2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

රාජ්‍ය සම්මාන ලැබෙන කලාකරුවන්ගේ කේන්දර

 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 444

උසස් විභාග සමත් කර උගතුන් බවට පත් වුවද ලේඛකයකු වීමට සෑම උගතකුටම හැකි වන්නේ නැත. ඇතැම්විට වැඩිදුර අධ්‍යාපනය නොලැබූ උසස් විභාග සමත් නොවූ සමහරැ දක්ෂ ලේඛකයන් හා සාහිත්‍යධරයන් වී ලොව පුරා ප්‍රසිද්ධියට පත්වෙති. ලේඛන කලාවෙන් ඉහළටම ගොස් කොග්ගල ප්‍රඥයා ලෙස විරුදාවලි ලැබූ මාර්ටින් වික්‍රමසිංහ සූරීන් විභාග සමත් වී ඉහළටම ඉගෙනගත් අයකු නොවේ. මෙවැනි වික්‍රමසිංහලා කොතෙකුත් සිටින්නට පුළුවන.

විද්‍යාකාරක ග්‍රහයන් ලෙස හඳුන්වන බුධ හා ගුරැ ග්‍රහයන් බලවත්ව ඇති කේන්ද්‍ර හිමියන්ට ලේඛන කලාවේ සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉහළට යාමට අවස්ථාව ලැබෙනු ඇත. කේන්ද්‍රයක ලග්නාධිපති වශයෙන් පවතින බුධ ග්‍රහයා බලවත් වීම නිසා යෙදෙන භද්‍ර යෝගය ද උසස් ග්‍රහ පිහිටීමක් වෙයි. යමකුගේ වෘත්තීය කටයුතුවලට අදාළ දසවැන්නාධිපති ලෙස සැලකෙන ගුරැ ග්‍රහයා කේන්ද්‍රයක බලවත් වන අතර එවැනි අයකුට ලේඛන කලාවෙන් ධනය උපයා ගැනීමට හැකි වී තිබේ.

මිථුන ලග්නයේ ධනු නවාංශක කේන්ද්‍රයේ දසවැන්නාධිපති මෙන්ම ධනකාරක ගුරු ග්‍රහයා ධනස්ථානයේ උච්ච බලයෙන් පිහිටීම මෙහිදී සුවිශේෂ වේ. මෙම පිහිටීම ඇතිවිට වයස ගිය ද තරුණයකු සේ කඩිසරව ක්‍රියා කරනු දැකගත හැකිය. එවැනි අය නවකතා, කෙටිකතා, පද්‍ය නිර්මාණයේ මෙන්ම විවිධ ශාස්ත්‍රීය අංශවල ද ප්‍රවීණයකු වෙයි.

භද්‍රා යෝගය මෙන්ම ජන්ම කේන්ද්‍රයේ ධනස්ථානයේ ගුරැ ග්‍රහයා බලවත් වීමද, සිකුරැ ග්‍රහයා ත්‍රිකෝණ බලයෙන් සිටින්නේ නම් හිමිවන කවියට උසස් හපන්කම් දක්වන්නකු බවට පත්වෙයි. මෙවැනි පිහිටීමකට විෂ්ණු යෝගය යැයි ද කියනු ලැබේ.
මකර ලග්න මකර නවාංශක වර්ගෝත්තම කේන්ද්‍ර හිමිකාරියක් වන මැය පුවත්පත් ලේඛිකාවකි. එසේම රාජ්‍ය සම්මාන දිනූ තැනැත්තියකි. බුධ ග්‍රහයා වර්ගෝත්තම බලයෙන් ද, ගුරු හංස යෝග බලය යෙදී තිබීමෙන්ද, දසවැන්නේ පිහිටි මාලවි යෝග බලය නිසා ද වෘත්තීය කටයුතුවල ඉහළටම නගින්නට හැකිව ඇත. බුධ ග්‍රහයා වෘශ්චික රාශිගතවීම හේතුවෙන් බොහෝ දෙනකුගේ අවධානය යොමු නොවන ගුප්ත අංශවල කටයුතුවලට ද නැඹුරැතාවක් දක්වනු ඇත.

රාහු කේතු හැර තාරකා ග්‍රහයන් සියලු දෙනම රාශිගතව පිහිටා යෙදෙන දාමිභි යෝග බලය ද ක්‍රියාත්මක වීම හේතුවෙන් මැයට පැහැදිලි නිරවුල් බුද්ධියකින් කටයුතු කිරීමට අවස්ථාව සැලසී ඇත. පිනට දහමට ලැදි මේ අය තම හැකියාව අනුව දුප්පතුන්ට උපකාර කිරීමට ද ඉදිරිපත් වේ. ගුරැ හංස යෝග බලය නිසා මෙම ලක්ෂණ තවදුරටත් තීව්‍ර වී ඇත.

එසේම ඔවුන් වයස ඉක්ම ගියද දිගටම අධ්‍යාපන කටයුතුවල නිරත වීමට කැමැති අය වේ. අලුත් අලුත් දේ ඉගෙනීමට ආශා කිරීම දිගටම පවතී. ජීවිතයේ ඇසූ පිරූ තැන් ඇති අය බවට පත්වේ.

 විශේෂ ජෝතිර්වේදියකු විසිනි

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00