2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

මව්පිය සත්කාරයට කැප වූ භික්ෂුවක්

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 60

දෙව්රම් වෙහෙරේ එක් හිමිනමකගේ මව්පියන් මහලු වී දුකසේ ජීවත් වුණා. ඒ මව්පියන්ට උන්න එකම පුතාත් මේ හිමිනම පමණයි. මව්පිය අසරණ වීම ගැන ඒ හිමියෝ දුක් වුණා. උන්වහන්සේ පිඬුසිඟා ගෙනගොස් මව්පියන් සමඟ වැළඳුවා. අඩුවෙන් පිඬු ලැබුණු දාට පිඬු මවට දී නිරාහාරව උන්නා.

පිඬු සිඟාවිත් මව්පිය සත්කාර කිරීම අනෙක් භික්ෂූන් දැනගත්තා. එය වැරැද්දක් ලෙස සිතුවා. බුදු රජාණන්වහන්සේට ගොස් ඒ ගැන පැමිණිලි කළා. බුදුන් එම හිමිනම කැඳෙව්වා. මහණ! ඔබ පිඬුසිඟා මව්පිය පෝෂණය කරනවාද? බුදුන් වහන්සේ විමසුවා. 

එසේය! ස්වාමීනී! මගේ මව්පිය මහලුයි. දුබලයි. මා එසේ නොකළහොත් ඔවුන් නිරාහාරව මිය යනවා.

බොහොම හොඳයි.. බොහොම හොඳයි.. ඔබ මගේ ධර්මයට අනුකූලයි. මහණෙනි මේ භික්ෂුව පෙර කලත් හොඳින් මව්පියන්ට උවැටන් කළා. යැයි බුදුරජාණන්වහන්සේ වදාළා.

ස්වාමීනී! අපටත් දැනගන්න එය වදාළ මැනැවියැයි ඒ භික්ෂූන් ඉල්ලා සිටියා.

බුදු රජාණන්වහන්සේ එවිට මෙම කතාව ගෙන හැර පෑවා.

• රජතුමා මුව දඩයමේ

යටගිය දවස සාකේත නුවර රජකම් කළ කොසොල් රජ කෙනෙක් මුව මස් නිතර කෑමට පුරුදු වී උන්නා. එකල එනුවරට ටිකක් දුරින් වනපෙතක් තිබුණා. එහි මුව රංචුවක් උන්නා. උන්ගේ නායකයා නන්දීය නමින් හැඳින් වූවා. මේ මුව නායකයාගේ මව්පියන් මහලුයි. ඒ දෙන්නා බලාකියා ගත්තේ නන්දීය මුවා. එසේම ඌ මුව රංචුවත් හොඳින් බලාගත්තා.

මේ අතර රජතුමා මුව දඩයම් කරන්න වෙන් කරගත් වනයක් තිබුණා. එය හැඳින් වූයේ අංජන වනය ලෙසට. කාලයක් තිස්සේ දඩයම් කළ නිසා ඒ වනයේ මුවන් වඳවී ගියා. ඒ නිසා රජතුමාටත් මස් හිඟයක් වුණා. ඉන් මේ කෝසල රජතුමා අපසුතාවයට පත්වුණා. එතුමා රට වැසියන්ට කිව්වා වෙන කැලෑවකින් මුවන් රංචුවක් කොටුකර ගෙන අංජන වනයට අරන් එන්න. රාජ නියෝගයක් නිසා ඒ වැසියෝ කැලෑ පීරන්න වුණා. මුව රංචු සෙව්වා.

එක් මිනිස් කණ්ඩායමකට නන්දීය මුව රජ ඉන්න මුව රංචුව හමුවුණා. ඒ කණ්ඩායම මුව රංචුව පන්නාගෙන අංජන වනයට ගෙන ආවා. ඒ වනය වටේ මුවන්ට ආපසු යන්න බැරි ලෙසට රැකවල් දැම්මා. රජතුමාට ඒ බව කිව්වා.
රජතුමා සතුටට පත් වුණා. ඔවුන්ට තෑගි දුන්නා.

නන්දීය මුව රජ මේ රංචුවට කොටු වුණාට උගේ මව්පියන් කොටුවුණේ නෑ. ඒ මහලු මුව යුවළ ආරක්ෂිත ස්ථානයක උන්නා. එහෙත් ඔවුන්ට කෑම හිඟ වුණා. ඒ ඔවුන් කෑම සොයා නොගිය හින්දා. එතෙක් ඔවුන්ට කෑම ළඟට ගෙනත් දුන්නේ නන්දීය පුතා නිසා

• මුව රජුගේ ශෝකය

මේ අතර නන්දීය මුව රජ මව්පියන් මතක් වී සංවේගයට පත්වුණා. මව්පිය මේ වනවිට නිරාහාරව ඇති. දුබල නිසා කෑම සොයාගෙන යන්නත් බෑ යැයි සිතා දුක්වුණා.

ඒ දෙන්නා උන් වනය අසලින් තමයි සාකේත නුවරට යන පාර තිබුණේ. මහලු මුව යුවළ බැරි බැරි ගාතේ පාර අයිනට ආවා. අංජන වනය ඇති සාකේත නුවර ඇති දෙස බලා උන්නා.

ඒ පාරේ යන්න බමුණෙක් ආවා.

මහලු මුවන් දෙන්නා බමුණාට කථා කළා. 

බමුණා නතර වුණා.

ඔබතුමා කොහේද යන්නේ උන් ඇසුවා.

මම සාකේත නුවරට යනවා බමුණා කිව්වා.

අනේ උතුමාණෙනි! අපේ පුතා ඉන්නේ සාකේත නුවර අංජන වනයේ. එයාට කියන්න ඉක්මනට මෙහේ එන්න කියා. අපි මඟ බලා ඉන්නවාත් කියන්න. උතුමාණෙනි ඔබට පින් සිද්ධ වෙනවා. කියා උන් අයැද සිටියා.

බමුණාට මහලු මුවන් ගැන දුක් හිතුණා. ඔබ දෙන්නා කලබල වෙන්න එපා. මම නන්දීය මුව රජු සොයාගෙන විස්තරය කියනවා. එතකොට ඔබ පුතා ඔබ සොයා එයි කිව්වා. බමුණා එතැනින් පිටත්වෙලා ආවා. අංජන වනයට ගියා. නන්දීය මුව රජ හමුවුණා. මව සහ පියා ඔබ එනතුරු මඟ බලා ඉන්නවා. මේ වනයෙන් පැන ඉක්මනට යන්න කිව්වා.

• සතුන් මැරීම මහ අපරාධයක්

මුව රජ කල්පනා කරන්න වුණා. රජතුමා සතු වනයේ තණ කා පැන් බිබී මෙතෙක් කල් උන්නා. ඒ නිසා පැනලා යන්න හොඳ නෑ. එතුමාට කියලා යන්න ඕනෑයි තීරණය කළා. රජතුමා මුව දඩයමට එනතුරු බලා උන්නා.
කෝසල රජතුමා දුනු හී ගෙන වනයට ආවා. 

නන්දීය මුවා රජතුමා ඉදිරියට ගියා.

වෙන මුවන් මා දකින විට කැලය බිඳගෙන දුවනවා. මේ මුවා මා ඉදිරියට එනවා. රජතුමා පුදුම වුණා. නන්දීය මුවා රජතුමාට තවත් ළං වුණා. රජතුමා දුනු හී අතට ගත්තා. බියෙන් වගේ බලා උන්නා. රජතුමනි! මට විදින්න මුවා කිව්වා. රජතුමා උගේ ශරීරයෙන් පිටවෙන තේජස දුටුවා. බියට දුනු හී ගෙන විදින්න හැදුවා. බැරිව ගියා. රජතුමනි ඇයි මට විදින්නේ නැත්තේ. මම ඔබට වෛර කරන්නේ නෑ. විදින්න.

මගේ දුනු හීසර යන්නෙ නෑ. තොපගේ රූපයට හීසර බිය වෙලා. මම තොපට අභය දානය දෙනවා.

එපා රජතුමනි! මට පමණක් අභය දානය එපා. 

තොප එය නොපිළිගත්තත් මට තොප මරන්න බෑ. ඒක මහ අපරාධයක්.

රජතුමනි! කුහුඹුවෙක් පවා මැරීම අපරාධයක්. මට අභය දානය දෙනවා නම් සියලුම සතුන්ට අභය දානය දෙන්න. ඔවුන් සියල්ලෝම ජීවත් වෙන්න කැමතියි. රජතුමනි හිතන්න. සත්ත්ව හිංසාව කොපමණ නපුරුද කියා. 
රජතුමා කල්පනා කරන්න වුණා. දුනු හී පැත්තකට විසි කළා. මම සියලු සතුන්ට අභය දානය දෙනවා. කිව්වා.

බොහොම හොඳයි.. ඔබතුමා යහපත් රජකෙනකු වෙන්න උත්සහ ගන්න, දන් දෙන්න, සිල් රකින්න, අවංකවන්න, මෘදු වන්න, ක්‍රෝධ නොකරන්න, හිංසා පීඩා නොකරන්න, ඉවසීම පුරුදු වන්න, ශාන්තිය පතුරන්න. කොටින්ම දස රාජධර්මයට විරුද්ධ නොවන්න. යනුවෙන් කිව්වා. බණ කිව්වා. 

ඔබ කියන දේ මම පිළිගන්නවා. රජතුමා කිව්වා. මේ මුව රැළ උන්නු කැලෑවට යවන්න රාජ පුරුෂයන්ට අණ දුන්නා. ඒ මුව රුළ සමඟ නන්දීය මුවත් ගියා. පෙර පරිදි මව්පියන් බලා ගත්තා. 
ඒ මුව රජතුමායි මේ භික්ෂුව බුදුන් වදාළා.

බී.පී.කේ. තිලක
නන්දීය මෘග ජාතකය ඇසුරින්