2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

එජාපයේ කල්ලි දෙකේ ජල්ලිය

 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 97

සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දී වෙස්ට්මිනිස්ටර් ආණ්ඩුක්‍රමයක් තුළ පාලන තන්ත්‍රය ගෙන යාමට අදාළ ව්‍යුහය ඉදිරිපත් වීමත් සමඟ ශ්‍රී ලංකාවේ දේශපාලන බලය ඇතුළු ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා ශක්තිමත් දේශපාලන පක්ෂයක අවශ්‍යතාව නිදහසට පෙර මතුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස 1946 සැප්තැම්බර් මස 06 වැනිදා ඩී.ඇස්. සේනානායක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය බිහිවිය.

සියලු ජාතීන් එක්සත් කිරීමේ අභිලාෂය මත ගොඩනැගුණු දේශපාලන පක්ෂ අර්ථ ගැන්වෙන ආකාරයෙන් එය එක්සත් ජාතික පක්ෂය යනුවෙන් හැඳින්වීමට යෝජනා විය. එජාපය ගොඩනැගීම සඳහා එවක පැවැති දේශපාලන කණ්ඩායම් වූ ලංකා ජාතික සංගමය, සිංහල මහ සභාව, මුස්ලිම් සංගමය ඇතුළු දෙමළ, මුස්ලිම් නායකයන් පාම්කෝට් මන්දිරයට කැඳවීමට ඩී.ඇස්. සේනානායක මහතා එවකට කටයුතු කළේය.

කොළඹ ඇල්බට් ක්‍රෙසන්ට්හි පාම්කෝට් මන්දිරයේදී එක්සත් ජාතික පක්ෂය ආරම්භ කරනු ලැබුවේ සාමාජිකයන් 205 දෙනකුගේ සහභාගීත්වයෙනි. 1947 ප්‍රථම පාර්ලිමේන්තු මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය තරග කළ අතර ඉන් විශිෂ්ට ජයක් ලැබීමට ඔවුහු සමත් වූහ. 1947, 1960 සහ 1965 යන වර්ෂවල පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කොට මෙරට සමාජ ආර්ථික සහ දේශපාලන පරිවර්තනයක් ඇති කළේය. 1977 වසරේ පවත්වන ලද පාර්ලිමේන්තු මැතිවරණයේ ආසන 168න් 140ක 5/6ක බලයක් ලබමින් එජාප ආණ්ඩුවක් පිහිටුවීමට එවකට නායකයා වූ ජේ.ආර්. ජයවර්ධන මහතාට හැකි විය.

1988 ජනාධිපතිවරණයේදී රණසිංහ ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා වශයෙන් පත් විය. ඔහුගේ නායකත්වයෙන් යුත් 1989 පාර්ලිමේන්තු මහ මැතිවරණය ජය ගැනීමට එජාපයට හැකි විය. වසර 04කට පසුව කොටි ත්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡ ප්‍රහාරයක් හමුවේ සිය ජීවිතයට සමුදුන් ප්‍රේමදාස මහතාගෙන් පසු එජාප නායකයා සහ ජනාධිපතිවරයා බවට පත්වූයේ ඩී.බී. විජේතුංග මහතාය.

1994 වසරේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වූ අතර 2001 වසරේ නැවත වරක් එජාප ආණ්ඩු බලය දිනාගැනීමට එක්සත් ජාතික පක්ෂයට හැකි වුවද, එවකට විධායක ජනාධිපති තනතුරේ සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය 2004 වසරේදී එජාප ආණ්ඩුව විසුරුවා හැරියාය. ඉන් අනතුරුව දීර්ඝ කාලයක් මෙරට විපක්ෂයේ භූමිකාව ඉටුකළ එක්සත් ජාතික පක්ෂය 2015 වසරේ අගෝස්තු මාසයේ පැවැති මහ මැතිවරණයෙන් වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගනිමින් යහපාලන ආණ්ඩුව නිර්මාණය කිරීමට සමත් විය.

කෙසේවෙතත් පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසුව ආණ්ඩුව තුළ දැඩි දේශපාලන ආතතියක් නිර්මාණය වූයේ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ (තරුණයන්) විසින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව මත ප්‍රකාශ කිරීමත් සමඟය. එහිදී පසුපෙළ මගින් ප්‍රකාශයට පත්වූ ප්‍රධානතම ඉල්ලීම වූයේ ඉදිරි මැතිවරණවලින් ජයග්‍රහණය ලැබීම සඳහා පක්ෂය තුළ වර්ණවත් වෙනසක් සිදුවිය යුතු බවයි. ඉන් අනතුරුව පසුගියදා නිමාවට පත්වූ මෙරට 7 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ අවස්ථාවේදී එජාපය තුළ අභ්‍යන්තර ගැටුමක් නිර්මාණය වූයේ එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ජනපති අපේක්ෂකත්වයට නම් කරන ලෙස එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් විසින් යෝජනා කිරීමත් සමඟය.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ සජිත් ප්‍රේමදාස මහතා ඉන් පරාජය වීමත් සමඟ එජාප නායකත්වය සහ විපක්ෂ නායක ධූරය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන ලෙස පවසා පසුපෙළ මන්ත්‍රීවරුන් 57 දෙනකු අත්සන් කළ ලිපියක් කතානායක කරු ජයසූරිය මහතාට ලබා දීමත් සමඟම එජාප නායකත්වය සහ විපක්ෂ නායක ධූරය පිළිබඳව යළිත් වතාවක් අර්බුදකාරී තත්ත්වයක් හටගැනිණි.

එජාපයේ ඉදිරි ගමන් මග සහ ඉදිරියේදී මහ මැතිවරණයට එජාපය ඉදිරිපත්වීම පිළිබඳව නායකත්වයේ සහ විපක්ෂ නායක ධූරයේ යම් වෙනසක් ඇතිවිය යුතු බවට දක්වමින් එජාපයේ හටගෙන ඇති මෙම අර්බුදකාරී තත්ත්වය පිළිබඳව පසුගිය සති කිහිපය තුළම මාධ්‍ය මගින් වාර්තා කර තිබුණි.

සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය අඩපණ කළ බවට නගන චෝදනා සහ මූල්‍ය කටයුතු පිළිබඳ නගන චෝදනා තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, පක්ෂ යාන්ත්‍රණයත් සිරිකොතත් මැතිවරණ ව්‍යාපාරයේ වැඩ කටයුතු සිදුකළ බවට තමන්ට සහතික විය හැකි බවත් පසුගිය සතියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂ කුරැණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා මාධ්‍යයට පවසා තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වය සහ විපක්ෂ නායක ධූරය යන තනතුරුවලින් ඉවත් නොවුණහොත් විපක්ෂයේ වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇති බවය. කෙසේවෙතත් එම දිස්ත්‍රික්කයේම එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කර තිබුණේ ඉදිරියට දිගින් දිගටම එජාප නායකත්වයේ කටයුතු කිරීමට තමන්ගේ බලාපොරොත්තුවක් නොමැති බව වික්‍රමසිංහ මහතා තමන්ට දැනුම් දී ඇති බවයි.

මේ අතර විපක්ෂ නායක ධූරය පිළිබඳව එකිනෙකට වෙනස් මත දෙකක් ඉදිරිපත් වී තිබෙන බැවින් ඒ පිළිබඳ නිල දැනුම් දීමක් තමන් වෙත වහාම දැනුම් දෙන ලෙසට කතානායක කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයාට දන්වා තිබිණි. මෙයට හේතුව ලෙස ඔහු දක්වා තිබුණේ මෙම තනතුරු එජාපයේ හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන ලෙස ඉල්ලා මන්ත්‍රීවරැන් 57 දෙනකු විසින් කතානායකවරයාට ලිපියක් යොමු කිරීමයි.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා සජිත් ප්‍රේමදාස මහතා පත් කළ යුතු බව එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන හරින් ප්‍රනාන්දු, ආචාර්ය හර්ෂ ද සිල්වා සහ නලින් බණ්ඩාර යන මන්ත්‍රීවරැ ද සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ කාර්යාල කටයුතු මෙහෙයවූ වොක්ෂෝල් වීදියේ පිහිටි කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියහ.

මේ අතර එක්සත් ජාතික පක්ෂ නායකත්වය හෝ විපක්ෂ නායක ධූරය සම්බන්ධව යම් වෙනස්කමක් සිදුවුවහොත් එය නිශ්චිත අරමුණක් ඔස්සේ සිදුවිය යුතු බවට එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෘත්තීයවේදීන් පිරිසක් යෝජනා කර තිබිණි. ඔවුන් පවසා තිබුණේ රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය හා සජිත් ප්‍රේමදාස මහතාට මේ පිළිබඳව ලිඛිතව දැනුම් දීමට තීරණය කර ඇති බවයි.

ஐ හසිත් අංජන

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00