2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

යසයාගේ පෑනට පනහයි

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 115

ප්‍රවීණ ලේඛක දේශය මාධ්‍යවේදී යසවර්ධන රුද්රිගුගේ ලේඛන දිවියට අඩසියවසක් පිරීම නිමිත්තෙන් ඔහුගේ පනස් වැනි කෘතිය පසුගියදා එළිදැක්විණි. ඒ සමඟම ඔහු ලියූ වැඩි තණ්හාව ළමා කතාව, පෙම්වතිය කාව්‍ය කෘතිය, ඇල්ලක අසිරිය පාරිසරික ග්‍රන්ථය ද නිකුත් විය. වනචාරින් සමඟ වසරක් සහ අවුරුදු සිරිඅසිරි පොත්වල නව මුද්‍රණ ද නිකුත් විය. මේ එම කෘති පිළිබඳ කෙටි සටහනකි.

“යසයාගේ වාක්කිය” තීරු ලිපි 56ක් ඇතුළත් කෘතියකි. ඒ නමින් ඔහු ලියූ තීරු ලිපියට 2018 හොඳම තීරැ ලිපියට හිමි ජනාධිපති මාධ්‍ය සම්මානයද හිමිවිය. මෙම තීරු ලිපිය ක්‍රියා නාමයක් මාතෘකා කොටගෙන ලියා තිබේ. සෑම ක්‍රියා නාමයක්ම “ල්ල”න් අවසන් වීමද කැපී පෙනේ. එසේම ලියන සෑම වාක්‍යක්ම “ය” අක්ෂරයෙන් කෙළවර වන ක්‍රියා පදයකින් අවසන් කිරීමට කතුවරයා සැලකිලිමත් වී ඇත. එම තීරු ලිපි තුළින් සමාජයේ දුර්වලතා උපහාසයට ලක්කිරීමට ද කාලීන ගැටලු පිළිබඳ විවේචනය කරමින් පහර එල්ල කිරීමට ද දැරූ උත්සාහය අගනේය. ගැලවිල්ල, අයැදිල්ල, අතෑරිල්ල, ඇඹරිල්ල, ඇරිල්ල ආදී වශයෙන් මෙහි තීරු ලිපි පෙළගස්වා තිබේ. උපහාසයට යටින් සමාජ දේශපාලන දූෂණ හොරමැරකම් ගැන හෙළිදරව් කිරීමේ යටිපෙළක් ද සහිතය. තීරු ලිපිය ගැන හරවත් හැඳින්වීමක් ද මෙහි ඇතුළත් කර තිබේ.

“ඇල්ලක අසිරිය” පොතෙන් යසවර්ධන උත්සාහ දරා ඇත්තේ අප රටේ සංචාරකයන් අතර ජනප්‍රිය ඉසව්වක් වන දිය ඇලි රාශියක් ගැන තොරතුරු ඉදිරිපත් කිරීමටය. දියඇලි, දියඇලිවලට වින කරන්නෝ, දියඇල්ලක් යන්න කුමක්ද ආදී වශයෙන් පාඨකයාට අවබෝධයක් ලබාදෙන කතුවරයා බඹරකන්ද ඇතුළු දියඇලි ගැන තොරතුරු ගෙන එයි.

යසවර්ධනගේ නව වැනි ළමා කෘතිය වැඩි තණ්හාවයි. ඔහු ලියූ “අපි මොකට ද රණ්ඩු වෙන්නේ ළමා අත්පිටපතට සමස්ත ලංකා ළමා ග්‍රන්ථ තරගයෙන් ප්‍රථම ස්ථානය ද හිමිව තිබේ. වැඩි තණ්හාව නිසා රසවත් අඹ පිරුණු ගහකට විනාශය ළඟාවන අන්දම මෙම පොතේ විස්තර කරයි. අසංග ඉදුනිල් නිර්මාණය කළ චිත්‍ර නිසා පොතට ආකර්ශනීයත්වයක් ලැබී තිබේ.

“පෙම්වතිය” කතුවරයා කාව්‍යකරණයට දක්වන හැකියාව විදහා පෙන්වන කෘතියකි. මෙය ඔහුගේ ප්‍රථම කාව්‍ය ග්‍රන්ථයයි. අව්‍යාජත්වය සහ ප්‍රතිභාව නමින් ජී.බී. සේනානායක ලියූ ලිපියක් ද කෘතියට ඇතුළත් කර ඇත. සිනහව, රොටි, රිදී හවඩිය, මගියා, සාරිපොට ඇතුළු කාව්‍ය නිර්මාණ 25කින් පෙම්වතිය සමන්විතය. කතුවරයා විවිධ සමාජ සංසිද්ධි දෙස බලන මානුෂීය මෙන්ම උපහාසාත්මක දෘෂ්ටිය ද මේ කවි තුළින් පෙනේ.

වර්ෂ පනහක ලේඛන දිවිය තුළ කෘති පනහක් රචනා කිරීම ලේසිපාසු නොවේ. එය ඉතා දුෂ්කර ව්‍යායාමයකි. නවකතා, කෙටි කතා, යොවුන්, නවකතා, ශාස්ත්‍රීය ග්‍රන්ථ, බොද්ධ ග්‍රන්ථ, පරිවර්තන, ළමා කතා සහ කාව්‍ය යන සාහිත්‍ය ක්සේත්‍රය ඔහුගේ පෑනට හසුව තිබේ. මේ සෑම කෘතියකින්ම පැහැදිලි වන්නේ යසවර්ධන රුද්රිගුගේ ලේඛනයට ඇති සමත්කමයි. අපි ඔහුගේ ලේඛන දිවියට සුබ පතමු.  

පාඨක

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00