2019 නොවැම්බර් 21 වන බ්‍රහස්පතින්දා

ජයගන්නා කළ උපාය

 2019 නොවැම්බර් 21 වන බ්‍රහස්පතින්දා, ප.ව. 07:09 84

සැඳෑකල දෙව්රම් වෙහෙරේ ධර්මශාලාවේ භික්ෂූන්වහන්සේලා උපාසක උපාසිකාවන් රුස්ව උන්නා. ඒ එදා ධර්ම ප්‍රශ්න විසඳන, පහදාදෙන දිනයක් නිසයි. දේශකයන්වහන්සේලා වූයේ සැරියුත් මහ රහතන්වහන්සේ සහ මුගලන් මහ රහතන්වහන්සේයි. රහතන්වහන්සේලා වැඩම කළා. සියල්ලෝම ඉතා සන්සුන්ව ගෞරවයෙන් උන්වහන්සේලා පිළිගත්තා.

සැරියුත් මහරහතන් වහන්සේ ප්‍රශ්න අහන්න පටන් ගත්තා. ඊට පිළිතුරු දී මුගලන් මහ රහතන්වහන්සේ එය වැඩිදුරටත් විස්තර කර දුන්නා. පසුව මුගලන් මහ රහතන්වහන්සේ ප්‍රශ්නයක් ඇසුවා. සැරියුත් මහ රහතන්වහන්සේ පිළිතුරු දී විස්තර කළා. ඒ රැස්වූවන්ගේ ධර්ම ඥානය වර්ධන වන විලසට. එසේ මේ ධර්ම පැන විසඳුම දිගටම කරගෙන ගියා. සියල්ලන්ගෙම අවධානය ඊට යොමුවුණා.

රැස්ව උන් භික්ෂූන් අතර මහලු භික්ෂුවක් උන්නා. ඒ හිමියෝ රහතන්වහන්සේ දෙස බලා උන්නා. මේ සියල්ලෝම මේ රහතන්වහන්සේලා මහ නැණවතුන් ලෙස සලකනවා. ගෞරව කරනවා. මමත් මැද්දට ගොස් පැනයක් අහන්න ඕනෑ. එවිට මේ සියල්ලෝම මාත් ප්‍රාඥයෙක් කියා සිතයි. ගරු කරයි. සිතුවා. සබය මැදට ගියා. කාටවත් නොතේරෙන මොනවදෝ ඇසුවා. උත්තර දෙන්න කියා රහතන් වහන්සේලාට කිව්වා.

මහ රහතන්වහන්සේලා නිහඬ වුණා.

ඒ මහලු භික්ෂුව නොනවත්වා උමතු වෙන්වගේ කියාගෙන ගියා. මුළු සබයම විස්මයට පත්වුණා.

මේ වාචාලකම් පෙන්වන භික්ෂුව ඉදිරියේ අපි ප්‍රශ්න විචාරීම පල රහිතයි. රහතන්වහන්සේලා තීරණය කළා. නැගීසිටියා. ධර්මශාලාවෙන් පිටවී සිය කුටිවලට වැඩියා.

ප්‍රශ්න විචාරීම කඩාකපල් කිරීම ගැන රැස්ව සිටි අය කෝප වුණා. සමහරු සංවේගයට පත්වුණා. මහලු භික්ෂුවට දොස් කිව්වා.

ඒ භික්ෂුවද පසුබට වුණේ නෑ. ඔබ ඔහොම කථා කරන්න එපා. මම ප්‍රාඥයෙක්. මට ගරු කරපල්ලා කිව්වා. ඕනෑම ප්‍රශ්නයක් මගෙන් අහපල්ලාත් කිව්වා.

රැස්ව උන් අයගේ කෝපය ඉහවහා ගියා. පොලු මුරුගු ගත්තා. එවිට භික්ෂුව දුවන්න වුණා. ඈතට දුව ගිහින් උපාසකවරුන්ට බණින්න වුණා.

කෝප වූ ඔවුන් භික්ෂුව පස්සෙන් එළවන්න වුණා.

හොඳටම බිය වූ ඒ මහලු භික්ෂුව බැණ බැණ දිව්වා. පොලු මුගුරු ගත් උපාසකවරු නොනත්වා... එළෙව්වා.

භික්ෂුව පණ බයේ දුව ගොස් ගරා වැටුණු පැරැණි නාන ගේකට දිව්වා. සැඟවෙන්න හිතා කැඩීබිඳී ගිය වැසිකිළියකට රිංගුවා. ඉන් වුණේ භික්ෂුව වැසිකිළි වළට වැටීමයි. එයින් දඩිපඬි ගහලා ගොඩට ආවා. ඇඟ පුරාම අසූචි ගෑවිලා. බේරෙනවා. භික්ෂුව ඒ පිටින්ම එළියට ආවා. පස්සෙන් එළවා ආ පිරිස නතර වුණා. අසුචී ගඳ ඉවසන්න බැරිව ගියා.

භික්ෂුව වගට වගක් නැතිව උන්නා.

පිරිස පොලු මුගුරු විසිකළා. ආපසු ගියා. ඒ වනවිට රාත්‍රිය උදාවෙලා. ඔවුන් බුදුරජාණන් වහන්සේ වැඩවසන ගඳ කිළියට ගියා. බුදුන්වහන්සේ හමුවුණා. සිරිපාද වැඳ එකත්පස් වුණා.

ඔබ ඇයි මේ රාත්‍රියේ බුදුන් විචාළා.

සිදුවූ සියලු විස්තර උපාසකවරු කිව්වා.

ඔය භික්ෂුව මෙවර නොවේ පෙරත් අසුචි තවරා ගෙන උන්නා.

ස්වාමීනී! කවරදා දැයි අපට වදාළ මැනවි උපාසකවරු බුදුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. එවිට බුදුන්වහන්සේ මෙම කථාව වදාළා.

එක කලෙක හිමාල වනයේ එක් පැත්තක පස්පියුමෙන් සමන් විත සිසිල් දිය පිරි විලක් තිබුණා. එම විලේ එක පැත්තක තාපසාරාමයක්. එහි තාපසවරු සෑහෙන ප්‍රමාණයක් වාසය කළා. තවත් පැත්තක ඌරු රංචුවකගේ තිප්පොළක්. මේ මැද්දෙන් තිබුණේ වන සතුන් දිය බොන්න එන මංකඩක්. ඒ මංකඩෙන් දිය බොන්න කැලේ රජා සිංහයත් එනවා. ඒ සිංහයා සවිමත් නැණවත් එකෙක්. ඌ එනකොට අනෙක් සත්තු මඟහැර සැඟවෙනවා. 

ඒ ඌරු රංචුවේ උන්නා. ඇඟපත ආරා ගිය ඌරු නාම්බෙක්. ඌ උඩඟු මෝඩයෙක්. දවසක් මේ ඌරු නාම්බා විලට ගියා දිය බොන්න. ඒ වනවිට සිංහයා සතකුගේ මස් කා ඉවර වී දිය බොන්න ඇවිත්. ආපසු එමින් සිටියා. ඌරා එනවා දැක්කා. ඌ ආවෙත් අහංකාර ලීලාවෙන් මහ චණ්ඩියෙක් වගේ.

සිංහයා කල්පනා කරන්න වුණා. මේ ඌරා එන්නේ ඌට වඩා බලගතු කෙනෙකු නෑ වගෙයි. මූණට මූණ මුණගැසුණොත් මට ඌ මරන්න වෙනවා. දැන් මගේ බඩ පිරිලා. එතකොට මස් ටික නිරපරාදේ. මම දැන් ඌ මඟහැර යනවා. පස්සේ අල්ලගන්නවා යැයි සිතුවා. වෙන පැත්තකින් යන්න හැදුවා.

ඌරා සිංහයා මඟහැර යනවා දැක්කා. මේ මේ මොකද මඟහැරයන්නේ. බයේද? ඔබටත් සතර පයක් තියෙනවා. මටත් තියෙන්නේ සතර පයක් ඉතින් මට බයවෙන්න එපා ළඟට එන්න.

උගේ අහංකාර කථා විලාසයට සිංහයා කෝප වුණා. එහෙත් එය යටපත් කරගත්තා. මගේ කුස දැන් හොඳටම පිරිලා. නැත්නම් තොට මම හොඳ පාඩමක් උගන්වනවා. කමක් නෑ අදට මම යනවා සිංහයා කිව්වා. 

ඒවා කොහේද මාත් එක්ක. සටනට වුණත් මම පසුබට වෙන්නේ නෑ. කරලා බලමුද? ඌරා ඇසුවා.

හරි.. තොපට මාත් එක්ක සටන් කරන්න පුළුවන්ද?

ඇයි බැරි... මටත් හොඳට ශක්තිය තියෙනවා.

දැන් මම යා යුතුයි. අද සිටන් හත්වැනි දවසේ තොප මෙතැනට වර. සටන් කර බලමු කී සිංහයා යන්න ගියා.

ඌරා විලෙන් දිය බී ඌරු රංචුව වෙත ගියා. ඔන්න උඹලා බය වුණාට සිංහ රජාට මම හොඳට කියලා දුන්නා. සටනටත් අඬගැසුවා කිව්වා.

මහලු ඌරෙක් මොනවා උඹ කිව්වේ සටනට අඬගැසුවා. 

ඔව්. ඌරා කිව්වා.

ඇයි මෝඩයෝ තොපට පුළුවන්ද? සිංහරජ සමඟ හැප්පෙන්න. කවද්ද හැප්පෙන්නේ.

තව දවස් හතකින්.

අයියෝ තොගේ කෑලිවත් ඉතිරි වෙන්නේ නෑ. තොප විතරක් නොවේ අපිත් ඉවරයි. ඒ මහලු ඌරා කිව්වා. සිංහයන්ගේ හපන්කම් ගැනත් කිව්වා.

ඌරු නාම්බා බය වුණා. දැන් මම කුමක්ද කරන්නේ ඇසුවා. එවිට මහලු ඌරා එකවැඩයි කරන්න තියෙන්නේ. තොප සටනට යන දිනයේ තාපසවරුන්ගේ වැසිකිළි වළට බැහැලා හොඳට අසූචි ගාගෙන පල. එතකොට ඔය සිංහ රජතුමා තොප ළඟට එන්නේ නෑ. කිව්වා.

හත්වැනි දවසේ ඌරා අසූචි නාගෙන ගියා. සිංහයා ඒ වනවිටත් ඇවිත්. ඌරා එනවිට ගඳ ඉවසන්න බැරිව ගියා. මේ උපක්‍රමයක් බව දැනගත්තා. දැන් තොප මට අතින් අල්ලන්නත් බෑ. කටින් අල්ලන්නත් බෑ. පයින් අල්ලන්නත් බෑ. දැන් ජය. ඌ රංචුව වෙත ගියා. එතකොටත් ඒ රංචුව වෙන තැනක් සොයාගෙන ගිහින්. ඌරා උන් සොයාගියා. ඒ ඌරා තමයි ඔය භික්ෂුව බුදුන් වදාළා.

සූකර ජාතකය ඇසුරින්
බී.පී.කේ. තිලක

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00