2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

අතේ පත්තු වුණ මිල සූත්‍ර බොරුව

 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 66

රටේ ඉන්ධන මිල නියම කිරීමට පසුගිය යහපාලන ආණ්ඩුව විසින් උපයෝගී කර ගන්නා ලද ඉන්ධන මිල සූත්‍රය අහෝසි කිරීමට නව රජය තීරණය කර ඇති බව ප්‍රකාශ වී තිබේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තනතුර සඳහා තරග කරන අවස්ථාවේ රටට ඉදිරිපත් කළ “සෞභාග්‍යයේ දැක්ම* නැමැති පොරොන්දු ප්‍රකාශයේද තමන් ජයගත් පසු ඉන්ධන මිල සූත්‍රය අහෝසි කරන බව සඳහන් විය.

විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස අලුතෙන් පත්වූ මහින්ද අමරවීර මාධ්‍යයට පවසා තිබුණේ ඉන්ධන මිල සූත්‍රය අහෝසි කිරීමට රජය තීරණය කර ඇති අතර අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියෙන් පසු එම තීන්දුව ක්‍රියාත්මක කරන බවය. පසුගිය රජය මෙන් ඉන්ධන මිල සූත්‍රයක් අටවා ගෙන මාසිකව ඉන්ධන මිල වැඩි නොකිරීමට කටයුතු කරන බවද ඔහු පවසා තිබේ. කෙසේ වුවද ඉන්ධන යනු මෙරට සම්පතක් නොවන නිසා දැනට පවතින මිල ගණන් එසේම තබා ගැනීමට නොහැකි වන වගද ඇමැතිවරයා කියයි. එහෙත් රටේ මහජනතාවට බරක් නොවන සේ කටයුතු කිරීම නව රජයේ ප්‍රතිපත්තිය බව පෙන්වා දෙන ඇමැතිවරයා ඛණිජ තෙල් සංස්ථාව ලාභ ලබන ආයතනයක් කරන බවද කියයි.

පසුගිය රජය සමයේ ඉන්ධනවලට පමණක් නොව සහල්වලට ද මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීමට ගිය බව අපට මතකය. එහෙත් එය ක්‍රියාත්මක වූයේ නැත. ඒ අතර මත්පැන් සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට සුරා බදු දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවද දැනගන්නට තිබේ. ඒ සඳහා සුරා බදු පනත සංශෝධනය කිරීමට ද නියමිතය. ලෝක වෙළෙඳ පොළේ මත්පැන් මිල හා අමුද්‍රව්‍ය මිල ගණන් අඩුවූ අවස්ථාවලදී දේශීය වෙළෙඳ පොළේ මිල ගණන් අඩු නොවන බවට පාරිභෝගිකයන් ගෙන් පැමිණිලි ලැබී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ කියයි. ඒ නිසා මත්පැන් සඳහා මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුව ඇති බව පවසන නියෝජ්‍ය කොමසාරිස්වරයා මෙමගින් දේශීය වෙළෙඳ පොළේ මත්පැන්වල ප්‍රමිතිය සහතික කිරීමට හැකියාව ලැබෙන බවද පෙන්වා දෙයි.

පසුගිය රජය මගින් ක්‍රියාත්මක කළ ඉන්ධන මිල සූත්‍රය නිසා සෑම මාසයකම 10 වැනිදා මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිලෙහි වෙනසක් සිදුවිය. මෙහිදී එක්වරක් - දෙකක් හැරුණුවිට බොහෝ අවස්ථාවල සිදුවූයේ ඉන්ධන මිල ඉහළ දැමීමය. මේ මිල ඉහළ දැමීම පිළිබඳ කල්තියා උපකල්පනය කළ පාරිභෝගිකයා සුළු වාසියක් හෝ ලබාගැනීම සඳහා ඊට පෙර දින ස්වකීය වාහනවල ඉන්ධන ටැංකි ඉන්ධනවලින් පුරවා ගැනීමට කටයුතු කළේය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මාසයේ 10 වන දින මධ්‍යම රාත්‍රිය දක්වා ඉන්ධන පිරවුම්හල්වල දිගු වාහන පෝලිම් දක්නට ලැබිණ.

එසේම ඉන්ධන මිල වැඩිවීම නිසා ප්‍රවාහන මිල ගණන්ද වෙනස් කළ යුතු බවට ඒ අංශවලින් ප්‍රකාශ කිරීම නිසා ජනතාව හිංසාවට ලක්වූහ. බස් රථ සහ ත්‍රිරෝද රථවල මිල ගණන්ද ඉන්ධන මිල අනුව වෙනස් කළ යුතු බවට නිරතුරුව ඉල්ලිම් ඉදිරිපත් කෙරුණි. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ආණ්ඩුව ඩීසල් මිල පමණක් යම් පමණක අඩු මට්ටමක තබා ගැනීමට උක්සුක වූ අතර දිළිඳු ජනතාව සහ ධීවරයන් වෙනුවෙන් සලකා බූමි තෙල් මිල වැඩි නොකිරීමට ද කටයුතු කළේය. මිල සූත්‍රය යම් කොටසකට පමණක් මෙලෙස ක්‍රියාත්මක කිරීම අසාධාරණ බවට මහජනයා අතර මතයක් ඇතිවිය.

එසේම ආණ්ඩුව සැමවිටම උත්සාහ කළේ මෙම ඉන්ධන මිල සූත්‍රය ජනතාවට රහසක් ලෙස තබා ගැනීමටය. ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමේ නියමුවා ලෙස කටයුතු කළ හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර වැඩිවූ ඉන්ධන මිල ප්‍රකාශයට පත්කළා විනා මිල සූත්‍රය වැඩිවීමට කෙසේ උපයෝගී කර ගත්තාදැයි ජනතාවට ප්‍රකාශ කළේ නැත. මෙය සංවෘත කිරීම නිසා ඉන්ධන මිල සූත්‍රය පිළිබඳ ජනතාව තුළ දුර්මත ප්‍රකාශ වූ අතර එය කෙසේවත් රජයේ හා රටේ යහපත පිනිස හේතුවූයේ නැත. ආර්ථික විද්‍යාඥයෝද විවිධ මත පළකළහ. මාසයෙන් මස මිල වෙනස්වීම ආර්ථිකයේ ස්ථාවරත්වයට බාධාවක් බවද ආයෝජකයන් තුළ කුකුසක් ඇතිවන්නක් බවට ද මත පළවිය.

එකල ආණ්ඩුව පැවසුවේ මෙම ඉන්ධන මිල සූත්‍රය ලෝකයේ දියුණු රටවලද ක්‍රියාත්මක වන අතර එම නිර්නායක අපේ රටේ මිල සූත්‍රය තැනීමේදී ප්‍රයෝජනයට ගත් බවය. එසේම ඇතැම් රටවල සෙසු පාරිභෝගික ද්‍රව්‍ය මෙන් ඉන්ධන මිලද දිනපතා තීරණය වන බවද බලධරයෝ පැවසූහ. එහෙත් ඒ අනුව නොගොස් අපේ රටේ ඉන්ධන මිල මාසිකව තීරණය කරන බවද ප්‍රකාශ විය.

ඉන්ධන මිල සූත්‍රයක් තැනුවේ පසුගිය යහපාලන ආණ්ඩුව පමණක් නොවේ. අතීතයට එබී බලනවිට අපට පෙනෙන්නේ 2008 වසරේදී ද ඉන්ධන මිල සූත්‍රයක් රටේ තිබූ බවය. එය අනාවරණය වූයේ ඉන්ධන මිල අඩු කරන ලෙස ප්‍රථම වරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදීය. 2008 දෙසැම්බර් මාසයේ 17 වැනි බදාදා එවකට අගවිනිසුරු සරත් නන්ද සිල්වා එකල පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට නියෝග කළේ පෙට්‍රල් ලීටරයක උපරිම සිල්ලර මිල රුපියල් 100 නොඉක්ම විය යුතු බවය. 

එසේ වුවද එවකට අමාත්‍ය මණ්ඩලය එම නියෝගය ක්‍රියාත්මක කළේ නැත. මෙලෙස තෙල් මිල නියම කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බව අමාත්‍ය මණ්ඩලය තීරණය කළ අතර මෙම නියෝගය ව්‍යවස්ථා අර්බුදයක් නිර්මාණය කිරීමට සමත්විය. තීන්දුව කෙසේ වුවද එදා අධිකරණයේ සිදුවූ විවාදය අනුව ජනතාවට දැනගැනීමට හැකිවූයේ ඉන්ධන ලීටරයකට එම රජය සියයට 189ක විශාල බද්දක් පනවා ඇතිබවය. එය විශාල අසාධරණයක් බව ජනතාව කියූහ.

එම නඩුවේදී මිල සූත්‍රයකට අනුව මිල තීරණය කරන බව භාණ්ඩාගාර ලේකම්වරයා අධිකරණයට ප්‍රකාශ කළේය. එහිදී අගවිනිසුරු නියම කළේ ඉන්ධන බදු ප්‍රතිශතය කවරාකාරයකින් හෝ සියයට 100 නොඉක්ම විය යුතු බවය. බද්ද සියයට 75ක මට්ටමේ තබාගෙන යළිත් මිල සූත්‍රයක් ඉදිරිපත් කරන ලෙස අගවිනිසුරුවරයා භාණ්ඩාගාර ලේකම්ට නියම කළ අතර, දෙවැනි වරට ඉදිරිපත් කළ මිල සූත්‍රය සලකා බැලූ අධිකරණය පෙට්‍රල් ලීටරයක උපරිම සිල්ලර මිල රුපියල් 100 විය යුතු බවට තීරණය කර තිබුණි. ඒ අනුව අපට පෙනීයන්නේ ඉන්ධන මිල සූත්‍රයේ පසුගිය ආණ්ඩුවෙන් පමණක් තනන ලද්දක් නොවන අතර එය අතීතයේදී ද පැවැති බවය.

2008දී ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල අමෙරිකානු ඩොලර් 109ක පැවැති විට පෙට්‍රල් ලීටරයක මිල වූයේ රුපියල් 122කි. එහෙත් වර්තමානයේ හා නුදුරු අතීතයේ ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ඩොලර් 75-80 අතර පවතින විටෙක අද පවතින පරිදි මිල කිරීම සාධාරණ ද යන්න සලකා බැලිය යුතුය.

අද ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරය රුපියල් 136ක්, 95 වර්ගය 161ක් වන අතර ඩීසල් ලීටරය රුපියල් 104 හා සුපර් ඩීසල් ලීටරය රුපියල් 132ක් ද වෙයි.

කෙසේ වුවද අපේ රටට ඉන්ධන මිල සූත්‍රයක් අවශ්‍යද යන්න ගැන අදහස් දක්වන ආර්ථික විද්‍යා මහාචාරිනී ප්‍රේමා පොඩිමැණිකේ පවසන්නේ මිල සූත්‍රයක් තිබුණත් නැතත් ජනතාවට දරාගත හැකිවන පරිදි ඉන්ධන මිල තිබිය යුතු බවය. රටේ බොහෝ ආර්ථික කටයුතුවලට ඉන්ධන මිල ඍජුව බලපාන නිසා එය අත්තනෝමතික ලෙස වැඩිවීම ජනතාවට මෙන්ම සමස්ත රටේ සංවර්ධනයට ද බලපාන බව ඇය කියයි. ඒ නිසා ඉන්ධන මිල නියම කිරීමේදී විශාල ලෙස බදු ගසා භාණ්ඩාගාරය පුරවා ගන්නවා වෙනුවට සාධාරණව මිල තුළනය කිරීම වැදගත් බව ඇය කියයි.

“ඉන්ධනවල ඉල්ලුම අනම්‍යයි. එයට හේතුව ඉන්ධන මිල වැඩිවූවා යැයි විකල්පයක් පාවිච්චි කරන්න බැරි වීමයි. සුළු වශයෙන් පාරිභෝජනය අඩුවිය හැකියි. එහෙත් එයින් භාණ්ඩාගාරයේ ආදායමට එතරම් බලපෑමක් නැහැ. ඒ නිසා තමයි හැම ආණ්ඩුවක්ම ඉන්ධන බදුවලින් පහසුවෙන් විශාල මුදලක් උපයන්න පුරුදු වෙලා තියෙන්නේ. මිල සූත්‍රයක් පවතිනවයි පැවසීම පහුගිය ආණ්ඩුව ජනතාව මුලාකිරීමට කළදෙයක් මිස එයින් ජනතාවට සහන සැලසුවේ නැහැ. තවත් වැඩිකිරීමයි සිදුවුණේ.”

මහාචාර්යවරිය පවසන්නේ සැම ආණ්ඩුවක්ම මිල වැඩි කිරීමට හේතුව ලෙස පැවසුවේ ඛණිජ තෙල් සංස්ථාව පාඩු ලබන බවයි. “ඉන්ධන වැනි නරක් නොවන භාණ්ඩයක් හරියට කළමනාකරණය කර අලෙවි කළානම් කිසිවිටෙක පාඩුවෙන්න බැහැ. එහෙම පාඩුවෙන්නේ අවිධිමත් කළමනාකරණය සහ වංචා දූෂණ නිසාය.” යන්න ඇයගේ අදහසය.

එසේම රාජ්‍ය ආයතන සංස්ථාව සැපයූ ඉන්ධනවලට විශාල මුදලක් හිඟව පැවතීම මිල වැඩි කිරීමට හේතුව බව ස්ංස්ථාව පවසන නමුත් ඒ මුදල් එකතු කිරීමේ වගකීම ඇත්තේ සංස්ථාවට මිස මහජනතාවට නොවන බව ඇය පෙන්වා දෙයි. එය ජනතාව පිටින් යැවීම කැකිල්ලේ නඩු තීන්දුවක් බව කියයි.

“ඛණිජ තෙල් සංස්ථාවේ පවුවලට කරගසන්න වෙලා තියෙන්නේ රටේ දුප්පත් මහජනතාවටයි. අධි සුඛෝපභෝගි වාහනවලින් යන සුපිරි ධනවතාගෙන් සහ කැඩුණු බස්රියේ තැම්බී තැම්බී හිටගෙන යන මහජනතාවගෙන් සමාන මිලක් ඉන්ධනවලට අයකිරීම කොතරම් අසාධරණද?” ඇය විමසයි.

ඇයගේ අදහස වන්නේ වර්තමාන රජයෙන් ඉන්ධන මිල සූත්‍රය අහෝසි කළා හෝ නැතිද ජනතාවට සහනයක් සැලසීම ඉතාම වැදගත් බවයි.

► යසවර්ධන රුදිරිගු