2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා

ගල්-වැලි-පස් බලපත් වලිය

 2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:31 560

ගල්, වැලි සහ පස් ප්‍රවාහනය කිරීම සඳහා ප්‍රවාහන බලපත්‍රයක් ලබාගැනීමේ අවශ්‍යතාව පසුගිය 4 වැනිදා අමාත්‍ය මණ්ඩල තීරණයක් මගින් ඉවත් කෙරිණ. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මින් ඉදිරියට එවැනි ප්‍රවාහන බලපත්‍ර අවශ්‍ය නොවන බව පරිසර හා වනජීවී සම්පත්, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් රැස්වීමෙන් පසු නිවේදනය කර ඇත.

“ප්‍රවාහනය කරන්න මෙච්චර කාලයක් බලපත්‍රයක් ගන්න ඕනෑවෙලා තිබුණා. එය වහාම නවත්වන්න කියලා ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. මේ බලපත්‍ර ක්‍රමය නිසා ජනතාව ලොකු අපහසුතාවකට පත්ව සිටියා. පරීක්ෂාකරන ස්ථාන කිහිපයක් අතරමඟ තිබුණා. මීට පස්සේ එහෙම වෙන්නේ නැහැ. හැබැයි ප්‍රවාහනය සඳහා දෙන බලපත්‍ර ක්‍රමය තමයි මෙහෙම අවලංගු කළේ. ඉදිරියේදී ගස්, වැලි, පස්වලට බලපත්‍ර ලබාදීමේ ක්‍රමය සරල කරන්නට ද කමිටුවක් පත්කරන්න තීරණය කළා.”

රටේ ඉදිකිරීම්වලට සහ සංවර්ධනයට මෙම තීරණයෙන් විශාල පහසුවක් ලැබෙන බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

මේ පිළිබඳ විවිධ සංවිධාන සහ පුද්ගලයන් විසින් අදහස් පළකරන්නට යෙදුණු අතර පරිසර සංවිධාන පැවසුවේ මේ බලපත්‍ර අහෝසිකිරීම නිසා ඕනෑම කෙනෙකුට පරිසරයට හානිවන පරිදි වැලි, පස් ගල් ආදිය ප්‍රවාහනය කිරීමට ඉඩ ලැබීමෙන් අහිතකර ප්‍රතිඵල ඇතිවිය හැකි බවය. අනවසර කැනීම් පිළිබඳ යම්තම් හෝ පාලනයක් තිබුණේ බලපත්‍ර ක්‍රමය නිසා වන අතර එය නිදහස් කිරීමෙන් අවිධිමත් ක්‍රියා සිදුවී පරිසරයට හා සතා සීපාවාට පවා හානි වනු ඇති බවයි. නීති තද කළ යුතුව තිබියදී ලිහිල් කිරීම කනගාටුදායක බවද ඔවුහු කියති.

එසේ වුවද මෙම සහනය තම ව්‍යාපාරවලට ධනාත්මකව බලපාන බව ව්‍යාපාරිකයෝ පවසති. මෙම බලපත්‍ර ක්‍රමය නිසා බලපත්‍රය ඇතත් නැතත් වාහන පසුකර එන සෑම පොලිස් මුර පොළකම නිලධාරීන්ට මුදල් බෙදිය යුතු බව ඔවුන්ගේ චෝදනාවය. එසේ නොකළහොත් කුමන හෝ වරදක් පටවා තම වාහන අත්අඩංගුවට ගෙන නඩු පවරන බව ඔවුහු කියති. මෙම තත්ත්වය නිසා රුපියල් 3000කට පටවන වැලි ලොරියක් ප්‍රවාහනය කරන විට එයට සමාන මුදලක් අල්ලස් සඳහා දීමට සිදුවන බැවින් විශාල මුදලකට සැපයුම්කරුවන්ට අලෙවි කිරීමට සිදුව තිබේ. මෙම තත්ත්වය මහජනතාවට ද දරාගන්නට බැරි වියදමක් බවද පවසන අතර ඒ හේතුවෙන් ඉදිකිරීම් සඳහා විශාල වියදමක් දැරිමට සිදුවූ බව එම කේෂ්ත්‍රයේ ව්‍යාපාරිකයෝ ද පවසති.

කෙසේ වුවද මෙම තීරණයෙන් හොඳ හා නරක යන ප්‍රතිඵල දෙකම ලැබෙන බව පෙනීයයි. ඒ නිසා මේ පිළිබඳ යම් නියාමනයක් ඇතිකිරීම වැදගත් බව පැවසිය යුතුයි. 

ජාවාරමුන් තවත් ශක්තිමත් වෙනවා
ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පරිසරවේදී සජීව චාමිකර

අමාත්‍ය මණ්ඩලය ගත් මේ තීරණය සම්පූර්ණයෙන්ම නීති විරෝධියි. පතල් හා ඛණිජ ද්‍රව්‍ය පනතේ ඇති ප්‍රතිපාදන මෙයින් මුළුමනින්ම උල්ලංඝනය කර තිබෙනවා. මෙම පනත නීතිගත කරලා තියෙන්නේ දීර්ඝකාලීන අධ්‍යයනයකින් පසුවයි. වසර ගණනක සිට තිරසාර පරිසර සංවර්ධනය ගොඩනැගීමට ගත් උත්සහයක ප්‍රතිඵලයක් තමා මෙය. ඉතින් මෙම පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය කරලා ඇමැති මණ්ඩලය තීරණ ගන්නේ කෙසේද? එය කළහැකි නොවෙයි.

මේ ක්‍රියාවලිය හරහා කැණීම් බලපත්‍රයට සාපේක්ෂව ප්‍රවාහන බලපත්‍රය අවශ්‍ය බවට නීති පැනවුණා. මේ පනත අධිකරණ ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. 2005 – 2006 වසරවල දැදුරු ඔය සහ මාඔයේ වැලි කැණීම් වර්ධනය වීමට එරෙහිව පැවරූ නඩුවක තීරණයක් තමා මෙම පනත. වැලි, පස්, ගල් අවිධිමත් ලෙස කැණීම සහ ප්‍රවාහනය හා ඒ ආශ්‍රයෙන් නිර්මාණය වන නීති විරෝධී ක්‍රියා වැළැක්වීමයි මෙහි අරමුණ වූයේ. පරිසර විනාශය නිසා සතා සිපාවා සහ ජන ජීවිතවලට හානි, ජල අර්බුද, පස විනාශ වීම, දේපල හානි කාලගුණික විපර්යාස වැනි අනතුරුවලට මුහුණ පාන්නට සිදුවුණා. 

මෙම නීති විරෝධී කටයුතුවලින් සිදුවන හානි පාලනය කිරීමටයි මේ පනත් ඇති කළේ. මෙම නීති වෙනස් කිරීමෙන් සිදුවන්නේ ජාවාරම්කරුවන්ගේ ක්‍රියා තව තවත් වර්ධනය වීමක්. නීති විරෝධී වැඩවලට උඩ ගෙඩි දීමක්. කිසිදු පසු විපරමකින් තොරව මෙවැනි අත්තනෝමතික තීරණ ගැනීම කොතරම් අසාධාරණද? මෙම තීරණ ගැනීමට පෙර කරැණු සොයා බැලිය යුතුව තිබුණා පරිසර සංවිධාන හා පුද්ගලයන් සමඟ සාකච්ඡා කළයුතුව තිබුණා.

කිසිදු විටෙක කැබිනට් මණ්ඩලයට පවතින නීතියක් අභිබවා යන්න බැහැ. ඇමැතිට තාවකාලිකව හෝ එවැනි තීරණයක් ගන්න බලයක් නැහැ. මෙම ප්‍රවාහන බලපත්‍ර නිසා තමයි විනාශය යම් පමණකට හෝ සීමා වුණේ. සමහරුන් කියනවා පවතින ක්‍රමය නිසා වංචා, දූෂණ සිදුවෙනවා කියලා. එහෙම නම් ඒවා වළක්වා ගැනීමට පියවර ගන්නවා විනා පවතින ව්‍යුහයෙන් ඇතිවූ තිරසාර භාවිතය අවලංගු කිරීම වැරදියි. පොලිසිය හෝ වෙනත් අය අල්ලස් ගන්නවා නම් එය වැළැක්වීම රජයේ වගකීමක්. එහෙම නැතුව පවතින නීති අවලංගු කිරීම වැරදියි. නීතිය අවභාවිත කරනවා යැයි ජාවාරම්කරුවන්ට අවස්ථාව දීම සාපරාධි ක්‍රියාවක්. දැනටමත් පරිසරය විනාශ කිරීම ආරම්භ වෙලා තියෙනවා.

මෙයට මුල්වූ විෂය භාර ඇමැතිවරයා මෙයට පෙර වන ජීවී ඇමැතිව සිටියදී රක්ෂිත මායිම්වල වැලි කැණීම් කරන්නට අවසර දුන්නා. අප බොහොම අමාරැවෙන් තමා එය වළක්වා ගත්තේ. දැනුත් සිද්ධ වෙන්නේ එවැනි දෙයක්. ගෝඨාභය ජනපතිවරයාද මේවාට ආධාර අනුබල දෙන බව පෙනෙනවා. ඔහු නොමඟ ගොස් ඇතැයි සැකයක් මතු වෙනවා.

අප දැඩිව ඉල්ලා සිටින්නේ මෙම අත්තනෝමතික අවසරය වහාම අවලංගු කරන ලෙසටයි. එහෙම නැතිනම් අධිකරණ නියෝගයක් ගන්නට ද සිදුවේවි. ඒ තත්ත්වය ඇති නොවීමට ක්‍රියා කිරීම වැදගත්.

අදූරදර්ශී තීන්දුවක්
ජ්‍යෙෂ්ඨ පරිසර නීතිඥ ජගත් ගුණවර්ධන

“ගල්, වැලි හා පස් ප්‍රවාහනයට පනවා තිබූ බලපත්‍ර අහෝසි කිරීමට ගන්නා කැබිනට් තීරණය ක්‍රියාත්මක කළ හැක්කේ දැනට ඒ සම්බන්ධයෙන් බලපවත්වන නීතිය අවලංගු කිරීමෙන් පමණයි. ඒ නියෝගය එසේම තියාගෙන මේ අලුත් තීරණය ක්‍රියාත්මක කරන්න බැහැ. මෙම මුල් තීරණය අවලංගු කිරීම ආවාට ගියාට කරන්න බැහැ. හොඳින් හිතලා මතලා තීරණයක් ගන්න ඕනෑ. එසේම මෙය බරපතළ තත්ත්වයක් අවදානම් සහගත ක්‍රියාවක්.

මෙම කැබිනට් තීරණය කිසිම කරුණු අධ්‍යයනයකින් තොරව කලබලයෙන් අදූරදර්ශී ලෙස ගත් එකක්. මොකද වැලි ගල්, පස් ප්‍රවාහනයේදී තමයි නීත්‍යානුකූල නොවන දේවල් කලඑළිබසින්නේ. භූ විද්‍යා සහ පතල් කැනීම් කාර්යාංශයට මෙම ස්ථානවලට ගොස් වැටලීම් කරන්න අවශ්‍ය සේවක පිරිස් නැහැ. එසේම එය අවදානම්කාරියි. මෙය යම් පමණකට හෝ අධීක්ෂණය වෙන්නේ ප්‍රවාහන බලපත්‍රය තුළින්. ඒ අධීක්ෂණය ද එතරම් තෘප්තිමත් එකක් කියලා අපට කියන්න බැහැ. එහෙත් යම් පමණකට හෝ පාලනයක් සිදුවන්නේ භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කැනීම් කාර්යාංශයට පොලිසියේ සහයද ලැබෙන නිසයි. මෙම ක්‍රමවේදය ද සියයට සියයක් සාර්ථක නැහැ. එහි දුර්වලතා තියෙනවා.

ලංකාවේ පරිසර කේෂ්ත්‍රයේ තිබෙන දුර්වලතා සමඟම මානව සම්පත් පහසුකම් ආදිය සමඟයි මෙය කරන්න සිදුව ඇත්තේ වසර 15ක් පමණ අපි මහන්සි වුණා. එය මේ තත්ත්වයට හෝ ගෙනඒමට. ඉතින් මේ තත්ත්වය හදිසියේ වෙනස් කිරීම අති භයානකයි. මෙම පහසුකම මත ප්‍රයෝජන ගන්නේ කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් පමණක් නම් සිදුකළ යුතු යම් ක්‍රමවේදයක් තිබෙනවා. එහෙත් අභාග්‍යයකට මෙය විවෘත වෙන්නේ මහ පරිමාණ අයවලුන්ටයි. මේ දිනවල පවතින අධික වැසි සහිත කාලගුණය නිසා නිරීක්ෂණය කර ලබාගන්නා දත්ත දෝෂ සහිත වන්නට පුළුවන්. මේ කාලයේ වැස්ස නිසා බොරළු කපන්න අපහසුයි. වැලි ගොඩදමන වැඩද නවතිනවා. එතකොට කියන්න පුළුවන් හොඳයි අපි සතියක් බැලුවා ලොකු හානියක් සිදුවුණේ නැහැ කියලා. ඒ නිසා මේ දිනවල මේ ගැන විමර්ශනය කර තීරණ ගැනිල්ලෙන් වැඩක් නැහැ. ව්‍යාජ දත්ත මත පිහිටන්න පුළුවන්.

මෙපමණ කාලයක් මේ බලපත්‍රය දුන්නේ පතල් නියෝගය පනතේ 35 වැනි වගන්තිය යටතේයි. එයින් පැනවූ නියෝගය ගැසට් කරලා තමා නිත්‍යනුකූල කරලා තියෙන්නේ. ඒත් කැබිනට් තීරණයක් කියන්නේ ඇමැතිවරැන් ගන්නා ප්‍රතිපත්ති තීරණයි. මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට නිලධාරින්ට හැකිවන්නේ මුල් නියෝගය විධිමත් වූ ගැසට් නිවේදනයකින් අවලංගු කිරීමක් මගින් පමණයි. කැබිනට් තීරණයකින් එය කරන්න බැහැ එතකොට මෙතැනදී පේන්නේ නීතියක් නැති තත්ත්වයක්. ඒ නිසා මෙම තත්ත්වය ඉතාම භයානක බවයි කිව යුත්තේ.”

නීති රීති වෙනසක් නෑ

කෙසේ වුවද ගල් වැලි සහ පස් ප්‍රවාහනයේදී බලපත්‍ර ලබාගත යුතු බවට පැවැති නීතිය අහෝසි කළේ තාවකාලිකව අත්හදාබැලීමක් වශයෙන් බව සම කැබිනට් ප්‍රකාශන ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි. මෙම තීරණය නිසා ඇතිවන ප්‍රතිඵල පිළිබඳ අධ්‍යයනය කර එය දිගට පවත්වාගෙන යනවාද නොඑසේනම් පැරණි ක්‍රමයට යනවාද යන්න තීරණය කරන බව හෙතෙම පවසයි.

මෙලෙස බලපත්‍ර අහෝසි කිරීම නිසා වැලි, ගල් සහ පස් මිල පහළ වැටීය යුතු බව පවසන ඇමැතිවරයා එම සහනය ජනතාවට ලැබෙනවාද යන්න පිළිබඳ අධ්‍යයනය කරන බවද කියයි. එසේ නොලැබෙන්නේ නම් එය ගැටලුවක් බවද හෙතෙම පෙන්වාදී ඇත.

“මේ පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කර තිබෙන අතර කමිටුව මේ පිළිබඳ කරුණු අධ්‍යයනය කිරීමෙන් පසු ලබාදෙන වාර්තාව අනුව යළිත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තීරණයක් ගන්නවා, දිගටම පවත්වා ගෙන යනවාද කියා. කෙසේ වුවත් මෙම තීරණය හේතුවෙන් කිසිදු පරිසර හානියක් නොවීමට අප වගබලා ගන්නවා. වැලි තොටුපොළවල වැලි ගොඩදැමීම, පස් සහ මැටි කැපීම ආදිය සඳහා ලබාගත යුතු බලපත්‍ර ක්‍රමයෙහි හෝ පරිසර ආරක්ෂාව වෙනුවෙන් පනවා ඇති නීතිරීතිවලද කිසිදු වෙනසක් කර නැහැ. බලපත්‍ර ලබාගැනීම ඉවත්කර ඇත්තේ මේ ද්‍රව්‍ය ප්‍රවාහනයට පමණයි.”

වැලි ගල් පස් ප්‍රවාහනයට අදාළ බලපත්‍ර නිකුත් කිරීමේදී විවිධ අක්‍රමිකතා සිදුවීම හේතුවෙන් ඒවායේ මිල ඉහළයාම නිසා ඉදිකිරීම් කටයුතුවලදී දැරීමට සිදුවන වියදම් ඉහළ ගොස් තිබූ බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය. උළු ආදී නිෂ්පාදකයන් මෙන්ම කෘෂිකර්ම කේෂ්ත්‍රයේ නියුතු වූවන් අපහසුතාවයනට පත්වීම ගැන ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් ඇමැතිවරුන් කිහිපදෙනකු දැක්වූ කරුණු සලකාබලා මෙම තීරණය ගත් බවද ඇමැතිවරයා කීවේය.

මේ තීරණය සමඟ වැලි තොටුපොළවල්, මැටි කපන ස්ථාන ආදියේ ආරක්ෂාව වැඩිකරමින් පරිසර හානි අවම කිරීමට කටයුතු කර ඇතිබවද ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. පරිසරයට හානියක් නොකර දේශීය කර්මාන්ත ආරක්ෂා කර ගැනීම මෙම තීරණයේ එක් අරමුණක් බවද කියා තිබේ.

ලියුම්කරු විසින් පසුගිය සතිය පුරා ගල්, වැලි, පස් ආදියේ මිල ගණන් අඩුවී තිබේද යන්න පිළිබඳ කරන ලද සමීක්ෂණයකදී තහවුරු වූයේ තවමත් කිසිදු මිල වෙනසක් සිදුව නැති බවය. එසේ නම් මෙම නිදහසින් ප්‍රයෝජන ගන්නේ කවරකුද යන්න සොයාබැලීම වැදගත් බව කිවයුතුය. 

තහනමේ වාසිය ගියේ සමහර පොලිස් නිලධාරීන්ට
රණාල ප්‍රදේශයේ වැලි ගොඩදැමීමේ ව්‍යාපාරයේ නියුතු එස්. දියෝනිස් පෙරේරා

මෙම බලපත්‍ර අහෝසි කිරීම හොඳ බවයි පැවසිය යුත්තේ. ඒ මොකද මෙම නීති සමහර අයට විශාල ලෙස අයථා විදිහට මුදල් උපයා ගන්නට උදව් කළ බව පෙනෙනවා. ඇතැම් පොලිස් නිලධාරීන් දිනකට විශාල මුදලක් උපයනවා මේ වැලි, පස්, ගල් ලොරිවලින්. පාස්කර ගෙන යන හැම පොලිස් නිලධාරියකුටම වගේ මුදලක් දීලයි එතැනින් යන්න වෙන්නේ. සමහර ලොරිහිමියන් ඒ මුදල් සූදානම් කරගෙනයි පාරට වාහනය දමන්නේ. සල්ලි කවරය දුන් ගමන් කිසිවක් බලන්නේ නැතුව යන්න දෙනවා. ඉතින් මෙම බලපත්‍ර ක්‍රමය නැති වුණාම ඒම අනවශ්‍ය වියදම් අඩුකරලා ජනතාවට සහන දෙන්න පුළුවන්.

අද ගඟේ වැලි කියුබ් එකක් විකුණන්නේ රුපියල් 15,000කට පමණයි. මෙතැන වැඩි හරියක් තියෙන්නේ පගාව ලෙස දෙන මුදල්. ඒවාද එකතුකරලා තමයි මිල කරන්නේ. දැන් වැලි පස් ආදියේ මිල අඩුවේවී. එය දුප්පත් ජනතාවට සහනයක්.
අපි පාරම්පරිකව ගඟේ වැලි ගොඩදම්මවලා සුළු වශයෙන් ව්‍යාපාර කරන අයයි. මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට නම් හතර පැත්තට සල්ලි විසිකරන්න පුළුවන්. ඒත් අපට එහෙම බැහැ. අපි මේ රස්සාව කරන්නේ අමාරැවෙන්. වැලි ගොඩදාලා ජිවිකාව කරන අය කැලණි ගඟබඩ බොහෝම ඉන්නවා. ඒ අය බොහොම අමාරැවෙන් තමයි ජීවිකාව කරන්නේ.

 යසවර්ධන රුද්රිගු

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00