2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා

අදට වඩා ඊයේ හොඳ වේවැල් කර්මාන්තය

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 1527

වේවැල් කෝටු නාරං සියඹලා          අතු
කිතුල් පොල් ඉරටු වැල් කසඹිලිය    අතු
මේ හැම ඉපල් මගෙ දෑතට නොපෑ    යුතු
පමා නොවී එමි අකුරට මෙයින්        මතූ

වේවැල් කතාව වියා තැබීමට සිතුණු පළමුවිටම අප සිත නැගුණේ පෙර කවි පදයයි.

තම්බෝට්ටේ රස පහස ලබා වේවැලට බිය වූ ඒ යුගයේ වේවැල්කම් පිළිබඳ මෙවන් කතාවක් වෙතැයි අප දැන සිටියේ නැත. සොබාදහමේ අපූරු නිමැයුමක් වූ වේවැලට මෙසිරිලක සංස්කෘතියේ ඇත්තේ ප්‍රවේණිගත අයිතියකි. අප එය දැන කියාගත්තේ පසුකලකය. ඉතිහාසගත කර්මාන්තවල අතීත වගතුග සෙවීමේදී මේ කතාව ද ලියා තැබීමට නේක වර අපට සිත්විය. එහෙත් අප පරපුරට ස්පර්ශ නොවන ඉසව්වක මේ කතාව වූයෙන් වැඩිමනක් කරැණු කාරණා දැන කියා ගැනීමේ රිසියෙන් අපි මේ ලියමන පමා කළෙමු.

නවා වියා හැඩවෙන විචිත්‍රවත් වේවැල් කලාවේ ඉතිහාස සොයාගිය අපට දේවානම්පියතිස්ස රජ දවස තරම් දුරාතීතයට යාත්‍රා කිරීමට සිදුවිය. මහාවංශයට අනුව මහා බෝධිය මෙකලට වැඩමවා වදාළ සංඝමිත්තා තෙරණිය පසුපසින් දහඅට ශ්‍රේණිය ජනයා ලක්දිවට සංක්‍රමණය වූවෝය. ඔවුන් අතරේ වූ ‘කුළු පොත්තන්’ ලෙසින් නාමකරණය වී ඇත්තේ වේවැල් කර්මාන්තයේ නියුතු වූ පිරිසයි. සිංහල රජ දවස රජුන්ගේ සහ ප්‍රභූන්ගේ අවශ්‍යතා සරිකරලීම ඔවුන්ගේ රාජකාරි වන්නට ඇතැයි කියැවේ. කෙසේ නමුත් සෙසු ජනී ජනයාගේ දෛනික අවශ්‍යතාවන්ට අනුව නිවසට ගොවිතැනට අවැසි උපකරණ ඔවුන් විසින් නිර්මාණය කළ බව කියැවේ. කාලයාගේ ඇවෑමෙන් දිවයිනේ නන්දෙස පැතිර ගිය මෙම පරපුර සහ ශිල්පය බටහිරයන් මෙරටට පැමිණෙන විටද සුප්‍රකටව පැමින තිබේ.

රොබට් නොක්ස් සිය සටහන් අතර “බෙරවායන් ළඟට එන්නේ කුළු පොත්තෝය” යනුවෙන් ලියා ඔවුන්ගේ කර්මාන්තය පිළිබඳ කෙටි විස්තරයක්ද කර තිබේ. ඒ අනුව දහ හත්වැනි සියවසේදී ද වේවැල් කර්මාන්තය ප්‍රබලව පැවැති බවත් රාජ අනුග්‍රහය ලබන්නට ඇති බවත් අපට උපකල්පනය කළ හැකිය. එසේම පෙරහර සම්ප්‍රදායේ වේවැල් නැටුම ද මෙහිදී අපට සිහියට නැගෙයි. මූලාශ්‍ර සහිත ඉතිහාසයේ කතාව මෙසේ ගලායන අතර වේවැල් මෙරට ආදිතම ජනයාගේ ජීවන සමඟ බැඳී ඇතියි සිතිය හැකි කතාවක්ද අපට අසන්නට ලැබුණි. ආදිවාසී වැදි ජනතාව දුර අතීතයේ සිටම බඹර කැපීමේදී ඉනිමං ලෙස භාවිතයට ගන්නේ වේවැල් වර්ගයයි. ඒ අනුව බලන විට වේවැල්වල සුවිශේෂී බව හඳුනාගත් ආදිතමයන් ඔවුන් බව අපට සිතිය හැකිය.

අප වේවැල් කර්මාන්තයේ ඉතිහාසය සොයාගිය ගමනේ ඉහත සාක්ෂි සාධකවලට පරිබාහිර වෙනස්ම මතයක්ද අපට විටෙක දැනගන්නට ලැබුණි. මෙරට වේවැල් කර්මාන්තය මැලේ ජනයා මූලික කොටගෙන බිහිවූවාය යන්න එම මතයයි. කෙසේ නමුත් ඒ පිළිබඳ ඉතිහාස කතාව ගොනුකර ගතහැකි මූලාශ්‍ර අපට හමු නොවීය. එහෙත් මැලේසියාව, ඉන්දුනීසියාව වැනි රටවලටද වේවැල් කර්මාන්තය සම්බන්ධ දීර්ඝ ඉතිහාසයක් ඇති බව කිව යුතුය. අද වනවිට සිරිලක වේවැල් කර්මාන්තය රුඳී ඇත්තේ මැලේසියාවෙන් ආනයනය කරන වේවැල් මතයි කීවොත් ඔබ පුදුම විය යුතු නැත. කෙසේ නමුත් එය වෙනම විමසා බැලිය යුතු කතාවකි.

වේවැල් කර්මාන්තයේ මෑත ඉතිහාස පිළිබඳ සැලකීමේදී හැට සහ හැත්තෑව දශක ඉතා වැදගත් බව පෙනී යයි. වේවැල් කර්මාන්තයේ නියුතු වූ පැරුන්නන්ට අනුව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ වේවැල් කර්මාන්තය දියුණු කිරීම වෙනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක වී තිබේ. බිඳවැටී තිබූ කර්මාන්තයේ නැවත නැගී සිටීමට එය හේතුවූ බව කියැවේ. දිවයිනේ ස්ථාන කිහිපයකට සීමා වී තිබුණු කර්මාන්තය පුරුදු පුහුණු කිරීමට මේ වකවානුවේ වූ ජාතික ශිල්ප සභාව බඳු ආයතන කටයුතු කර තිබේ. ප්ලාස්ටික් සහ වෙනත් විකල්ප නිෂ්පාදනයන්ට ප්‍රමුඛතාවක් නොතිබූ මෙම යුගයේ වේවැල් ආශ්‍රිත නිෂ්පාදනය මහජනයාගේ දෛනික අවශ්‍යතාවන් අතර විය. නමුත් එය කාලයත් සමඟින් වෙනස් වන්නට පටන්ගත් අතර අද වනවිට වේවැල් ආශ්‍රිතව නිෂ්පාදනය අතර ප්‍රමුඛතාව අලංකාර සඳහා වන විචිත්‍ර නිර්මාණයවලට ලැබී ඇත.

වේවැල් කැපීම විවීම සම්බන්ධ උප සංස්කෘතියක්ද අතීතයේ පැවතී තිබේ. මෙම කර්මාන්තය පැවති ප්‍රදේශවල ගම්බද වනමං ඔස්සේ වනවැදී වේවැල් කැපීම අපූරැ කටයුත්තක්ව තිබේ. සතා සීපාවා සමඟ ඔට්ටු වෙමින් වනවැදී වේවැල් කැපූ හැටි ගැන කියැවෙන ඒ කතාවල අද ඉතිරිව ඇත්තේ ශේෂයන් පමණි. කොටින්ම ඒ වනාන්තර බොහොමයක්ද අද අතුරුදන් වී ගොසිනි. වේවැල් කැලෑවක් සොයා ගැනීම පහසු නැත. එසේ තිබුණ ද පර්මීට් නැතිව හිතුමනාපයට වේවැල් කැපීමට අද බැරිය. එමනිසාම තවදුරටත් මෙරට දේශීය වේවැල්වලින් බිහිවන නිර්මාණයන් ඇත්තේ අතලොස්සක් පමණි.

වේවැල් යනුවෙන් අප පොදුවේ හැඳින්වුවද මෙරට වේවැල් වර්ග විශාල ප්‍රමාණයක් ඇති බව සිහිකළ යුතුය. සුදු වේවැල්, කම්බෝටු වේවැල්, හීන් වේවැල්, මා වේවැල්, නර වේවැල්, කැකුළු වේවැල්, එළ වේවැල්, තුඩරැල් ඉන් වර්ග කිහිපයක් පමණි. එහෙත් අද මේවා එදා මෙන් සුලභව දක්නට නොලැබේ.

මේ වේවැල් වර්ගද භාවිතයට ගෙන ඇත්තේ එකිනෙකට වෙනස් කටයුතු වෙනුවෙනි. පුටු සැකසීම වෙනුවෙන් බහුල භාවිත වන්නේ මාවැලයි. ගෙඩි වැල නමින් හැඳින්වූ හීනි වැල් විවීම් කටයුතු වෙනුවෙන් භාවිත වෙයි. අතීතයේ අනෙක් වේවැල් වර්ගද විවිධ කටයුතු වෙනුවෙන් භාවිතයට ගෙන තිබේ. පොදුවේ වේවැල් නිෂ්පාදනවල කල්පැවැත්ම තීරණය වෙන්නේ වැලෙහි සවි ශක්තිය අනුවය. මෝරපු වේවැල් භාවිත කොට කරන නිෂ්පාදන අවුරැදු පහළොවක් විස්සක් කල් පවතින බවද එසේම ළපටි වැල් වලින් කරන නිෂ්පාදන වැඩි කාලයක් නොපවතින බවද කර්මාන්තයේ නියුතු පැරුන්නෝ කියති.

අද බොහෝවිට ආනයනික වේවැල් කර්මාන්තයේදී භාවිත වුවද එදා වනවැදී නෙළාගත් වේවැල් නිර්මාණ කාර්යයට යොදාගත් ආකාරය අපූරුය. එදා ගම්දොරින් වනවැදුණු වැඩිහිටි පිරිමින් රැගෙන එන වේවැල් අමුය. ඒවා භාවිතයට ගැනීම වෙනුවෙන් ඔවුන් පිළිවෙළින් කටයුතු කිහිපයක් සපුරයි. පළමු කාර්යය වේවැල්වලින් ජලය ඉවත්කර ගැනීමයි. වේවැල් නැවුන් දෙන්නට පටන් ගන්නේ ජලය ඉවත් කිරීමෙන් අනතුරුවයි. ඒ අනුව ජලය ඉවත් කිරීමට කපාගත් වේවැල් කෙලින් කර තබයි. පසුව පොළොවේ තිරස් අතට සතියක පමණ කාලයක් තැබිය යුතුවේ. මින් අනතුරව එළඹෙන්නේ වේවැල් නැවීමේ කාර්යයයි. එදා ඊට පැරැන්නන් අපූරු ක්‍රමයක් භාවිතා කර තිබේ. ඔවුන් පළමුව වේවැල් කැබැල්ලක් ගෙන භූමිතෙල් පන්දමක් සාදා ගනී. පසුව එම පන්දමේ දැල්ල උපයෝගී කොටගෙන පාරම්පරික ශිල්පය අනුව වේවැල් නැවීම සිදුකරයි. එදා මේ කටයුත්ත හීන් සීරුවේ සිදුකරනු ලැබූ සුවිශේෂී කාර්යයකි. පසුකාලීනව භූමිතෙල් දමා හුළං ගැසූ බෝ ලෑම්ප් මේ සඳහා භාවිතයට පැමිණ ඇත. කෙසේ වෙතත් අද වනවිට වේවැල් නැවීම වෙනුවෙන් භාවිතා වන්නේ ගෑස් ටෝච් නම් උපකරණයකි. කොතරම් දේ අලුත් වුවත් වේවැල් එකින් එක අමුණා කරන විවීමේ කටයුත්ත එදා මෙන්ම අදත් පාරම්පරික ඥාණ ගුරැකොට ගත්තකි.

වේවැල් කතාවේ අතීතය සහ වර්තමානය සසඳා අවසානයේ අප යමක් සටහන් කළ යුතුය. වර්තමාන කතාව අතීතය එතරම් සොඳුරැ නැත. එහි ගැටලු සහ කර්මාන්තකරුවාගේ අනේකවිධ දුක්ඛ දෝමනස්සයන් පිළිබඳ ලිවිය යුතු වෙනම සටහනකි. දේශීය වේවැල් කැපීමේ සහ ප්‍රවාහනයේ ගැටලු අතිමහත්ය. වනාන්තර විනාශය තවත් පසෙකිනි. දේශීය වශයෙන් තිරසාර වැඩපිළිවෙළක් කර්මාන්තයට අවශ්‍යව තිබේ. වේවැල් ආනයනයේදී අතරමැදියා නිසා තැලෙන පොඩිවෙන කර්මාන්තකරැවාගේ කතාව අමතක කරන්නට බැරිය. එසේම අනාගත වෙනුවෙන් කර්මාන්තය සුරකින්නට පිරිස් නොමැතිවීම මෙහි ඇති දැවැන්තම ගැටලුවකි. ඉදින් වේවැල් කතාවේ අනාගතයක් පිළිබඳ අවසානයේ අපට මැවෙන්නේ යහපත් චිත්‍රයක් නොවන බව කිව යුතුය.

එහෙත් මුළු ලෝකයම ස්වභාවික අමුද්‍රව්‍ය වෙත නැඹුරවෙමින් ඇති බවත් සංචාරකයන් වේවැල් නිෂ්පාදනයන්ට ඇළුම් කරන බවත් අපි අවසානයේ සටහන් කරමු. රකිනු අවැසි නම් රකින්නට උපයනු අවැසි නම් ජාතික ධනය උපදවන්නට මෙම කර්මාන්තයට හැකි බව අපගේ විශ්වාසයයි. අවැසි තිරසාර විධිමත් වැඩපිළිවෙළක් පමණි.

මූලාශ්‍ර - කර්මාන්තය පිළිබඳ පරීක්ෂණ වාර්තා
I චමිඳු නිසල් ද සිල්වා
සේයාරූ I අන්තර්ජාලයෙන්