2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

කාන්තාවන් විරල කැබිනට්ටුවේ අසාධාරණය

 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 294

ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 52%ක් සිටින්නේ කාන්තාවන්ය. ඡන්දය භාවිත කළ හැකි පිරිසෙන් 56%ක්ම කාන්තාවෝ වෙති. එමෙන්ම රාජ්‍ය සේවයේ නිරත පිරිසද 40%ක්  පමණ  වේ. වෛද්‍ය, නීතිඥ වැනි වෘත්තීන්හි නිරත කාන්තා ප්‍රතිශතය පුරැෂ ප්‍ර‍තිශතයට සමාන තත්ත්වයක පවතී.  

මෙරට දේශපාලන ඉතිහාසයේ පළමු වරට  මැති සබයට තේරී පත්වූ කාන්තාව වූයේ ඇඩ්ලින් මොළමුරේ මැතිනියයි. 1931.වසරේ රුවන්වැල්ල ආසනය සඳහා පැවති අතුරැ මැතිවරණය ජය ගනිමින් ඇය පාර්ලිමේන්තුවට තේරී පත් වූවාය. 1932 දී උතුරු  කොළඹ ආසනය සඳහා පැවති අතුරැ මැතිවරණයෙන් ජයගත් තේසම් සරවනමුත්තු මහත්මිය පාර්ලිමේන්තුවට පත් වූ දෙවැනි මන්ත්‍රීවරිය ලෙස සැලකේ. පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ ආගමනයට මේ වනවිට වසර 88ක් පමණ ගතව තිබුණ ද මෙරට පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය තවමත් ඇත්තේ ඉතා පහළ මට්ටමකය.

2014 වසරේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩපිළිවෙල නිකුත් කළ ජාතික මානව සංවර්ධන වාර්තාව අනුව 2010 වසරේදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5.8% කි. පළාත් සභා මට්ටමේදී එය 4% ක් ද ප‍්‍ර‍්‍රාදේශීය මට්ටමේදී එය 1.8% ක් ද විය. දකුණු ආසියාවේ වෙනත් රටවල් හා සසඳන විට මෙම සංඛ්‍යාව ඉතා අවමය. නේපාලයේ ජාතික මට්ටමේ දේශපාලනයේ කාන්තා නියෝජනය 32% ක් වන අතර බංග්ලාදේශයේ 19% සහ ඉන්දියාවේ 10% ප්‍රතිශතයක පවතී.  

දේශපාලනික හා ආර්ථික වශයෙන් දියුණු රටවල කාන්තාව හා සසඳන කල ශ්‍රී ලංකාවේ කාන්තාව කිසියම් පසුගාමී බවක් පෙන්නුම් කරයි. දියුණු රටවල කාන්තාව පිළිබඳ විශේෂ අවධානයක් අවශ්‍ය නොවන අතර සාමාන්‍ය නීතිය තුළම කාන්තාවට හිමි තැන ලැබී තිබේ. මෙරට කාන්තාවන් අතුරින් 60%පමණ පිරිසක් උසස් අධ්‍යාපනයට යොමු වන අතර උසස් රැකියාවලද නිරත වෙති. එහෙත් මෙරට නීති සම්පාදනයට දායක වීම සඳහා ඇයට ඇති අවස්ථාව අවමය.  

පාර්ලිමේන්තුව තුළ වැඩි කාන්තා නියෝජනයක් අවශ්‍ය බවට දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම සිවිල් සමාජයේද මතයක් ගොඩ නැඟෙමින් තිබේ. මෙරට ජන අනුපාතය අනුව පාර්ලිමේන්තුව තුළ අවම වශයෙන් 60%ක වත් කාන්තා නියෝජනයක් පවතින්නේ නම් පාර්ලිමේන්තුවේ කාර්යක්ෂමතාව වැඩිවනු ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව භාරකාර ආණ්ඩුවේ ඇමැති මණ්ඩලයට කැබිනට් ඇමැතිවරැ 15ක් සහ රාජ්‍ය ඇමැතිවරැ 38 දෙනෙක් පත්වූහ. එහෙත් එම කැබිනට් මණ්ඩලයට අයත්ව සිටින්නේ එකම කාන්තාවක පමණි. මෙවර කැබිනට් මණ්ඩලයේ කාන්තා නියෝජනය අවම වීම කාන්තාවන්ට සිදු වූ අසාධාරණයක් ද? අප මේ සම්බන්ධයෙන් විමසා බැලුවේ ප්‍රවීණ නීතිවේදිනියක වන නිරෑපා සේරසිංහ මහත්මියගෙනි.

කැබිනට් මණ්ඩලයේ කාන්තා නියෝජනය අවම වීම අසාධාරණයි. එහෙත් පාර්ලිමේන්තුවේ සිටින කාන්තා නියෝජනය අවම මට්ටමක පවතින විට වැඩි ප්‍රතිශතයක් කැබිනට් මණ්ඩලයට එක් කර ගැනීමට හැකියාවක් නැහැ. මෙරට ජන අනුපාකය අනුව කාන්තාවන්ගේ ප්‍රතිශතය  52%ක් පමණ වනවා. එහෙත් කාන්තාවන් වැඩි පිරිසක් දේශපාලනයට සම්බන්ධ වීමට මැලිකමක් දක්වනවා.. වත්මන් පාර්ලිමේන්තුවේ 225ක් වන මැති ඇමැතිවරුන් අතර කාන්තාවන් සිටින්නේ 13 දෙනයි. 

ශ්‍රී ලංකාව වැනි රටක කාන්තාව කෙතරම් උසස් වෘත්තියක නිරත වුවත් ඇය තම නිවෙසේ තමන් විසින් ඉටු කළ යුතු යුතුකම් අතර සිරවෙනවා. ලොව පළමු අගමැතිනියත් ජනාධිපතිනියත් බිහි වූයේ ශ්‍රී ලංකාවෙන්.  ඔවුන් දෙදෙනාම දේශපාලන පසුබිමකින් පැමිණි අයයි. අපේ රටේ කාන්තාවක දේශපාලනයේ නිරතවනවා නම් ඇයට කිසියම් දේශපාලන පවුල් පසුබිමක් තිබිය යුතුයි. එවැනි දේශපාලන පසුබිමක් නොමැති කාන්තාවන්ද පාර්ලිමේන්තුවට පත් වුණා. ඒ ඔවුන් කිසියම් ප්‍රතිරූපයක් ගොඩ නඟාගෙන තිබූ නිසයි.  රෝසි සේනානායක, මාලිනී ෆොන්සේකා එවැනි අයයි. සාමාන්‍යයෙන් උසස් වෘත්තියක නියැලෙන එවැනි දේශපාලනික හෝ ප්‍රතිරෑපමය පසුබිමක් නොමැති කාන්තාවකට දේශපාලනට එක්වීම අසීරැයි. ඊට සාධක කිහිපයක් බලපානවා. පළමුවැන්න මෙරට පවතින දේශපාලන පසුබිම මත එවැනි කාන්තාවන් දේශපාලනයට පිවිසීමට මැලිවීමයි. පළාත් පාලන ආයතන වැනි අංශවල යම් කාන්තා නියෝජනයක් දැකිය හැකි නමුදු  උසස් වෘත්තිමය පසුබිමක් මත පැමිණෙන පිරිස අවමයි. පාර්ලිමේන්තුවේ සිටින මැති ඇමැතිවරැන්ගෙන් වැඩිම පිරිස නීතීඥයන් වුවත් කාන්තා නීතීඥවරියන් ඇත්තේ ඉතාම සුළු පිරිසක්.  අපේ රටේ දේශපාලනය කරන කාන්තාව දෙස වෙනස් කෝණයකින් බලන ආකාරයක් දැකිය හැකියි. එහෙයින් බොහෝ වෘත්තීමය කාන්තාවන් දේශපාලනයට පිවිසීමට මැලිකමක් දක්වන බවක් පෙනෙන්නට තිබෙනවා. දේශපාලනික පසුබිමක් නොමැති කාන්තාවකට දේශපාලනයෙන් ඉදිරියට යෑමට පවුලෙන් ලැබෙන සහයෝගය වුවත් ඉතා අවම මට්ටමක පවතිනවා. දේශපාලන පවුල් පසුබිමක් නොමැති කාන්තාවක දේශපාලනයෙන් ඉදිරියට යෑමට නම් ඇයට දේශපාලනයට සම්බන්ධ අයකු හා සමීප සම්බන්ධයක් තිබිය යුතුයි. මෙය ඉතා කනගාටුදායක තත්ත්වයක්.

පළාත් පාලන ආයතන සඳහා කාන්තා නියෝජනය 25%ක් පැවතිය යුතු බවට නීතියක් පැනවිණි. ඒ 2016 අංක 01 දරන පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත මගිනි. ඉන් පළාත් පාලන ආයතනයන්හි කාන්තා නියෝජනය යම් මට්ටමකට ඉහළ ගියේය. එහෙත් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සම්බන්ධයෙන් එවැනි නීතියක් නොමැත. එමෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන කාන්තාවන්ගෙන් උපරිම සේවයක් ඉටු වේද? මේ පිළිබඳව නීතීඥ නිරෑපා සේරසිංහ මහත්මියගේ පිළිතුර වන්නේ නැත යන්නයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන කාන්තා මැති ඇමැතිනියන්ගෙන් ජනතාව අපේක්ෂා කරන සේවයක් ලැබී නැහැ. ඒ බව පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේ සිටි මැති ඇමැතිවරියන්ගේ ක්‍රියා කාලාපය විමසීමේදී ඉතා පැහැදිලිව දැකිය හැකියි. වෙනත් ප්‍රශ්න කෙසේ වුවත් අවම වශයෙන් කාන්තාවන්ගේ ගැටලු සම්බන්ධයෙන් හෝ ඔවුන් පාර්ලිමේන්තුව තුළ හඬක් නඟන්නේ නැහැ. මේ රටේ දුක්විඳින කාන්තාවන් විශාල පිරිසක් සිටිනවා. ඔවුනට හඬක් නැහැ. ඔවුන් වෙනුවෙන් හඬක් නඟන්න පිරිසක් අවශ්‍යයි එහෙත් පාර්ලිමේන්තුව තුළ ඔවුන් වෙනුවෙන් හඬක් නඟන මැති ඇමැතිවරියන් සිටින්නේ කී දෙනාද? මෙම ක්‍රමය තුළ පැවතීමට හා තම ඡන්ද පදනම ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරනු හැරෙන්නට ජනතා ප්‍රශ්න පිළිබඳ සොයා බැලීමට හෝ කාන්තා සුබසිද්ධිය පිණිස කිසිවක් කිරීමේ හෝ අරමුණක් කාන්තා නියෝජිතවරියන්ට නැහැ. ඔවුන්ගේ එම ආකල්ප වෙනස් විය යුතුයි. ජනතාව පාර්ලිමේන්තුවේ සිටින මැති ඇමැතිවරියන්ගෙන් අපේක්ෂා කරන්නේ කාන්තා දිනයට ගර්භනී කාන්තාවන්ට, දිළිඳු කාන්තාවන්ට බඩුමල්ලක් ලබා දීම නොවෙයි. ඔවුන් පත්ව සිටින අසරණ තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා කිසියම් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. එහෙයින් ජන අනුපාතය අනුව කාන්තාවන් විශාල පිරිසක් පාර්ලිමේන්තුවට යැවීමෙන් ජනතා අපේක්ෂා ඉටු වන්නේ නැහැ. පසුගිය කාලයේ ඇතැම් ප්‍රකට චරිත පාර්ලිමේන්තුව නියෝජනය කළා. එහෙත් ඔවුන් කිසි දිනෙක ජනතාව වෙනුවෙන් එක වචනයක් හෝ කතා කර නැහැ. අවධානය යොමු කළ යුත්තේ තමන් පාර්ලිමේන්තුවට යවන කාන්තාවට තමන් උදෙසා කළ හැකි කාර්යභාරය කුමක්ද යන්න පිළිබඳවයි. කාන්තාවකට දේශපාලනයට පිවිසීමට ආර්ථික සහයද අවශ්‍යයයි. එහෙත් දේශපාලන පසුබිමක් නොමැති කාන්තාවකට ඒ සඳහා අනුග්‍රහයක් ලබා ගැනීමද අසීරැ කාර්යයක්. ශ්‍රී ලංකාව වැනි රටක කාන්තාව දෙස බලන්නේ ඇයගේ ශාරීරික  ආකර්ශණය පිළිබඳව විනා උගත්කම හෝ වෘත්තීමය හැකියාව මත හෝ නොවෙයි. ඒ නිසා කැබිනට් ඇමතිවරියක බවට පත්වීම සඳහා සාමාන්‍ය කාන්තාවක යා යුතු ගමන් මඟ ඉතා කටුකයි. මෙවැනි තත්ත්වයක් යටතේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය අවම වෙනවා. කැබිනට් මණ්ඩලයට පත් කළ යුත්තේ තමන්ට පැවරෙන කාර්්‍යභාරය මැනවින් ඉටු කළ හැකි කාන්තාවක්. එවැන්නියක් තෝරා ගත යුත්තේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සුළු පිරිස අතරින්. ඒ නිසා මෙවර කැබිනට්ටුවට එක් කාන්තාවක් පමණක් තෝරා ගැනීම අසාධාරණයක් ලෙස පෙණුනත් කාන්තා නියෝජනය අවම බැවින් වෙනත් විකල්පයක් නොතිබෙන්නට ඇතැයි සිතිය හැකියි.* යනුවෙන් නීතීඥ නිරෑපා සේරසිංහ මහත්මිය සඳහන් කරයි.

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ වාර්තාවකට අනුව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටවල් 190 ක කාන්තා නියෝජනය සලකා බැලීමේදී ශ්‍රී ලංකාව සිටින්නේ හි 176 වෙනි ස්ථානයේ යැයි පැවසේ. එහෙයින් මෙරට නීති සම්පාදනයේ ඉහළම ස්ථානය වන පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා රැල්ලට එන තරු නොව ජනතා ප්‍රශ්න අවබෝධ කරගත හැකි උගත්, බුද්ධිමත් කාන්තාවන් පත්කර ගැනීම ජනතාව සතු යුතුකමකි.

  ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00