2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

මාතලේ නගරාධිපතිගේ තර්ජන පැමිණිල්ල

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 56

කලින් කලට සිදුවන ආණ්ඩු පෙරළි සමග බලයෙන් ඉවත්ව යන හිටපු මැති ඇමැතිවරුන්ට එල්ල කරන චෝදනා අසන්නට ලැබේ. විටෙක ප්‍රසිද්ධ මාතෘකා වශයෙන් කරළියට එන මෙකී චෝදනා පැමිණිල්ලක් හෝ විමර්ශනයක් නැතුවම අමතක කර දමන බවත් දකින්නට ලැබේ. මෙවර ආණ්ඩු බලය ගිලිහීමත් සමග මාතලේ පුරපති ඩල්ජිත් අළුවිහාරේ මහතාට එවැනි චෝදනා රාශියක් එල්ල වෙමින් තිබෙන බව වාර්තා වේ.

මාතලේ මහනගර සභාවේ නගරාධිපති (එ.ජා.ප.) ඩල්ජිත් අළුවිහාරේ මහතා පවසන්නේ මාතලේ මහනගර සභාවේ විපක්ෂය නියෝජනය කරන පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරැන් හා ආධාරකරැවන් පිරිසක් තමන් නගරාධිපති ධුරයෙන් ඉවත්කරන බවට තර්ජනය කරන බවය. එම තර්ජනය කිරීම සම්බන්ධයෙන් නගරාධිපතිවරයා මාතලේ මූලස්ථාන පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇති බවද පැවසීය.

පසුගියදා පැවති ජනාධිපතිවරණයට පසුව පොදුජන එක්සත් පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ජයග්‍රහණය සැමරීමේ උත්සවයක් මාතලේ ඔරලෝසු කණුව අසළ පවත්වා තිබිණ. ඊට එම පක්ෂයේ නාගරික මන්ත්‍රීවරැන් ඇතුළු ආධාරකරුවන් පිරිසක් සහභාගී වී සිට ඇත. එම අවස්ථාවේ නගරාධිපති ඩල්ජිත් අළුවිහාරේ මහතාට චෝදනා නගමින් සිය තනතුරින් ඉවත්වන ලෙස බලකොට තර්ජනය කරන බවටත් බැණ තර්ජනය කළ බවටත් තොරතුරු ලැබුණු බවත් සාක්ෂි වශයෙන් අදාළ සිදුවීම ඇතුළත් වීඩියෝ පටයක් ලැබුණු බවත් ඩල්ජිත් අළුවිහාරේ මහතා පැවසීය. ඒ අනුව ආරක්ෂක පියවරක් වශයෙන් තමා වීඩියෝ පටය පොලීසියට ඉදිරිපත් කර පැමිණිල්ලක් සිදුකළ බවද පැවසීය.

අස්වෙන්න බෑ කිව්වාම මට තර්ජනය කරනවා
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මාතලේ නගරාධිපති ඩල්ජිත් අළුවිහාරේ මහතා:

“රෝහණ දිසානායක සහ ඔහුගේ ලේකම් නිශාන්ත ඩයස් නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති සන්දනම් ප්‍රකාශ් සහ අමිල නිරෝෂන් කියන මන්ත්‍රීවරු නිරන්තරවම මට තර්ජනය කරනවා වහාම තනතුර දීලා පලයං කියලා. එයාලා කියනවා ජනතා පරිමාධිපත්‍යයට ගරු කරන්න කියලා. ජනතාව ඡන්දෙ දුන්නේ ජනාධිපති පත් කරන්නනේ. මම ඉන්නේ පළාත් පාලනයේ. මට ඉල්ලා අස්වෙන්න බෑ කියලයි මම කීවේ. ඊටපස්සේ මේ අය නගර සභාවේ උද්ඝෝණය කරනවා කීවා. ඊට පසුවයි මම පොලිසියට පැමිණිලි කළේ. ඊට පස්සේ ප්‍රශ්නයක් නෑ. නමුත් තර්ජනය තියෙනවා. මේ වගේ නොහොබිනා වැඩ නිසා ජනපති සහ අගමැතිතුමත් අපකීර්තියට පත්වෙනවා. සභාව පිහිටවූදා ඉඳලා මම කාටවත් හිංසාවක් කරලා නෑ. පලිගැනීමට ලක්කරලත් නෑ. සාධාරණ මැතිවරණයකුත් තිබ්බා. එහෙම තියෙද්දී ජනාධිපතිවරයාගේ බලතල පාවිච්චි කරමින් එතුමාගේ නම විකුණමින් තර්ජනය කිරීම වැරදියි. 19 වැනිදා උදේ මාතලේ ඔරලෝසු කණුව ළඟදී තමයි මේ සිදුවීම වුණේ. රෝහණ දිසානායක කියන්නේ ආණ්ඩුකාරතුමාට කියලා මාව තනතුරෙන් නෙරපනවා කියලයි. මම ආණ්ඩුකාරවරු පස් දෙනෙක් එක්ක වැඩකරලා තියෙනවා. මාතලේ ආසනයේ එජාපය ජයග්‍රහණය කරපු එක ගැන රෝහණ දිසානායක හිටපු මන්ත්‍රී විදිහට ලැජ්ජා ඇති. ඒ නිසා මෙහෙම බලපෑම් කරනවා ඇති. මේක දේශපාලන පළිගැනීමක් විදිහටයි මම දකින්නේ.”

අපි තර්ජනය කළේ නෑ: කරපු වැරදි කිව්වා
රෝහණ දිසානායක - හිටපු නියෝජ්‍ය අමාත්‍ය

මම තර්ජනයක් කරලා දෙයක් කියලම නෑ. හැබැයි එයාගෙ වැරදි දූෂණ චෝදනා ගැන මම කියලා තියෙනවා. තර්ජනය කරන්නේ මොකටද වැරදි ටික කීවම ඇතිනේ. ඒක තර්ජනයක් වෙන්න බෑනේ. චෝදනා තියෙනවා නම් ඒවාට නිවැරුදිකරැ වීම ඔහු සතුයි. අපේ චෝදනා ඔහුගේ දේශපාලන ගමනට ගැටලුවක් ඇති. කව්ද කළේ? කොතැනදිද මොනවද කීවේ? එහෙම කියන්න ඕනනේ. නිකම් පොලීසියට පැමිණිලි කරලා බෑනේ. තමන්ට එල්ලවන චෝදනා වෙනත් ක්‍රමයකින් බැහැර කිරීමක් තමයි මේ කරලා තියෙන්නේ. නගරයේ ගස් කැපීම, විදුලි බුබුළු වලින් වංචා කිරීම සහ නිල රථය කුලියට යොදවා මුදල් ඉපයීම වගේ චෝදනා මම ප්‍රසිද්ධියේ කියලා තියෙනවා.

නගරයේ ගස් කැපුවා: එයාගෙ ජීප් එක නගර සභාවට කුලියට දීමත් චෝදනාවක්
අමිල නිරෝෂන්
නාගරික මන්ත්‍රී - මාතලේ මහ නගර සභාව

අපි තර්ජනය කළේ නෑ. නමුත් ඔහුට චෝදනා කර තිබෙනවා. නගරයේ හොඳට තිබුණු ගස් කැපුවා. ඒවා කැපුවේ වෙනත් රැක් රෝපණයක් කරන බව පවසමින්. නමුත් එහෙම කළේ නෑ. ඔහුගේ මොන්ටේරෝ වර්ගයේ ජීප් රථය නගර සභාවට යොදවලා කුලී මුදල් ඉපයුවා. මාසෙකට රු.130,000ක විතර මුදලක් ගත්තා. මේවාට විරුද්ධව අපි කතා කළේ. වීථි ලාම්පු මිලට ගැනීමක් ගැන චෝදනා තියෙනවා. පුළුවන් නම් ඒවාට නිවැරදිකරු කියලා ඔප්පු කරන්න. මුදල් අවභාවිතය හා වංචා කිරීම කියන චෝදනා ඔහුට තියෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට රාජ්‍ය ආයතන පිළිබඳ ජනාධිපති කොමිසමට අපි පැමිණිලි කර තිබෙනවා. ඊට පෙර පළාත් පාලන කොමසාරිස්වරයාට පැමිණිලි කළා. එතුමාගේ වංචා වහගන්න දැන් තර්ජනය කිරීමක් ගැන කියනවා. මේවා ප්‍රසිද්ධ කාරණා. මහනගර සභාවේ 179 වගන්තිය යටතේ මොහු වැරදිකරුවෙක්. දැනටමත් තනතුරේ ඉන්න සුදුසු නෑ. නගර සභාවේ සල්ලි ලක්ෂ 25ක් එයාගේ ජීප් රථය වෙනුවෙන් අරගෙන තියෙනවා. ඔහු දරන තනතුර පිළිබඳ ගැටලුවක් තිබෙනවා.

විදුලි බුබුළුවලින් ගසා කෑ බවට චෝදනා තිබෙනවා
සන්දනම් ප්‍රකාශ්
නියෝජ්‍ය නගරාධිපති - මාතලේ මහ නගර සභාව

මම එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තුළින් තරග කරලයි නගර සභාවට පත්වූයේ. මාත් සහය දුන්නා ඩල්ජිත් අළුවිහාරේ මහත්තයාට නගරාධිපති වෙන්න. 2006 වසරේ හිටපු කෙනා නෙවේ දැන් ඉන්නේ. සම්පූර්ණයෙන්ම වෙනස් වූ කෙනෙක්. දැන් එයාගේ පරමාර්ථය තියෙන්නේ මුදල් ඉපයීම පමණයි. නාගරික මන්ත්‍රීවරු යෝජනා කළා නගරය හා අවට අඳුරු ස්ථානවලට බල්බ් 1000ක් විතර දාමු කියලා. ඒකට ටෙන්ඩරයක් කැඳවූවා. නමුත් තාක්ෂණික කමිටු ඇගයීම නොදුන් ටෙන්ඩර්කරුවකුගෙන් මොහු බල්බ් මිලදී ගත්තා. ඔහුට හිතවත් ආයතනයකින් වැඩි මුදලකටයි විදුලි බුබුළු ලබාගෙන තිබුණෙ.

අපි ගණන් බැලුවම නගර සභාවට ලක්ෂ 35ක් විතර එතනින් පාඩුයි. මේ ගනුදෙනුව වංචාවක් බව විගණන වාර්තාවෙන් එළිවෙලා තියෙනවා. මේ සිදුවීම නිසා අපි අතර විරසකයක් ඇතිවුණා. ඊටපසුව ඔහුගේ මොන්ටේරෝ ජීප් රථය නගර සභාවට යොදවලා ලක්ෂ ගණනින් මුදල් ගත්තා. ඊට කළින් මොහුට හිතවත් ගරාජ් එකකින් නගර සභාවේ වාහනය ධාවනයට නුසුදුසු බවට අසත්‍ය වාර්තාවක් යොමුකර තිබුණා.

මේ වංචාව දැනගත්තාම හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාට කිව්වා. ඒත් විසඳුමක් ලැබුණෙ නෑ. ඊට පසුව අල්ලස් කොමිසමට සහ වංචා දූෂණ සොයන ජනාධිපති කොමිසමට පැමිණිලි කළා. මෙයාගේ මොන්ටේරෝ එකට මුල් මාස තුනට රු.120,000 ගානේ සහ ඉන්පසුව රැ.130,000 බැගින් ලබාගෙන තිබෙනවා. මෙහෙම වසරකට වැඩි කාලයක් කරලා තියෙනවා. ඒ වගේම නගරයේ වෙළඳසල් කිහිපයක් නගර සභාව සතුව තියෙනවා. ඒවා හිතවතුන්ට ලබාදීලා තියෙනවා. ඒවා නීතියට පටහැනිව කරපුවා. මේ වගේ වංචා චෝදනා 10කට වැඩියි. ඔහුගේ දූෂණ වැඩවලට විරුද්ධ වෙන කිසිම මන්ත්‍රී කෙනෙක්ට වැඩක් කරන්න දෙන්නේ නෑ. අපි ගෝඨාභය ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. මේ වගේ දූෂිත පිරිස් ඉවත් කරලා යහපත් විදිහට පාලනය ගෙනයන්න අවස්ථාව හදලා දෙන්න කියලා.

 සමන්ත ප්‍රදීප් විල්තෙර