වගේම දැනට පවතින අක්කර 10ට වැඩි පොල් ඉඩම් කැබලි කිරීමේදී බලපවත්වන නීතිය අක්කර 05ක් දක්වා අඩු කරන ලෙසත් අපි අමාත්‍යවරයාට පෙන්වා දුන්නා. පාම් ඔයිල් කර්මාන්තය නිසා මෙරට පොල් තෙල් මෝල් වැසී ගොස් ඇති බවත් පොල් වගාව සුරුකීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අපි අමාත්‍යවරයාට දැනුම් දීමෙන් පසු අමාත්‍යවරයා ඒ පිළිබඳ සොයා බැලීමට එකඟ වුණා.

වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය රමේෂ් පතිරණ

පොල් කර්මාන්තය සුරුකීමේ සංවිධානයේ සාමාජිකයන් සමඟ පසුගිය සතියේ කරන ලද සාකච්ඡාවකදී අනාවරණය වූයේ පොල් ඉඩම් කැබලි කිරීම විශාල වශයෙන් සිදුවන බවයි. එබැවින් පොල් ඉඩම් කැබලි කිරීමට දැඩි ලෙස පාලනයක් අවශ්‍යයි. 
ඒ පිළිබඳව සලකා බලා තේ හා පොල් ඉඩම් කැබලි කිරීමේදී එම පාලන මණ්ඩලය සමඟ නව විධිවිධාන සැකසීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දැනට අනුමැතියකින් තොරව කැබලි කිරීමට අවසර දී තිබෙන උපරිම පොල් ඉඩම් සීමාව වන අක්කර 10ක ප්‍රමාණය අක්කර 05ක් දක්වා අඩු කිරීමටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න තීරණය කරනු ලැබුවා. ඉදිරියේදී ඒ පිළිබඳව වඩා වැදගත් ක්‍රියාමාර්ග රාශියක් ගැනීමට අපි බලාපොරොත්තු වනවා. ඒ වගේම තමයි ගස් හෙලීමේ පාලන පනත කඩිනමින් සංශෝධනය කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.

 හසිත් අංජන                                  

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00