2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා

ඉත්තෑ මසට දිවි දුන් දෙදරු පියා

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 352

ඉත්තෑවකු අල්ලාගැනීම සඳහා ගුලකට රිංගූ පුද්ගලයෙක් අඩි 15ක පමණ දුරින් එම ගුල තුළ සිරවී මියගොස් සිටියේය. ඔහුගේ සිරුර පැය ගණනාවකට පසුව මහත් පරිශ්‍රමයක් යොදා පොළොව හාරා ගොඩගෙන තිබිණි. මසට ගිජුවී පර පණ නසන්නට ගොස් දිට්ඨධම්මවේදනීය කර්මය පලදුන් බව අසන්නට ලැබුණු එකී සිදුවීම මෙසේය.

ගණේමුල්ල නැගෙනහිර, කොස්හින්න ප්‍රදේශයේ පදිංචි ගොඩනැගිලි ඉදිකිරීමේ ව්‍යාපාරයක හිමිකරුවෙකි. ඔහු යටතේ සේවයේ නියුතු පෙදරේරුවරු සහ අත්උදව්කරුවන් කිහිප දෙනෙකි. ඇතැම් අය ගණේමුල්ල අවට පදිංචිකරුවෝ වූ අතර තවත් පිරිසක් පිට පළාත්වල පදිංචිකරුවෝ වූහ. පැවැති ජනාධිපතිවරණය සඳහා ඡන්දය භාවිත කිරීමට නිවාඩු ලබා ගිය ඔවුන්ගෙන් තිදෙනෙක් පසුගිය 18 වැනිදා යළිත් පැමිණ සිටියහ.

ඉදිකිරීම් ව්‍යාපාරය හිමිකරු සිය සේවකයන්ට නවාතැන් ගැනීම සඳහා පහසුකම් සපයා තිබිණි. එහි නතර වී සිටි තිදෙනා අතර අජිත්, වසන්ත හා බිබිලේ අයියා යන අය වූහ. ඡන්දයෙන් පසුව සේවයට පැමිණි තිදෙනා සවස් යාමයේ නගරයට ගොස් මත්පැනින් සප්පායම් වී නවාතැනට පැමිණියේ තරමක් රෑ බෝ වූවායින් පසුවය. තරමක් ලොකු ඉඩමක පිහිටි ව්‍යාපාරිකයාගේ වත්ත කෙළවර මාර්ගය හරහා ගිය ඉත්තෑවකු මොවුන් දැක ඇතැයි කියති. නිරන්තරවම එම ඉඩම ආශ්‍රිතව ඉත්තෑවන් ගැවසෙන බවත් වත්ත පහළ පඳුර සහිත බිම්කඩක ඇති ගුල්වල ඔවුන් ලඟින බවත් මේ පිරිස දැන සිට ඇතැයි ද කියති.

රහමෙර පානයෙන් තරමකට පදම් වී පැමිණි මිතුරන් තිදෙනා ඉත්තෑවා දුටු මොහොතේ පටන් කතා කළේ ඉත්තෑ මස්වල රස ගුණ පිළිබඳවය. මතක් කරන විටත් කටට කෙළ උනන අජිත්ට ඉත්තෑවාගේ මස් රස බැලීමට වුවමනා විය. කළුවරේම නවාතැනට ආ සැණින් ඔහු යෝජනා කළේ වහාම ඉත්තෑවා ඇල්ලීම සඳහා යා යුතු බවය. වසන්ත නැමැති මිතුරා ඊට එකහෙළාම විරුද්ධ වුවද අජිත්ගේ දැඩි ඉල්ලීමට පිටුනොපෑ බිබිලේ අයියා නැමැත්තා අජිත් කැටුව ගොස් තිබුණි.

නවාතැනෙන් පිටව ගිය දෙදෙනාට විදුලි පන්දමක් නොතිබිණි. එබැවින් වසන්තගේ ජංගම දුරකතනය අජිත් ඉල්ලාගෙන ගොස් තිබුණේ විදුලි පන්දම දල්වා ගැනීමටය. ඒ සමඟම යකඩ ඉන්නක් සහ තියුණු පිහියක් ද අජිත් රැගෙන ගොස් තිබිණ.

වත්ත පහළ කැලෑව සහිත ප්‍රදේශයේ ඉත්තෑවන් සිටින බව කියන ගුල දෙසට ගිය දෙදෙනා සතා ගැන විපරම් කරමින් සිටියදී අජිත් යකඩ ඉන්න සහ ජංගම දුරකතනයේ විදුලි පන්දම දල්වාගෙන ගුල ඇතුළට රිංගා ගොස් තිබුණි. සෑහෙන වෙලාවක් ගත වුවද අජිත් යළි එළියට විත් නොමැත. එළියේ සිට බලා උන් බිබිලේ අයියාට තවත් එතැන රැඳී සිටීම හිසරදයක්ව තිබිණ. ඔහු සෙමින් සෙමින් නවාතැනට පැමිණියේ ඉන් අනතුරුවය.

එසේ එන විට වසන්ත නින්දේ පසුවිය. තව මොහොතක් බලා සිටිය ද අජිත් නැවත එන පාටක් නොවීය. තමාට නොපෙනී අජිත් වෙනත් කොහේ හෝ යන්නට ඇතැයි බිබිලේ අයියාට සමහරවිට සිතන්නට ඇත. නොඑසේ නම් ගුලට රිංගූ පසු අජිත්ට අනතුරක් වූ බව බිබිලේ අයියාට හැඟෙන්නට ඇත.

පසුදා උදේ අවදි වූ වසන්තට අජිත් හෝ බිබිලේ අයියා පෙනෙන්නට නොවීය. පෙරදා රාත්‍රියේ රැගෙන ගිය ජංගම දුරකතනය ද නොමැත. ඉත්තෑවා මැරීම සඳහා සඳහා ගෙන ගිය යකඩ ඉන්න හෝ පිහිය ද නොවීය. දෙගිඩියාවෙන් පසු වූ වසන්ත නවාතැනට මීටර් 100 ක් පමණ දුරින් පිහිටි ඉත්තෑ ගුල දෙසට ගොස් සෝදිසි කරන්නට විය. මිතුරන් එතැනට ගිය බවට සලකුණු දක්නට වූ අතර පිහිය ගුල අසල තිබී හමු වී තිබිණි.

පසුව පස් කණ්ඩියේ තිබූ ගුල දෙසට ගිය වසන්ත එය පරීක්ෂා කළේය. එහිදී ඔහු ගුල ඇතුළෙන් විදුලි පන්දමක එළියක් දැක තිබිණි. වහාම සිදුවීම සිය හාම්පුතා වෙත දන්වා අවශ්‍ය පියවර ගැනීමට ක්‍රියාත්මක විය. අඩි 15 – 20 පමණ ඈතට වන්නට ගුලේ වූ ආලෝකය නිසා වසන්ත විශ්වාස කර ඇත්තේ අජිත් නැමැත්තා බීමතින් සිටියදී ගුල තුළදී අනතුරකට ලක්වන්නට ඇති බවය. අනතුරුව ප්‍රදේශවාසීන් හා එක්ව සිදුවීම ගණේමුල්ල පොලීසියට දන්වා බැකෝ යන්ත්‍රයක් ගෙන්වා ගුල කපා දමා අජිත් සොයන්නට මොවුන් පියවර ගෙන තිබිණි. මේ අතර ගම්පහ නගර සභාවේ ගිනි නිවන රථය හා එම නිලධාරීන්ගේ සහාය ලබාගැනීමට ද පියවර ගැනිණ.

අවසානයේ පිටතට ගැනුණේ මියගොස් සිටි අජිත්ගේ මළ සිරුරය. ඔහු පදවිය ජනකපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් විය. විවාහයෙන් පසුව කඩවත ප්‍රදේශයේ පදිංචියට පැමිණි 32 හැවිරිදි මොහු දෙදරු පියෙකි. ඉත්තෑවන්, ඌරන්, තලගොයින් මරා මස් ආහාරයට ගැනීමට ප්‍රියකළ අජිත් සිය බිරිඳට පවා පහර දෙමින් ගත කර තිබුණේ යහපත් ජීවිතයක් නොවන බව තතු දත්තෝ පවසති.

සිදුවීමට සම්බන්ධ අනෙක් තැනැත්තා වන බිබිලේ අයියා මැදිවියේ අහිංසක පෙදරේරුවෙකි. ඔහු සිදුවීමෙන් බියට පත්ව ප්‍රදේශයෙන් පලා ගොසිනි. සිද්ධිය සම්බන්ධයෙන් ගණේමුල්ල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.එම්. දේවප්‍රිය මහතාගේ උපදෙස් මත සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.එම්.වයි. නාලක සහ පොලිස් සැරයන් 9838 චන්දන යන නිලධාරීහු වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරති.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00