2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා

ගමක් අතරමං කළ ගරා වැටෙන පාලම

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 64

සංවර්ධනය යනු හුදෙක්ම වැඩිදියුණු වීමයි. මානව සංවර්ධනය මෙන්ම භෞතික සංවර්ධනය ද ඒ තුළින් නිරූපණය වේ. විවිධ පුද්ගලයන් සංවර්ධනය පිළිබඳව අදහස් දැක්වීමේදී හුදෙක්ම ඔවුන්ගේ මතය වන්නේ සංවර්ධනය විය යුත්තේ භෞතික වශයෙන් පමණක් බවයි. 

1948 දී මෙරටට නිදහස ලැබුණු පසු සංවර්ධන වැඩපිළිවෙළ කොතෙක් නිර්මාණය වුවද ක්‍රියාවෙන් එම කටයුතු සිදු කළා ද යන්න ගැටලුවකි. මෙරට සිදුවූ සංවර්ධන වැඩපිළිවෙළ අතරින් මහා පරිමාණ සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුවද කුඩා සංවර්ධන ව්‍යාපෘති සඳහා එතරම් අවධානයක් යොමු නොවීය. මහා පරිමාණ මෙන්ම කුඩා පරිමාණ සංවර්ධන කටයුතු කිරීමේදී අදාළ බලධාරීන් බලාපොරොත්තු වන්නේ තමන්ගේ සාක්කු පුරවා ගැනීමයි.

බොහෝ විට ග්‍රාමීය සංවර්ධන කටයුත්තකදී ග්‍රාමීය ජනයා මූලිකත්වය ලබාගැනීම වැදගත් කාරණාවකි. ග්‍රාමීය ජනතාවට අවස්ථාව ලබාදීම මගින් අදාළ බලධාරීන්ගේ බලය පැතිරවීම අවම වන අතර ජනතාව කාර්මීකරණයට වහල් නොවී තම ශ්‍රම ශක්තියෙන් කටයුතු කිරීම ද රටේ ආර්ථීක වාසියට තෝතැන්නකි. ඒ තුළින් රජයත් මහජනතාවත් අතර සම්බන්ධතා ශක්තිමත් කළ හැකි වුවද වර්තමාන ඇතැම් දේශපාලනඥයෝ කොමිස් මත යැපීම මගින් මහජන සබඳතා ඉස්මතු වන්නට ඉඩ නොදී කාර්මීකරණයට මුල් තැන දී සිටිති. මන්ද අදාළ බලධාරීන් මහජන මුදල් ගසාකමින් සුර සැප විඳින්නේ අහිංසක ජනතාවගේ දුක් අඳෝනාවලට සවන් නොදෙමිනි.

මෙය එවැනි වූ කරැණු කාරණා හේතුවෙන් වසරක් තිස්සේ මහජනතාවගේ ඉල්ලීම්වලට පයින් ගසමින් කටයුතු කරන බලධාරීන් නිසා පීඩාවට පත්වී සිටින ජන කොට්ඨාසයක් ජීවත්වන ප්‍රදේශයක් පිළිබඳව කරන සටහනකි.

මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 610 ඒ, මංගලඑළිය ග්‍රාමසේවා වසමේ සාන්තියාකල්ලිය ගම්මානයට යන ප්‍රධාන මාර්ගයේ ඉදිකර ඇති පාලම වසරක් තිස්සේ ගරා වැටෙමින් පවතින්නේ කිසිම බලධාරියකුට නොපෙනෙන අන්දමිනි. දිනපතා පරිහරණය කෙරෙන පාලමෙහි රුඳවුම් බැම්ම වතුර සේදීයාම හේතුවෙන් අබලන් වීම නිසා මහජනතාව පීඩාවට පත්ව සිටිති. මෙම පාලම ඉදිකර ඇත්තේ නවඩන්කුලම වැවෙහි පිටවාන සහ ගලා එන වෙල්පහු ජලයෙන් ඇළ නිරන්තරයෙන් පිරී තිබීම හේතුවෙන් මහජනතාවට ගමන් කිරීමට හැකි වීමටය. වසරක් ගත වුවද පාලම බලධාරීන්ගේ නෙත නොගැටීම හේතුවෙන් ජනතාව තවදුරටත් එය භාවිත කිරීම මාරයාට අත වැනීමකි.

මෙම පාලම පිළිබඳ ප්‍රදේශවාසීන් දක්වන අදහස් මෙලෙස සටහන් කිරීම බලධාරීන්ගේ දෑස් විවර වීමට හේතු වේ යැයි සිතමි.

ධම්මිකා ලියනගේ 

මම මේ ගමේ අවුරුදු විස්සකට වැඩිය කාලයක් ජීවත් වෙනවා. පාලම හදලා වසර පහළොවක් විතර වෙනවා. නමුත් පාලම හොඳ තත්ත්වයේ තිබෙනවා. ඒකට හේතුව තමයි මේ පාලම ගමේ අයගේ ශ්‍රමය සහ ඒ අයගේ මූලිකත්වයෙන් කරපු එක. නවදන්කුලම වැවේ වතුරට පාලම දෙපැත්ත හේදිලා ගියා. ඒක හදන්නේ නැතුව කාලයක් ගිය නිසා පහුගිය ගංවතුරට පාලමේ පැති බැම්ම කැඩිලා සේදිලා ගියා. දැන් උඩින් තිබෙන කොන්ක්‍රීට් එක එල්ලලා වගේ තිබෙන්නේ. මේ පාර ගංවතුරට පාලම සම්පූර්ණයෙන් ගැලවිලා යනකම් බලධාරීන් බලාගෙන ඉන්නවා.

ඇන්ටනී තිසේරා 

මේ ගමේ බොහෝ දෙනකුට පොල් වතු තිබෙනවා. ඉස්සන් කොටු තිබෙනවා. කුකුළු ෆාම් තිබෙනවා. මේ ව්‍යාපාරිකයන්ට තම අස්වැන්න ගෙනියන්න දැඩි වෙහෙසක් වගේම වියදමක් දැරීමට සිදුව තිබෙනවා. එක වාහනයකින් කරන්න තිබෙන වැඩේ වාහන දෙකකින් කරන්න වෙලා තිබෙනවා. මේ පාලම හදන්න සල්ලි පාස් වුණා කියලා එක සැරයක් ඇළේ වතුරත් ඉවත් කළා. නමුත් පාලම හැදු‍වේ නැහැ. මේ පාලම හදන්න විශාල වියදමක් යන්නෙ නැහැ. එක පැත්තක බැම්ම ගහලා කොන්ක්‍රීට් පැති බැම්මක් ගහන්නයි තිබෙන්නේ. රුපියල් ලක්ෂ හතර පහකින් කරන්න පුළුවන් වැඩේට කෝටි ගාණක් ඇස්තමේන්තු කරලා මුදල් වෙන්කර ගන්න ගියාම තමයි මේවා කෙරෙන්නේ නැත්තේ. ඒ නිසා අපි කියන්නේ මේ සංවර්ධන කටයුතු සිදු කරන්න ගමේ අයට මූලිකත්වය දෙන්න කියලා.

ගාමිණී පෙරේරා 

රුපියල් ලක්ෂ දහයක් පහළොවක් පාස් වුණා කියලා ඒ දවස්වල දේශපාලනඥයන් අපට කිව්වා. පාලම හදනවා කියලාත් කිව්වා. නමුත් වැඩේ කෙරුණේ නැහැ. අපි හොයලා බලපුවාම තමයි ආරංචි වුණේ පාලම හදන්න ලැබුණු මුදල මදි කියලා අතහැරලා ඉන්නවා කියලා. අපට ගමට  යන්න වෙනත් විකල්ප මාර්ගයක් නැහැ. මේ පාර විතරයි තිබෙන්නේ. මේ පාලම කැඩුණට පස්සෙ යතුරුපැදි දෙකක් සමඟ දෙන්නෙක් වැටුණා. ඒ අයගේ ජීවිත බේරැණේ අනූ නවයෙන්. දැන්වත් බලධාරීන්ට ඇස් ඇරෙයි කියලා හිතනවා.

සුනෙත් වර්ණකුල 

ඡන්දය කාලෙට ඕන තරම් අය එනවා. පොරොන්දු දීලා යනවා. ඉටු කරන්නේ නැහැ. ජනතාවට වහලුන්ට වගේ තමයි ජීවත් වෙන්න වෙලා තිබෙන්නේ. මේ පාලම උඩින් යන්නම බැරැව තිබෙනකොට තමයි ගමේ අය එකතුවෙලා වැලි කොට්ට ගහලා යන්න පුළුවන් විදිහට පාලම කොටසක් හදාගත්තේ. පා පැදියක් යතුරැ පැදියක් යන්න පුළුවන් වුණාට වෙන වාහනයක් යන්න බැහැ. ලෙඩෙක් ගෙනියනවා නම් පාලම ගාවට එක්ක ඇවිත් එතන ඉඳලා තමයි වාහනයක යන්න වෙන්නේ. මේක රටේ ජනතාවට කරන අසාධාරණයක්.

 රෝවන් පෙරේරා - පුත්තලම

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00