2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

මෙරට කතරක් කරන කටුපොල් වගාවට තිත

 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 293

නිවර්තන කලාපීය රටක් වන ශ්‍රී ලංකාව තුළ යටත්විජිත සමයේ සිට ඛණිජ බෝග හඳුන්වාදීම සිදුවිය. වාණිජ බෝග හඳුන්වාදීම සිදුවීමත් සමඟ මෙරට තිබූ වනාන්තර ගහණය අඩු විය. මෙය පළමුවෙන් කෝපි වගාවෙන් ආරම්භ වූ අතර තේ, රබර්, යන වාණිජ බෝග දක්වාම මෙය ස්ථාපිත විය. විටින් විට හඳුන්වා දුන් මෙම වාණිජ බෝග හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ පැවති වනාන්තර ගහණය සීඝ්‍රයෙන් අඩුවිය. ජෛව විවිධත්වයට හානි විය.

වාණිජ බෝග වගාවේ නවතම මුහුණුවර කටුපොල් වගාවයි. රබර් වැනි බෝග සඳහා වන ඉල්ලුම අඩුවීමත් සමඟ ව්‍යාපාරිකයන් සහ වැවිලි සමාගම් කටුපොල් වගාව ආරම්භ කර ඇත. කටුපොල් පාම් ඔයිල් ලෙස ද හඳුන්වන අතර මෙමඟින් පාම් තෙල් නිෂ්පාදනය කරනු ලබයි. කටු පොල් ශාකය නිවර්තන කලාපීය ශාකයක් වන අතර මැලේසියාව, ඉන්දුනීසියාව වැනි රටවල කටුපොල් වගාව සීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ඇත. මෙරට තුළද කටුපොල් බොහෝ ප්‍රදේශවල වගාකර ඇති අතර එයට හේතුව වී ඇත්තේ ලෝක වෙළෙඳපොළ තුළ කෘත්‍රිම රබර්වලට ඉල්ලුම වැඩි වීම හේතුවෙන් රබර් සඳහා වන ඉල්ලුම අඩු වීමත් සමඟ කටුපොල් සඳහා වන ඉල්ලුම වැඩිවීමත්ය.

ලංකාවේ කටුපොල් ආරම්භය
මෙරට පළමු වරට කටුපොල් වගාව ආරම්භ කළේ යුරෝපීය වැවිලිකරුවකු වන Jerry Wales විසිනි. 1968දී වටවල වැවිලි සමාගමට අයත් නාකියාදෙණිය වතු යායේ හෙක්ටයාර් 0.5ක භූමියක කටුපොල් ගස් 68ක් සිටුවා වගා බිම් ආරම්භ කරන ලදී. අද වනවිට ශ්‍රී ලංකාවේ විශාලතම කටුපොල් වගාබිම්වල හිමිකාරිත්වය ඇත්තේ වටවල වැවිලි සමාගමටය. එහි භූමි ප්‍රමාණය හෙක්ටයාර් 3157කි. මීට අමතරව නමුණුකුල වැවිලි සමාගමට හෙක්ටයාර් 2041ක්, ඇල්පිටිය වැවිලි සමාගමට හෙක්ටයාර් 700ක් හිමිව තිබේ. ඒ අනුව අද වනවිට ලංකාවේ කටුපොල් වගා බිම්වල ව්‍යාප්තිය හෙක්ටයාර් 10000ක් පමණ වේ.

මෙරට විශාල ලෙස කටුපොල් වගා කර ඇත්තේ ගාල්ල උඩගම ප්‍රදේශයේය. ජාතික ජල සම්පාදන මණ්ඩලය මෑතක කරන ලද සමීක්ෂණයකදී හෙළි වී ඇත්තේ 2012 වසරේදී උඩගම ප්‍රදේශයේදී අඩි 72ක් ගැඹුරට යනවිට භූගත ජලය ලබාගත හැකිව තිබූ නමුත් මේ වනවිට අඩි 170ක් ගැඹුරට ගියද භූගත ජලය ප්‍රමාණවත් පරිදි ලබාගැනීමට නොහැකි බවයි. එමෙන්ම කටුපොල් ගසකට දිනකට ජලය ලීටර් 100ක් පමණ අවශ්‍ය වන අතර දැනට සිටුවා ඇති කටුපොල් ගස් සංඛ්‍යාව සියයෙන් වැඩි කළ විට ලැබෙන සංඛ්‍යාවට සමාන ජල ලීටර් සංඛ්‍යාවක් කටුපොල් වගාව විසින් උරාගනු ලැබේ.

වර්තමානය වනවිට කටුපොල් වගාවට විරුද්ධව මහජනතාව විසින් විශාල හඬක් නගන අතර එම විරෝධයට ප්‍රධාන හේතුව වන්නේ කටුපොල් ශාකය මඟින් පරිසරයට සිදුවන අහිතකර බලපෑමය. එමෙන්ම මේ වනවිට වහාම ක්‍රියාත්මක වන පරිදි මෙරට තුළ කටුපොල් වගාව නතර කිරීමට පසුගිය 11 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගෙන තිබේ.

ගාල්ල දිස්ත්‍රික් පරිසර සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු අඳුරන්විල චන්ද්‍රජෝති හිමියෝ
කටුපොල් වගාව හේතුවෙන් මෙරට දිස්ත්‍රික් පහක ජනතාව විශාල වශයෙන් පීඩාවට පත්වෙලා තියෙනවා. ලෝකයේ පරිසරවේදීන් කුරිරැබවේ ශාකය ලෙසින් හඳුන්වන්නේ මෙම ශාකය. මේ කටුපොල් මහ පොළව මත වවනවාට විරැද්ධව අපි මේ කටුපොල් වවන වතු සමාගම්වලට විරුද්ධව ඒ සඳහා වග කිවයුතු දේශපාලන බල අධිකාරීන් සමඟ විශාල සටනක් ගෙනිච්චා. මේ කටුපොල් ශාකය ලංකාව තුළ තහනම් කරන්න කියලා. දැන් ඒ සටනේ ප්‍රතිඵලයක් හැටියටත් කටුපොල්වලට එරෙහි වුණු සියලු දෙනා පසුගියදා ලබපු ජයග්‍රහණයක් තියනවා. ඒ තමයි කැබිනට් තීන්දුවක් මඟින් මේ කටුපොල් වගාව තහනම් කරලා තියෙනවා. ඒ කැබිනට් තීන්දුව අරගෙන තියෙන්නේ පැවති රජයේ අවසන් කැබිනට් තීරණ දැනුම්දීමේ අවස්ථාවේ. ඒ වුණත් අපි හිතනවා වත්මන් රජය විසින් මේ කැබිනට් තහනම ඒ විදිහටම ක්‍රියාත්මක කරයි කියලා.

කටුපොල් වගාව නතර කරන ලෙස ඉල්ලා පසුගිය සමයේ දිවයිනේ විවිධ ප්‍රදේශවල විරෝධතා පැවැත්වූ අතර එමගින් සිදුවන පරිසර විනාශය සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට ක්‍රියාත්මක වූ පරිසරවේදීන් හා දේශපාලන ක්‍රියාකාරීන් විසින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ කටුපොල් තහනමට එරෙහිව ආණ්ඩුව කියන තහනම ප්‍රකාශයට පත්කරන ලෙසයි.

මේ පිළිබඳව දේශයේ අප වැවිලි කර්මාන්ත අමත්‍ය වෛද්‍ය රමේෂ් මහතාගෙන් කළ විමසීමකදී පවසා සිටියේ පසුගිය ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය විසින් අවසන් කැබිනට් තීරණ දැනුම්දීමේ හමුවේදී ගත් කටුපොල් වගාව තහනම් කිරීමේ වත්මන් රජය විසින් ක්‍රියාවට නංවන බවයි.

සටහන - හසිත් අංජන