2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා

රට අවුස්සන විග්නේෂ්වරන්ගේ මහබොරු කතාව

 2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:31 263

ශ්‍රී ලංකාව බෞද්ධ රටක් ලෙස පැවසීමට කිසිදු පුද්ගලයකුට අයිතියක් නොමැති බව පසුගියදා උතුරු පළාතේ හිටපු මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් පැවසුවේය. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසා සිටියේ මහාවංශය පාලි භාෂාවෙන් රචිත ප්‍රබන්ධ කතාවක් පමණක් බවයි. ශ්‍රී ලංකාව බෞද්ධ රටක් ලෙස අර්ථ ගැන්වීම මුළුමනින්ම වැරදි බවත් පාලි භාෂාවෙන් රචනා කර ඇති ඉතිහාස ප්‍රබන්ධ මගින් මෙරට සිංහල ජනතාව වෙත වැරදි මත ලබාදී තිබෙන බවත් ඔහු පවසා සිටී. “සිංහල ඉතිහාසය ලෙස ඔවුන් ලොකු ප්‍රබන්ධයක් ගොඩනැගීමට උත්සාහ කරනවා. උතුරු නැගෙනහිර පළාත්වල කිසිදු සිංහල ජාතිකයකු ජීවත් වී නැහැ. ශ්‍රී ලංකාව කිසි ලෙසකින්වත් සිංහලයන්ගේ නිජබිම ලෙස හැඳින්වීමට නොහැකියි. මේ රටේ මුල් පදිංචිකරුවන් වන්නේ දෙමළ ජනතාවයි. පුරාණයේ මේ රටේ පදිංචිව සිට ඇත්තේ දෙමළ බෞද්ධයන්ය. සිංහල, දෙමළ, බර්ගර්, මැලේ, චීන ජනතාව මේ රටේ සමගියෙන් ජීවත්ව තිබෙනවා. ශ්‍රී ලංකාව සිංහල ජනතාවගේ බවට හිමිකම් කීමෙන් පසුව ජාතීන් අතර බිඳවැටීම් හටගෙන තිබෙනවා.” විග්නේෂ්වරන් පවසා සිටී.

හිටපු මහඇමැතිවරයාගේ මේ ප්‍රකාශය දකුණේ සිංහල බෞද්ධ ජනතාව උණුසුම් කිරීමට හේතුවිය. මේ ප්‍රකාශය පදනම් කරගනිමින් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් පොලිස් මූලස්ථානයට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය 15දා පැමිණිලි කිහිපයක් ද ඉදිරිපත් කෙරුණි.

කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙන ගෙන පසුව නීති විද්‍යාලයේ අධ්‍යාපනය ලබා නීතිඥ වෘත්තියට එළඹි සී.වී. විග්නේෂ්වරන් උගතෙකි. ඔහු පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයෙක් ලෙස පත්විය. විශ්‍රම යාමෙන් ඔහු ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයෙන් යාපනයේ දේශපලානයට පිවිසියේය. මෑතකදී එම පක්ෂයෙන් ඉවත් වී දෙමළ ජාතික සභාව නම් පක්ෂය පිහිටුවා ගත්තේය. 

ඔහු මෙවැනි පදනම් විරහිත ප්‍රකාශ කරන්නේ නොදැනුවත්කමින් යයි ඇදහිය නොහැකිය. ඒ ප්‍රකාශවල අරමුණ දකුණ අවුස්සා එළඹෙන මහ මැතිවරණයෙන් ඔහුගේ පක්ෂයට උතුරේ ඡන්ද ගොඩ ලොකු කර ගැනීම වියහැකිය.

උතුරට ද මෙරට බුද්ධාගමට උරුමයක් පවතී. ශ්‍රී මහා බෝධි ශාඛාව රැගෙන සංඝමිත්තා තෙරණිය මෙරටට පැමිණියේ යාපනයේ දඹකොළ පටුන වරායෙනි. දේවානම්පියතිස්ස රජු කරවටක් මුහුදේ බැසගොස් බෝධි ශාඛාව පිළිගත් බව වංශකතාවල සඳහන්ය. දේවානම්පියතිස්ස රජු බෝධි ශාඛාව සුලිපුර ගම අසල රෝපණය කරවා විහාරයක් ද ගොඩනැංවීය. ඒ ගම අද චුල්ලිපුරම් නම් වේ. මෙම ප්‍රදේශයේ විශාල බෞද්ධ ජනතාවක් පදිංචිව සිටි බව මුදළිදු සී. රාසනායගම් ලියූ Ancient Jaffna පොතේ සඳහන්ය. බෞද්ධ විහාර, සංඝාරාම, ප්‍රතිමා, ස්ථූප යනාදියේ නටබුන් යාපනය අර්ධදීපයේ හමුවේ. 

වසභ රජ දවස (ක්‍රි.ව. 65-109) නිකුත් කළ වල්ලිපුරම් රන් සන්නසට අනුව යාපනය (නකදිව) පාලනය කර තිබෙන්නේ පියගුක තිස නම් ඇමැතිවරයාය. යාපනයෙන් පහළට එනවිට බෞද්ධ නටබුන් විශාල වශයෙන් හමුවේ. ඒවා පුරාවිද්‍යාව විසින්ම සාධක සහිතව ඔප්පු කර තිබේ. අද උතුරේ දේශපලනඥයන් පුරාවිද්‍යා කැණීම්වලට පවා විරෝධය එල්ල කර තිබෙන්නේ සැබෑ ඉතිහාසය විසින් කිරීමේ අරමුණෙන් බව පැහැදිලිය.

විග්නේෂ්වරන් ප්‍රකාශය පිළිබඳව උගත් භික්ෂූන්වහන්සේ කිහිප දෙනෙක් දැක්වූ අදහස් මෙසේය.

දේශපාලන වාසිවලට කරන ප්‍රකාශ පමණයි
වේඩරුවේ උපාලි නාහිමි, සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක

අපි මුලින්ම හිතුවේ මේ වගේ කතාවලට පිළිතුරු දීම නිෂ්ඵල බවයි. නමුත් මේ වනවිට විග්නේෂ්වරන්ගේ ප්‍රකාශය ගැන කිහිපදෙනෙක්ම අදහස් දක්වලා කතාබහට ලක්වෙලා තිබෙනවා. මේ පුද්ගලයා අද විතරක් නොවෙයි මීට පෙරත් අවස්ථා කීපයකදී විවිධ අහිතකර ප්‍රකාශ කර තිබෙනවා. දේවානම්පිය තිස්ස, දුටුගැමුණු රජවරු ද්‍රවිඩ රජවරු බව කලින් කියලා තිබෙනවා මම දැක්කා. මීට වසර 200කට පෙර මීගමුවේ සිට කතරගම දක්වාම වාසය කළේ ද්‍රවිඩ ජාතිකයෝ කියලා කියා තිබුණා.

ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් නොවේ. සිංහලයෝ මේ රටේ හිමිකාරයෝ නොවේ. විශ්ණු දේවාලය හදලා තිබෙන්නේ ද්‍රවිඩ කෝවිලක් උඩලු. සිංහල භාෂාව ගැන මහාවංශයේ සඳහන් නොවේලු. ඔය වගේ ප්‍රකාශ සිදුකරන්නේ දේශපාලන වාසි ලබාගැනීමට සහ දෙමළ ජනයා සතුටු කිරීමටයි. ඒකයි ඔහු කියන්නේ දෙමළ ජනතාවට රටේ වැඩි උරුමයක් තිබෙන බව. ඔය වගේ කරුණු ඇතුළත් කරලා නිබන්ධනයක් ලිව්වා කියලා මම අහලා තිබෙනවා. අපේ ඉතිහාසඥයෝ ඒවාට හරි පිළිතුරක් දුන්නේ නෑ. ඒ නිසා දෙමළ ජනයාට මේක ලොකු හයියක් වුණා. ඔවුන් ඒ ගැන කතාබහ කිරීමට පටන් ගත්තා. කලින් උතුරේ මහඇමැතිව සිටි වර්ධරාජා පෙරුමාල්, ඊළාම් කොඩිය ඔසවලා දේශපාලන වාසි ලබාගෙන දෙමළ ජනයාට ළංවීමට උත්සාහ කළා වගේ තමයි විග්නේෂ්වරන් මේ ප්‍රකාශවලින් සිදුකරන දෙයත්.

අපට මහාවංශයේ නිවැරදි ඉතිහාසයක් තිබෙනවා. ඒවා ගැන ශාස්ත්‍රීයව කරුණු දැක්වීමට ඉතිහාසඥයෝ ඉදිරිපත් විය යුතුයි. පොළොන්නරු යුගයේ කාලිංග මාඝගේ ආක්‍රමණයෙන් පසුව තමයි දෙමළ බලපෑම් වැඩිවෙලා තිබෙන්නේ. ඊට පෙර විවිධ දකුණු ඉන්දීය ආක්‍රමණ ඇතිවුණත් අපේ රජවරු ඒවා මැඩ පැවැත්වූවා. දඹදෙණියේ රාජධානිය පිහිටුවා ගත් තුන්වන විජයබාහු හා පසුව රජවූ දෙවැනි පරාක්‍රමබාහු රජතුමා කාලිංග මාඝ පලවා හැරියා. යළිත් රට ආක්‍රමණිකයන්ගෙන් මුදවා ගත්තා.

මහාවංශය බොරු කරන්න විග්නේෂ්වරන්ට බෑ
- පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමි

මට නම් පේන්නේ විග්නේෂ්වරන්ට පිස්සු හැදීගෙන එනවා වගේ. මහාවංශය බොරු කරන්න විග්නේෂ්වරන්ගේ පණ්ඩිතකම මදි. ලංකාව සිංහල බෞද්ධ රටක් බව ඔප්පු කිරීමට සාධක ඕනෑ තරම් තිබෙනවා. විග්නේෂ්වරන්ට එකම සාධකයක්වත් නැති බවයි පෙන්නේ. අපේ රටේ සිංහල - දෙමළ - මුස්ලිම් ජනතාව සහෝදරත්වයෙන් අත්වැල් බැඳගෙන ජීවත් වෙනවා. ඒ තත්ත්වය විනාශ කිරීමට විග්නේෂ්වරන් කියන කතා හේතු වෙන නිසාත් ඒවා රාජ්‍ය විරෝධී බරපතළ කරුණු නිසාත් ඔහු අත්අඩංගුවට ගත යුතු පුද්ගලයෙක්.

ඔහු මොන සාධක මතද මේ කාරණා පවසන්නේ. යම්කිසි කරුණක් පවසන විට එය ඔප්පු කළයුතුයි සාධක සහිතව පැවසිය යුතුයි. මහාවංශයේ එන හැම කරුණක්ම වගේ පුරාවිද්‍යාත්මක කැණීම්වලදී, සෙල්ලිපිවලින් ඔප්පු වෙලා තියෙන්නේ. මහාවංශයේ කිසිම කරුණක් බොරු කියන්න බැහැ. එම කරැණු ලැබී තිබෙන සෙල්ලිපි හා පුරාවිද්‍යාත්මක සාධක මගින් තහවුරු වෙලා අවසන්. එලෙස තහවුරු වී නැත්නම් එයට හේතුව අවශ්‍ය පුරාවිද්‍යාත්මක සාක්ෂි සොයාගෙන නැතිවීමයි. ලංකාවේ දිවයින පුරාම තිබෙන සෙල්ලිපිවලින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සොයාගෙන තිබෙන්නේ යම් ප්‍රමාණයක් පමණයි. අපි සෑහෙන සෙල්ලිපි ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. ඒවා අපි වාර්තා කරලා තිබෙනවා. දැනට ලැබී තිබෙන සෙල්ලිපිවලින් මහාවංශයේ බොහෝ කරුණු ඔප්පු වෙලා තිබෙන්නේ. ප්‍රධාන කරැණු එකක්වත් බොරු කියලා කියන්න පුළුවන් කමක් නැහැ.

මහාවංශය පිළිබඳව විග්නේෂ්වරන්ට තිබෙන හිසරදය ජාතිවාදී පාප කර්මයක් කර රට දෙකඩ කිරීමේ උත්සාහයක් බවයි පෙන්නේ.

මේ රට බෞද්ධ රටක් නොවෙයි කියලා ඔහු කියන්නේ කෙසේද? මේ රටේ ක්‍රි.පු. 3 වන සියවසේ ඉඳන් බෞද්ධ ශිලා ලේඛන, බෞද්ධ පුරාවිද්‍යා උතුරු නැගෙනහිර සිට රට පුරාම අපට හමුවෙනවා. සිරිපතුල් ගල්, පාද ලාංඡන, ආසනඝර උතුරු ප්‍රදේශයෙන් හමුවෙනවා. ඒවා මොන ආගමකට අයිති ඒවාද? මොන ජාතියකට අයිති ඒවාද? දෙමළ ජනතාවට පෙන්විය හැකි එක් පුරාණ ගල් කැටයමක්වත් මේ පළාතේ තිබෙනවාද? 10 වැනි ශත වර්ෂයට පෙර කිසිම දෙමළ පුරාවිද්‍යා සටහනක් මේ පළාත්වල හෝ දිවයිනේ හෝ හමුවන්නේ නැහැ. මම විග්නේෂ්වරන්ට අභියෝග කරනවා තිබෙනවා නම් පෙන්වන්න කියලා.

මේක සම්පූර්ණයෙන් සිංහල බෞද්ධ රටක්. මේක ජනාවාස කළේ සිංහලයෝ. නමුත් දෙමළ, මුස්ලිම් මිනිසුන්ට ඉන්න තහනමක් නෑ. නමුත් මහජාතිය ඒ විදියට පිළිගත යුතුයි. ඔවුන්ගේ සංස්කෘතිය, නීතිය පිළිගත යුතුයි. මේ වගේ කට කැඩිච්ච කතා කියලා මහජාතිය කුපිත කර නැවතත් ත්‍රස්තවාදය කරා මේ රට ගෙනියන්න එයා කියලයි අපි කියන්නේ.

ඉන්දියාවේ අශෝක රජ්ජුරුවන්ගේ ශිලා ලිපිවල දේවානම්පිය (දෙවන පිය) කියන වචනය සඳහන් වෙනවා. ඉන්දීය පුරාවිද්‍යාඥයෝ කල්පනා කළා කවුද මේ “දෙවනපිය” කියලා. අපේ සෙල්ලිපිවල තිබෙන දේවානම්පියතිස්ස මුටසීව රජුගේ පුතා ලෙස ඇතැම් පුරාවිද්‍යාඥයන් සලකනවා. මහාවංශයේ ඉංග්‍රීසි පිටපත කියවන විට ඉන්දීය පුරාවිද්‍යාඥයන්ට වැටහුණා. “දේවානම්පිය” කියන උපාධිය තිබිලා තිබෙන්නේ ධර්මාශෝක රජතුමාට බව. ඉන්දීය ඉතිහාසය ගොනු කිරීමට පවා මහාවංශය වැදගත් වනවිට විග්නේෂ්වරන් කොහොමද කියන්නේ මේක බොරු කියලා.

යාපනේ නාගදීපයේ නාගපුසනී අම්මාන් කෝවිලේ බිත්තියක සෙල්ලිපියක් සවිකරලා තිබුණා. දැන් ඒක ගලවලා පැත්තකට දාලා. ඒක ඌරාතොට (කයිට්ස්) වරායේ නීතිරීති ඇතුළත් කරලා මහා පරාක්‍රමබාහු රජතුමා දෙමළෙන් ලියවපු සෙල්ලිපියක්. දෙමළෙන් ලියලා තිබෙන්නේ දෙමළ මිනිසුන්ට පහසුවෙන් තේරුම් ගැනීමට. එහි අවසානයට සංස්කෘත ශ්ලෝකයක් තිබෙනවා. ඒකේ පරාක්‍රමබාහු හඳුන්වලා තිබෙන්නේ සකල සිංහල චක්‍රවර්තී රජු හැටියට. වල්ලිපුරම් රන් සන්නස, කන්තරෝඩේ ලිපි, තුනුකායි ටැම් ලිපිය වගේ ඒවායින් පේනවා සිංහල බෞද්ධ රජු යටතේ යාපනය එවකට පැවති බව.

මේවා කට වාචාලකමට කියන කතා
ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි

විග්නේෂ්වරන් මහත්තයා කියන්නේ පුරාවිද්‍යාව හෝ ඉතිහාසය සම්බන්ධයෙන් ප්‍රාමාණික උගතෙක් නොවෙයි. ඔහු විනිශ්චකාරවරයෙක් ලෙසට කටයුතු කර තිබෙනවා. අපට පේන්නෙ ඔහු කිසිදු සාධාරණ දැක්මක් නැති කට වාචාලකමට දොඩවන බලලෝභී දේශපාලනඥයෙක් පමණක් බවයි. මේ පුද්ගලයා කියන කතන්දර කිසිදු හේතුවක් සාධකයක් ඇතුව කියන ඒවා නොවේ.

මේ වගේ කතන්දර කියන කෙනෙක් එක්ක වාද කරලා වැඩක් නෑ. මොහු දැනුම ඇත්තෙක්. නමුත් රට, සමාජය හා ජාත්‍යන්තර ප්‍රජාව නොමඟ යැවීමට උත්සාහයක යෙදෙන කෙනෙක්. මේ වගේ මුසාවාද නිසා රටේ ඉතිහාසය නොදන්න ඇතැම් අය නොමඟ යෑමට ඉඩ තිබෙනවා. මේ මනුස්සයා බුද්ධිමත් විදිහට පෙනී සිට කියන කතා නිසා. 

මේ රට සිංහල බෞද්ධ බව මේ දක්වා පිළිගැනී තිබෙනවා. ආනන්ද කුමාරස්වාමි කියන්නේ ජාත්‍යන්තර කීර්තියට පත් දෙමළ පුරාවිද්‍යාඥ උගතෙක්. ඔහු පැහැදිලිවම කියා තිබෙනවා. බුද්ධාගම නිසා සිංහල ජාතිය ආරක්ෂා වී පවතින බවක්. ඒ නිසා රට ආරක්ෂා වී තිබෙන බවත්. රටේ ඉතිහාසය නිර්මාණය වී තිබෙන්නේ බෞද්ධ දර්ශනය මත බව ආනන්ද කුමාරස්වාමි පවසනවා. රීස් ඩේවිස්, විල්හෙල්ම් ගයිගර් වගේ විදේශ පඬිවරු, හෙන්රි ස්ටීල් ඕල්කට් වැනි උගතුන් රටේ බෞද්ධකම පිළිගෙන තිබෙනවා. සිංහල බෞද්ධ බවට පදනම වැටෙන්නේ මහාවංශයෙන්. ඒ නිසා තමයි ඔහු කියන්නේ මහාවංශය ප්‍රබන්ධයක් කියලා.

මහාවංශය ප්‍රබන්ධයක් තමයි. ඒ ප්‍රබන්ධයට පදනම් වී ඇත්තේ ඉතිහාසගත තොරතුරු. නමුත් නවකතාවක් නොවෙයි. මේක රචනාවක්. මේක සත්‍ය කරුණු පදනම් කරගෙන රචිත ඓතිහාසික රචනාවක්. මේක ක්‍රි.ව. 4 වැනි සියවසේ මුලින්ම ලිව්වේ මහානාම හාමුරුවො. ඊට පසුව දිගින් දිගටම විවිධ කතුවරු මහාවංශය ලියාගෙන එනවා. මේ වගේ ඓතිහාසික කෘතියක් ලෝකෙ කොහෙවත් නෑ. ඉන්දියා ඉතිහාසය ගොඩනැගීමටත් මහාවංශය පාදක කරගෙන තිබෙනවා. මහාවංශයේ ඓතිහාසික පදනම සනාථ කෙරෙන සාක්ෂි ඉදිරිපත් කරන්නේ පුරාවිද්‍යාවෙන්. ලෝකයේ මානව ඉතිහාසය, පරිසර ඉතිහාසය ඔප්පු කර ගැනීමට පුරාවිද්‍යාව යොදා ගන්නවා. මහාවංශයේ කියා තිබෙන කරැණු පුරාවිද්‍යාවෙන් මැනවින් ඔප්පු වෙනවා. ක්‍රි.පු. 3 වැනි සියවසේ පටන් අපේ ඉතිහාසයේ කරුණු පුරාවිද්‍යාව මගින් ඔප්පු කර තිබෙනවා. යාපනේ පමණක් නොවෙයි. රටේ අනෙක් ප්‍රදේශවලින් පුරාවස්තු රාශියක් හමුවෙනවා. ඒ පුරාවස්තුවලින් හෙළිවෙන කතාව මහාවංශයේ ලිඛිතව තිබෙනවා. ඒ ඒ රජවරුන්ගේ තොරතුරු, ඒ රජවරැ කරපු වැඩ ගැන මහාවංශයේ සඳහන්. පුරාවස්තුවලින් සහ සෙල්ලිපිවලින් ඒ කරුණු සනාථ වී තිබෙනවා.

මට නම් පේන්නෙ විග්නේෂ්වරන්ගෙ මොළේ පරීක්ෂා කළ යුතු බවයි. මේ මනුස්සයා ඉතිහාසය කියවපු කෙනෙක්. ඉතිහාසය දන්න කෙනෙක්. දැන් තමයි ඒවා වැරදියි කියන්නේ. මෙයා හිතනවා සිංහල බෞද්ධයන්ට බැන්නම දෙමළ මිනිස්සු ඡන්දෙ දේවී කියලා. ඡන්දය ලබාගත යුත්තේ මිනිසුන්ට වැඩ කරලානේ. දෙමළ මිනිසුන්ගේ අනාගතය රුකෙන්නේ සිංහල මිනිස්සුන් එක්කමයි.

දෙමළ ජනතාවත් මේ වගේ ප්‍රකාශවලට අකමැතියි
ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමි සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ මහනායක

විග්නේෂ්වරන් නඩුකාරකමේ සේවය කරන විට මේ වගේ ප්‍රකාශ කරනවා අපි දුටුවේ නැහැ. එතකොට මේ වගේ ප්‍රකාශ කළා නම් තත්ත්වය බරපතළයි. නඩුකාරකමෙන් විශ්‍රාම අරගෙන උතුරේ දේශපාලනයට ගිය පසු තමයි ඔහුගේ තත්ත්වය රටට තේරුණේ. ඔහු කර තිබෙන බරපතළම ප්‍රකාශය තමයි පසුගියදා කළේ. ඒක තදබල අන්තවාදී ප්‍රකාශයක්. මෑත කාලයේ කිසි කෙනෙක් ඒ වගේ ප්‍රකාශයක් කළේ නැහැ.

මම හිතනවා මේක ජනතාව බරපතළ විදිහට නැගී සිටිය යුතු තත්ත්වයක්. ලංකාව ථේරවාදී පෙරදිග බෞද්ධ රටක් වශයෙන් ඉතිහාසයේ පටන්ම ලෝකය පිළිගෙන තිබෙනවා. මේක කවුරැ හරි සංවිධානාත්මක කණ්ඩායමකින් විග්නේෂ්වරන්ට කියල ද අපි දන්නේ නෑ. දකුණේ එහෙම බෞද්ධ විරෝධී ප්‍රකාශ කළ අයට නම් සිංහල ජනතාව ඡන්දයෙන් පාඩම් ඉගැන්නුවා.

දෙමළ නායකයන් පවා පෙර මේ විදිහේ ප්‍රකාශ කරලා නෑ. මේක භයානක ප්‍රකාශයක්. මේ වගේ දේවලා කරලා දේශපාලන වශයෙන් කොහේද යන්න හදන්නේ කියලා මට නම් හිතාගන්න බෑ. මේ වගේ ප්‍රකාශ කරන්න තරමට අන්තයට ගිය උදවිය දැන් අඩුයි. ඒකේ ආදීනව ඔවුන් දන්නවා. විග්නේෂ්වරන් එක එක ප්‍රකාශවලින්නේ ඉදිරියට ඒමට හදන්නේ. මම හිතන්නේ නෑ ද්‍රවිඩ ජනතාවත් ඒ වගේ අන්තවාදී ප්‍රකාශවලට කැමති වෙන එකක් නෑ. 

 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00