2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

තෙල්දෙණිය අලි කෙළිය

 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:00 78

මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසකට මීට කලකට පෙර මහා පරිමාණ ලෙසින් වන අලි තර්ජන එල්ල විය. ඒ සමඟ එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මැද මහනුවර, තැන්නේ ලන්ද, වේඬරුව, අම්බාල, දොරලියද්ද, දුනුවිල යන ගම්මනවල ජීවත් වූ ගොවි ජනතාව තම කෘෂිකාර්මික කටයුතුවල පවා යෙදීමට නොහැකි තත්ත්වයකට මුහුණ දී සිටිති.

මෙම වන අලි ගැටලුව උග්‍ර වූයේ පසුගිය දිනක රන්දෙණිගල රක්ෂිතයෙන් පිට වී ගිය වික්ටෝරියා ජලාශය ඔස්සේ පිහිනා පැමිණි වන අලි රංචුවක් තෙල්දෙණියේ වෑගල ගම්මානයට කඩා වැදීමෙනි. මේ අලි ඉන් අනතුරුව මහනුවර මහියංගණ මහා මාර්ගය ආසන්නයේ කුඩා වෙළෙඳසල් ඉදිකරගෙන සිය දෛනික ජීවනෝපාය මාර්ග සලසා ගනිමින් දිවි ගෙවූ අසරණ මිනිසුන්ගේ එම කඩා කඩාදමා එහි තිබූ දේපළවලට මහත් විනාශයක් සිදුකොට පළාගියහ.

ඉකුත් සෙනසුරාදා (30) රාත්‍රියේ මෙම ස්ථාන වෙත කඩා වැදුණු තිදෙනකුගෙන් යුත් වන අලි රංචුව එම වෙළෙඳ සල්වල තිබූ පළතුරැ කෙසෙල්, බඩඉරිඟු ආදිය ද කා දමා තිබිණි.

ජීවිත බේරාගැනීම සඳහා එහි සිටි පිරිස් පැන දිවූ නමුත් පසුව මෙම අලි තිදෙනා ආපසු රන්දෙණිගල රක්ෂිතයට නොගොස් වෑගල ගම්මානයට කඩා වැදී තිබේ. මාස කිහිපයක සිට වරින්වර කඩා වදින මෙම වන අලි නිසා මිනිස් ජීවිත කීපයක් ද විනාශ වී තිබේ. වනජීවී නිලධාරීන් වෙත ද මෙම අලි අකරතැබ්බය වරින්වර වෑගල ගම්වාසීන් විසින් දැන්වුවද ඒවාට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව ගම්වාසීහු කියති.

රාත්‍රී කාලයට තම නිවෙස්වලින් එළියට ඒමට නොහැකි ලෙස අලි තර්ජනයට ලක්වූ වෑගල, මැද මහනුවර, දොරලියද්ද, තැන්නලද්ද යන ගම්මානවල ජනතාව ඉතා අසරණ තත්ත්වයකට මුහුණ දී සිටිති.

වෑගල ප්‍රදේශයේ සිට ඉතා ජනාකීර්ණ තෙල්දෙණිය, රඹුක්වැල්ල යන නගරවලට ඇත්තේ සැතපුම් හතරක පහක දුර ප්‍රමාණයක් පමණක් නිසා තෙල්දෙණිය නගරය දක්වා ජනතාව වෙසෙන ජනපද වෙත ළඟා වීමට ඉදිරියේදී මෙම අලින්ට ඉතා පහසු වන බව ප්‍රදේශයේ ජනතාව පවසති. මහියංගණ මහනුවර ප්‍රධාන මහා මාර්ගය පිහිටා ඇති වෑගල ප්‍රදේශයට මෙම වන අලින් කඩා වැදීමත් සමඟ එම මාර්ගයේ ධාවනය වන උඩදුම්බර, මහියංගණය, අම්පාර, මඩකලපුව, බිබිල, දෙහිඅත්තකණ්ඩිය, සිරිපුර යන ප්‍රදේශවල රාත්‍රී කාලයේ මගී බස් රථ ලොරි හා වෙනත් වාහනවල ගමන් ගන්නා මගීන්ට ද මෙම අලි තර්ජනයට මුහුණ දීමට සිදුවෙයි.

දැනට වෑගල ගමට ඇතුළු වී සිටින මෙම අලින් පළවා හැරීම කඩිනමින් සිදු නොකළොත් ඔවුන් තෙල්දෙණිය නගරයට කඩාවැදීම ඉතා නුදුරේදීම සිදුවනු ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

කුඩා වෙළෙඳ සලක් අහිමි වූ ඩබ්ලිව්.එම්. ස්වර්ණලතා මහත්මිය
මාස තුනක් තිස්සේ මේ අලි ගමට කඩා වදිනවා. මේ අලි රෑනේ තුන්දෙනෙක් ඉන්නවා. වික්ටෝරියා ජලාශයට බැහැලා පීනගෙන තමයි මේ අලි ගමට එන්නේ. දැන් මේ අය ආපසු යන්නේ නැහැ. වෑගල ගම ඇතුළට වෙලා ඉඳලා සවස් වරුවේ පාරට එනවා.

සෙනසුරාදා රාත්‍රී 7.45ට විතර මේ තුන්පත් රූන ඇවිත් අපේ කඩ කැඩුවා. ඒවා ඇතුළේ තිබුණ භාණ්ඩ විනාශ කළා. අඹ, පළතුරු කෙසෙල්, බඩඉරිඟු සේරම කෑවා. මේ අලි කරදරය ගැන වනජීවි එකේ නිලධාරී මහත්වරුන්ට දැනුම් දුන්නා. එවිට ඒ මහත්තුරු කීවේ අපි ඉන්නේ හසළක. එහේ ඉඳන් මෙහාට එන්න කිලෝ මීටර් කීයක් තියෙනවද අපි එන්නෙ කොහොමද කියලා ඇහුවා”

තෙල්දෙණිය පොලීසියටත් දැනුම් දුන්නා. ඒ නිලධාරී මහත්තුරු ඇවිත් බලලා ගියා. ප්‍රාදේශීය ලේකම්තුමාටත් දැනුම් දුන්නා. අපි අසරණයි මහත්තයෝ අපේ දරුවන්ට කන්න බොන්න දෙන්න, උගන්වන්න දෛනික ආදායමක් හොයාගන්නේ මේ වෙළෙඳාමෙන්. අන්තිමට ඒකත් අලි ගහලා විනාශ කරලා දැම්මා.

ලක්ෂ දෙක තුනක් පාඩු වුණා. දැන් ඉතින් ජීවත් වෙන්නවත් මාර්ගයක් නැහැ. හැමදාම රාත්‍රී 7.30 වනවිට අලි මහියංගණ නුවර පාරට එනවා. උන්ට බයේ පාරේ කවුරුත් යන්නෙවත් නැහැ. හදිසියේ ලෙඩක් හැදුණත් රෝහලට යන්න පාරට බහින්න මිනිස්සු බයයි. අලි පාරේ ගැවසෙනවා. ගමේ ග්‍රාම නිලධාරිනිය විසින් අලි වෙඩි 10ක් පමණ ගම්වාසීන්ට ලබා දී තිබුණ ද එම අලි වෙඩි ගසා අලින් පන්නා දැමීම අසීරු බව ගම්මු පවසති.

ඇඟළුම් ආයතන සහ වෙනත් පෞද්ගලික ආයතනවල සේවය කරන බොහෝ පිරිස් තරැණ තරැණියන් රුකියා නිමවා තම නිවෙස් කරා එනවිට මෙම අලින් පාරේ ගැවසෙන බවත් එම නිසා එකී අහිංසක මිනිසුන්ගේ ජීවිත අවදානම් තත්ත්වයේ පවතින බවත් වෑගල ගම්වාසීහු අප හා පැවසූහ. මැදමහනුවර මොරගහමුල, අඹුක්වැල්ල, තෙල්දෙණිය අවට වෙසෙන ජනතාවට රාත්‍රී කාලයට පාරට හෝ බහින්නට බැරි අනතුරුදායක තත්ත්වයකට මුහුණ දීමට සිදුවන බැවින් කඩිනම් ක්‍රියාමාර්ගයක් ගෙන වෑගල ගමට කඩාවැදී සිටින අලි රෑන කෙසේ හෝ අල්ලා වෙනත් ප්‍රදේශයකට යවන්නැයි වනජීවී නිලධාරීන්ගෙන් ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.

එදා අලි වැට එපා කියූ ගම්වාසීන් අද අමාරුවේ වැටිලා - වනජීවී ප්‍රා. අධ්‍යක්ෂක

මහනුවර දිස්ත්‍රික් ලේකම් (දිසාපති) තිස්ස කරුණාරත්න මහතා 
වන අලි තර්ජනය සම්බන්ධයෙන් වහා සොයාබලා අදාළ වගකිවයුතු රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දී වෑගල ගම්මානයට කඩාවැදී සිටින අලින් ඉවත් කිරීම සඳහා පියවර කර ගන්නා බව පැවසීය.

වනජීවී නිලධාරීන්ට සිද්ධිය දැනුම් දී ඔවුනට අවශ්‍ය වාහන පහසුකම් සපයා දීමට පියවර ගන්නා බවත් කී දිස්ත්‍රික් ලේකම්වරයා මැද දුම්බර ප්‍රාදේශීය ලේකම්වරයාට ද මෙම අකරතැබ්බය සම්බන්ධව කඩිනම් පියවරක් ගන්නා ලෙස උපදෙස් දීමට පියවර ගන්නා බව පැවසීය.

වනජීවී ප්‍රාදේශීය අධ්‍යක්ෂ ඩී. එම්. වීරසිංහ මහතා 
වෑගල ප්‍රදේශයට ආවේ එක වන අලියයි. ඒ අලියා තමයි ඔය කලබලය ඇතිකළේ. අපේ නිලධාරීන් පොලීසිය සමඟ සිද්ධිය වූ ස්ථානයට ගියා. ඒ කලබලය ඇති කළ අලියා දොරලියද්ද රක්ෂිතයට පළවා හැරියා. ඔය වෑගල ප්‍රදේශයේ තිබෙන පළතුරු කඩ පාර අයිනේ ඉදිකර තිබෙන්නේ. ඒවායේ විකුණන්නේ බඩඉරිඟු, කෙසෙල්, අඹ, පැණි කොමඩු වැනි පළතුරුයි. මේ කඩ රාත්‍රියට වසා දමා අයිතිකරැවන් ගෙවල්වලට යනවා. අලි රාත්‍රියට ඇවිත් ඒවා කන්න කඩ කඩා බිඳ දමනවා.

මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස වෑගල ප්‍රදේශයේ අලි වැටක් ඉදි කරන්න සියලු කටයුතු යොදලා අවශ්‍ය බඩුත් ගෙනැල්ලා මේ සම්බන්ධව මැද දුම්බර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී ප්‍රාදේශීය ලේකම්තුමා මගින් එතුමාවත් දැනුවත් කරලා අවශ්‍ය කටයුතු කිරීමට සූදානම් වුණා. එවිට ප්‍රදේශයේ ජනතාව තම ඉඩම්වලින් අලි වැට ඉදිකරන්න එපා කියා විරෝධය පෑවා. අන්තිමට සිදුවූයේ වන අලි එන එක නවත්වන්න විදුලි වැට ඉදි කරන්න ගෙන ආ සියලු භාණ්ඩ ආපසු රැගෙන යෑමටය.

අන්තිමට පාර අයිනෙන් අලි වැට ඉදිකිරීමට සූදානම් වූවා. ඒකටත් අවට මිනිස්සු විරුද්ධ වුණා. දැන් කරන්න වෙලා තිබෙන්නේ අපේ නිලධාරීන් යොදවා මුර සංචාර ක්‍රියාත්මක කරන එකයි. අපේ නිලධාරීන් වෑගල ප්‍රදේශයට ගියා. මිනිස්සු කියන දේට වඩා ප්‍රායෝගිකව හිතන්න ඕනේ. අපේ නිලධාරීන් කළ යුතු රාජකාරිය උපරිමව ඉටු කළා.

පාර අයිනේ පළතුරු කඩ දාගෙන ඉන්න මිනිස්සු අඹ පොතු, නරක් වූ කෙසෙල්, පැණි කොමඩු, බඩඉරිඟුවලින් ඉවත් කරන කොටස් මහනුවර මහියංගණ පාරේ අයිනේ ගොඩගසා තබනවා. රාත්‍රියට ඒවා කන්න අලි එනවා. මේ ගැන වරින් වර ඒ මිනිස්සු දැනුවත් කිරීමට පියවර ගත්තා. ඒත් මිනිස්සු අහන්නේ නැහැ. අලි වෙඩි බෙදා දීමටත් කටයුතු කරලා තිබෙනවා. ප්‍රාදේශීය ලේකම්තුමා හරහා මේ අලි වෙඩි ග්‍රාම නිලධාරී මගින් බෙදා දෙන්න වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.

තමන්ගේ ඉඩම්වලට අවහිර වන නිසා විදුලි වැට ඉදිකිරීමේ කටයුතුවලට විරෝධය පෑ ජනතාවට අද වන අලි ප්‍රශ්නයට දැඩිව මුහුණ දීමට සිදුවීම කනගාටුදායක සිද්ධියක් බව ද මහනුවර ප්‍රාදේශීය වනජීවී අධ්‍යක්ෂ ඩී. එම්. වීරසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.

ජේ. ඒ. එල්. ජයසිංහ
 ඡායාරූප - තෙල්දෙණියේ චන්දන උඩුවාවල