2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

අපි එපා කියද්දී සිල් මෑණියෝ මහරෑ බස්එකෙන් බැස්සා

 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 211

දිවයිනේ පළාත් කිහිපයක ගම්මාන රැසකට බලපා තිබෙන වන අලි - මිනිස් ගැටුම හේතුවෙන් මිනිසුන් ගණනාවකගේ ජීවිත හා වගාවන් ඇතුළු දේපළ රැසක් විනාශ වීම ද වන අලින් ගණනාවක් ඝාතනය වීමේ සිද්ධීන් ද වාර්තා වී තිබේ. විදුලිය සහිත අලි වැට අක්‍රීය වීමෙන් ගොවි ගම්මාන රුසකට අයත් ජනතාව වන අලි තර්ජනයට මුහුණ පා සිටිති. ගැටලුව මර්දනය කිරීමට වනජීවී දෙපාර්තමේන්තුවට හෝ හැකියාවක් නොමැති පසුබිමක සංවේදී පුවතක් වාර්තා වූයේ මාතලේ නාඋල නාලන්ද ප්‍රදේශයේදී මෙහෙණින් වහන්සේ නමක වනඅලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වීම සමඟය.

නාඋල, නාලන්ද පෞරාණික ගොඩිගේ දක්වා දිවෙන මාර්ගයෙන් බෙදී යන හපුගස්යාය පාරේ පිහිටි බෝගස් බොබැල්ල නම් ගම්මානයකි. එහි හුදකලාව පිහිටි ආරාමයක තනිවම කල්ගෙවූ මෙහෙණින් වහන්සේ නමකි. විවිධ ගුරුකම් කටයුතුවල නියැලෙමින් සාමාන්‍ය සමාජයෙන් දුරස්ව කල්ගෙවූ අතරගල්ලෑවේ ඥානමිත්ත මෙහෙණියට හරිහැටි දාන වේලක් හෝ ලැබුණේ නැති තරම්ය. කෙසේ වෙතත් වෙනත් ප්‍රදේශවල වැඩවසන මෙහෙණින් වහන්සේලා සමඟ ඇසුර පැවැත්වූ ඇය පසුගිය දිනක කොළඹ ප්‍රදේශයේ සමුළුවකට යාමට සූදානමින් සිටියාය.

සෙසු මෙහෙණින් වහන්සේලා සමඟ එක්වූ ඇය කැලණිය ප්‍රදේශයේ පැවැත්වූ සමස්ත ලංකා සිල් මෑණිවරැ නියෝජනය කරන උත්සවයකට සහභාගී වූවාය. පසුගිය 29 වැනිදා සමුළුව අවසන් වීමෙන් පසුව සෙසු පිරිස සමඟ බස් රථයෙන් පැමිණි ඥානමිත්ත මෙහෙණිය නාලන්ද ප්‍රදේශයේදී බස් රථයෙන් බැස තිබුණේ සෙසු මෙහෙණින් වහන්සේලාගේ විරෝධය මැදය. ඒ මධ්‍යම රාත්‍රියේ තනිවම ගමන් කිරීම අනාරක්ෂිත වූ නිසාය.

කෙසේ වෙතත් 60 හැවිරිදි ඥානමිත්ත මෙහෙණිය තනිවම ආරාමය දෙසට ගමන් කළාය. වැස්සක් මැද පාත්තරය, කුඩය සහ විදුලි පන්දමක් අතැතිව මහ රාත්‍රියේ කිලෝමීටර් තුන හතරකට වැඩි දුරක් ගමන් කළ මෙහෙණිය ඇය විසූ ආරාමය පෙනෙන මානයටම ගමන් කළාය.

අතුරැ පාරවල් රැසක් පසු කර ගිය ඇය ආරාමය දක්වා වූ අඩි පාරට හැරී වැඩිදුරක් ගොස් තිබුණේ නැත. සිදුවූයේ කුමක්දැයි ඇයට සිතාගැනීමට අවස්ථාවක් නොතිබෙන්නට ඇත. අඩිපාර මායිමේ වූ උණ පඳුර අතරින් මතු වූ සද්ධන්තයකු මෙහෙණිය ඉදිරියට කඩාවැදී ඇයට පහර දී තිබිණ. බිම ඇද වැටුණු මෙහෙණියගේ හිස අඩක් පාගා දමා අතක් සහ පාදයක් දැඩි ලෙස තලා පොඩි කර තිබිණ. බරපතළ තුවාල ලැබූ මෙහෙණින් වහන්සේ මහ වැස්සට තෙමී තෙමී අවසන් හුස්ම හෙලන්නට ඇත.

පසුදින 30 දා අලුයම සිදුවීම අනාවරණය වන්නේ මළ සිරැර ගම්මුන්ගේ නෙත ගැටීමත් සමඟය. වහාම සිදුවීම ප්‍රදේශය බාර නාඋල පොලිස්ථානය වෙත දන්වා තිබූ ගම්වැසියන්ගේ පියවර අනුව නාඋල පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අබේසිංහ මහතා ඇතුළු නිලධාරීන් අදාළ ප්‍රදේශයට ගොස් විමර්ශන සිදුකර තිබිණ. ඒ අනුව අනාවරණය වී ඇත්තේ කළුවරේ ඇවිද ගිය  මෙහෙණිය ආරාමයට මීටර් කිහිපයකට මෙහා තිබූ උණ පඳුර පසුකර යද්දී උණ අතු අනුභව කරමින් සිටි වන අලියකු මෙහෙණියට පසුපසින් ගොස් පහර දී ඇති බවය. ඒ බව සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්ෂි රුසක් ඇති බවත් වන අලියකු විසින් උණ පඳුර කඩා දමා ඇතැයි පෙනෙන්නට තිබෙන බවත් වාර්තා කොට ඇත.
සිදුවීම පිළිබඳ කරැණු ප්‍රකාශ කළ හපුගස්යාය භාවනා මධ්‍යස්ථානයේ මයියංගණයේ බුද්ධිකා මෙහෙණිය කියා සිටියේ තමන් ඇතුළු පිරිස සමඟ පැමිණි ඥානමිත්ත මෙහෙණිය සිය අවවාද නොතකා රාත්‍රියේ බසයෙන් බැස ගිය බවත් එහිදී මෙම අනතුර සිදුවන්නට ඇති බවත්ය. මෙහෙණියගේ මළසිරැර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ පසුව ආදාහන කටයුතු ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් සිදුකරනු ලැබීය. එම අවස්ථාවට වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සහභාගී වී සිට අතර ප්‍රදේශවාසීන් විසින් වන අලි ගැටලුව පිළිබඳව ඇමැතිවරයාට කරැණු පහදා දෙනු ලැබීය. එහිදී වන අලි ගැටලුවට කඩිනම් පියවර ගනු ලබන බවද ප්‍රකාශ කර තිබුණත් එහිදී උණුසුම් බහින්බස් වීමකින් පසුව ඇමැතිවරයා එතැනින් පිටව ගොස් තිබිණි.
මේ වනවිට නාලන්ද, බෝගස් බොබැල්ල, පේරකනත්ත, ලිහිනි පිටිය, අකරහාඩුව, අඹන, සේනාගම, ඕපල්ගල, මොරගොල්ල, හැළඹගහවත්ත, බඹරගහවත්ත හා පුබ්බිලිය ඇතුළු ප්‍රදේශ ගණනාවක් වන අලි තර්ජනයට ලක්ව පවතී. ඊට ප්‍රධාන හේතුව වශයෙන් වාර්තා වන්නේ කිලෝ මීටර් 80කට අධික ප්‍රමාණයක පිහිටි අලි වැට අක්‍රීයව පැවතීම බවත් ක්‍රමානුකූලව පවත්වාගෙන යාම සඳහා කම්කරැවන්ගේ හිඟයක් ඇති බවත්ය. එම අඩුපාඩු සම්පූර්ණ කළ පසුව ප්‍රදේශයට බලපා තිබෙන වන අලි ගැටලුව නිමා කිරීමට හැකි වනු ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුවේ ඇලපාර කාර්යාලයේ අඩවි ආරක්ෂක රංජිත් කේ. විජිත මහතා පවසයි.

වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය නිලධාරීන් පවසන පරිදි නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අවට ඇති අලි වැට කිලෝමීටර් 80ක් පමණ විදුලිය අක්‍රීය වීම ප්‍රදේශයේ ජනතාවට බරපතළ ගැටලුවක් හා අවදානමකි. අවශ්‍ය පරිදි කම්කරැවන් යොදවා ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා නිසි පියවර ගැනීම බලධාරීන් සතු වගකීමය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර
පසුබිම් වාර්තා සහ සේයාරෑ
ඉන්දික අරුණ කුමාර