2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා

පොෂ් වෙන්න සෙට් වෙන ෆේස්බුක් සාද

 2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 12:31 192

ෆේස් බුක් හෙවත් මුහුණු පොතෙන් හඳුනාගන්නා තරුණ තරුණියන් එක්ව විවිධ හෝටල්වල, නිවෙස්වල හා සංචාරක නි‍කේතනවල සාද සංවිධානය කිරීම හා ඒවාට සහභාගී වූ පිරිස් අත්අඩංගුවට ගත් පුවත් පසුගිය දිනවල නිතර අසනන්ට ලැබිණි. මෙම සාද මෝස්තරයක් බවට පත් වූ අතර ඒවායේ ප්‍රමුඛස්ථානය හිමිවූයේ අයිස්, ගංජා, ඈෂ් වැනි මත්ද්‍රව්‍ය සහ විදේශීය මත්පැන්වලටය. මෙතෙක් අගනුවරට හා තදාසන්න ප්‍රදේශවලට සීමා වී තිබූ මෙවැනි සාද මේ වනවිට නගරයෙන් බැහැර ප්‍රදේශවලට ද ව්‍යාප්ත වී තිබේ. මේවාට සහභාගි වන බොහෝ තරුණ තරුණියෝ අවුරුදු 18ත් 25ත් අතර පිරිස්ය.

ෆේස්බුක් සාදවල ප්‍රමුඛ අරමුණ විවිධ මත්ද්‍රව්‍ය භාවිත කිරීම හා ලිංගික ක්‍රියාකාරකම්වල නියැලීමය. මෙම සාදවලට එක්වන පිරිස් තම නිදහස උපරිමයෙන් විඳින්නට උත්සුක වන බව පෙනේ. බොහෝවිට ඔවුන් ඉන් ඉහත හමු නොවූ, ෆේස් බුක් ගිණුමෙන් පමණක් හඳුනන පිරිස්ය. සාද සංවිධානය කරන්නන් සාදයට එක්වීම සඳහා ගාස්තුවක් අය කරති. බොහෝ විට එය රුපියල් දහස ඉක්මවයි. මෙවැනි සාදයකට අවම වශයෙන් 50ක 60ක පමණ පිරිසක් සහභාගී වෙති.

අවස්ථා ගණනකදී සිදුකළ වැටලීම්වලදී අත්අඩංගුවට පත් ඇතැමුන් අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිත කොට සිහිසුන් තත්ත්වයේ සිටි බවටත් විවිධ ලිංගික ක්‍රියාවල නිරත වූ බවට සාක්ෂි හමු වූ බවටත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කර තිබේ. මෑතක කරන ලද වැටලීම්වලින් අත්අඩංගුවට පත් පිරිසෙන් වැඩි දෙනෙක් ඈත දුෂ්කර ප්‍රදේශවලින් පැමිණි අයයි. වැඩි දෙනෙක් සාදයට එක්වන තෙක් එහි සිදුවන්නේ කුමක්දැයි නොදැන සිටි බව පැවසේ. සාදයේදී විවිධ මත්ද්‍රව්‍ය භාවිතයට ඔවුන් පොළඹවා ගන්නා අතර අත්හදා බැලීමක් ලෙස ඒවා භාවිත කරන මොවුහු පසුව ඇබ්බැහියන් බවට පත්ව ජීවිත විනාශ කර ගනිති.

මෙවැනි සාදයකට සහභාගී වන බව ඔවුන් නිවෙස්වලට පවසන්නේ නැත. අත්අඩංගුවට පත් තරුණියන් වැඩිදෙනෙක් මෙම සාදවලට සහභාගී වී ඇත්තේ යෙහෙළියකගේ උපන්දින සාදයකට සහභාගී වන බව තම මව්පියන්ට පවසමිනි. සත්‍ය වශයෙන්ම ඔවුන්ට මෙම සාදවල භයානක තත්ත්වය පිළිබඳ අවබෝධයක් නොමැත. මත්ද්‍රව්‍යවලින් සිහිය විකල් වී තරුණයන් කිහිප දෙනකු අතින් විනාශ වූ තරුණියන් ද සිටි බව පැවසේ. තම දරුවන් පිළිබඳ සොයා බැලීමේ වගකීම දෙමව්පියන් වෙතින් බැහැර වීම නිසා මෙවැනි අනර්ථකාරී ක්‍රියාවලට යොමු වන හෙයින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසට පොලිසිය මව්පියන්ගෙන් ඉල්ලීම් කර තිබේ.

මෙම නව ප්‍රවණතාව හා තරුණ තරුණියන් මෙවැනි ක්‍රියාවලට යොමුවීමට බලපාන සාධක සම්බන්ධයෙන් අප විමසා සිටියේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා පීඨයේ මහාචාර්ය මයුර සමරකෝන්ගෙනි. තමන් එකතු වන අවස්ථාවක සතුටුවීමේ කේන්ද්‍රය වශයෙන් මත්පැන් හෝ මත්ද්‍රව්‍ය තිබිය යුතු බවට තරුණ තරුණියන් අතර ආකල්පයක් ගොඩනැඟී තිබීම හේතුවෙන් මෙවැනි තත්ත්වයක් ඇතිවී තිබෙන බව මහාචාර්ය සමරකෝන්ගේ අදහසයි.

“එම ආකල්පය ඇතිකර තිබෙන්නේ වැඩිහිටියන් විසින්. වත්මනෙහි සෑම උත්සව අවස්ථාවකම මත්පැන්වලට ප්‍රමුඛස්ථානයක් හිමිවෙනවා. මේ වනවිට විවාහ මංගල උත්සවවල පමණක් නොවෙයි තෙමස් බණ, දාන, පිංකම් වැනි අවස්ථාවලදීත් මත්පැන් භාවිත කිරීමට ඇතැම් පිරිස් යොමු වී සිටිනවා. තරුණි තරුණියන් සමාජානුයෝජනයට ලක්වන්නේ එවැනි සමාජයක් තුළයි. තමන් කිසියම් අවස්ථාවක සතුටු වෙනවා නම් ඒ සඳහා මත්පැන් අත්‍යවශ්‍ය බවට වන මතයක් ඔවුන් තුළ ගොඩනැඟෙනවා. ජනමාධ්‍ය, කලාව වැනි දේ තුළින්ද මෙවැනි ආකල්ප සමාජගත කෙරෙනවා.

ෆේස් බුක් සාද ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගන්නා තරුණ තරුණියන් විසින් පවත්වන්නක්. වර්තමානයේ ගොඩනැඟෙන්නේ විචාරශීලී, නිර්මාණශීලී තරුණ පිරිසක් නොවෙයි. බොහෝ විට තමා තුළ පවතින ගුප්ත ලිංගික ආශාවන් සන්තර්පනය කර ගැනීමට ප්‍රමුඛත්වය දෙන තරැණ පිරිසක් අද සමාජගතව සිටිනවා. ඔවුන් ලිංගිකත්වය නැතිනම් “සෙක්ස්” කියන දේ පිළිබඳව අනවශ්‍ය ලෙස සිතන පිරිසක්. අද ප්‍රේමය යටපත් වී ලිංගිකත්වය ඉදිරියට පැමිණිලා. ඇතැම් අය ප්‍රේමය කුමක්දැයි නොහඳුනන පිරිසක්. මත්ද්‍රව්‍ය හා ලිංගික ආශාවන් මුදුන් පමුණුවා ගැනීමේ අරමුණ මත ෆේස්බුක් සාද නිර්මාණය වනවා. මෙම සාදවලදී තරුණ තරුණියන් මත්පැන් හා මත්ද්‍රව්‍ය රස බලමින් තම සැඟවුණු ලිංගික ආශාවන් සන්තර්පණය කර ගැනීමට ක්‍රියා කරනවා. මෙවැනි සාදවලින් පෙන්නුම් කරන්නේ වර්තමාන තරුණ තරුණියන්ගේ ඛේදවාචකයයි.”

ෆේස්බුක් සාද සඳහා නාගරික තරුණ පිරිසට වඩා දුෂ්කර ප්‍රදේශවලින් පැමිණෙන තරුණ පිරිස් සහභාගී වන බව මෑතක කරන ලද වැටලීම්වලදී අත්අඩංගුවට පත් පිරිස දෙස බලන කල පෙනී යන්නකි. එවැනි පිරිස් මෙවැනි ක්‍රියාවලට යොමුවන්නේ මන්දැයි අප මහාචාර්ය සමරකෝන්ගෙන් විමසීමු. ඔහුගේ මතය වූයේ වර්තමාන සමාජය මේ වන විට විකෘති නාගරිකකරණයකට සහ විකෘති නවීකරණයක් දෙසට ගමන් කරමින් සිටින බවයි.

“නාගරික තරුණයන් බටහිර දියුණු යැයි සැලකෙන රටවල සමාජ තත්ත්වය වැළඳ ගැනීමට උත්සාහ කරන අයුරින් ග්‍රාමීය තරුණයන් නාගරිකත්වය වැළඳ ගැනීමට උත්සාහ කරනවා. මොවුන් ග්‍රාමීය පසුබිමක් සහිත පිරිස් වුවද අධ්‍යාපනය ලැබීමට හෝ රැකියාවක නිරතවීමට හෝ නගරය කරා පැමිණි අයයි. නගරයට පැමිණෙන තරුණයා තුළ තමන් තවදුරටත් ජීවත් විය යුත්තේ ග්‍රාමීය තරුණයකු ලෙසද නැතිනම් නාගරික තරුණයකු බවට අනුගත විය යුතුද යනුවෙන් චිත්ත අභ්‍යන්තරයේ ගැටුමක් නිර්මාණය වනවා. එම පරිවර්තනයේදී ඔහු නගරයේ අටෝප සහගත විලාසිතා අනුගමනයට පෙළඹෙනවා. තරුණයන්ගේ භාෂාවෙන් කිව්වොත් ‘පොෂ්’ තරුණයකු වීමට ඔහුට අවශ්‍ය වෙනවා. එවන් ‘පොෂ්’ තරුණයකු වීමට නම් මෙවැනි දේට යොමු විය යුතුයැයි ඔවුන් තීන්දු කරනවා. මොවුන් ගැමි සමාජයක සිට නගරයට සංක්‍රමණය වූවන් විනා ගැමියන් ලෙස කෘෂිකාර්මික ජීවිතයකට හුරු වූ අය නොවෙයි. සමාජය තමන් ගැමියකු බව හඳුනාගන්නවාට ඔවුන් බයයි. ඔවුන් තුළ හීනමානමය ලක්ෂණයක් ගොඩනැඟී තිබෙනවා. එම ලක්ෂණය විවිධ ක්‍රමවලින් නැති කර ගැනීමට ඔවුන්ට අවශ්‍යයි. සමාජය විසින් නිර්මාණය කර ඇති පසුබිම යටතේ වැරදි ක්‍රියාවලට තදින්ම ඇබ්බැහි වන්නේ මේ පිරිසයි. ඔවුන් නාගරිකත්වය අනවශ්‍ය ලෙස අත්විඳීමට උත්සාහ කරනවා. මෙම ගැමි තරුණයන් මව්පියන් හා වැඩිහිටියන්ගේ රැකවරණයක්, පාලනයක් යටතේ ජීවත් වූවන්. නගරයට පැමිණි විගස ඔවුන් නිදහස සොයා යනවා. තමන්ට ඕනෑම දෙයක් කළ හැකි යැයි ඔවුන් සිතනවා. කිසිදු අනන්‍යතාවක් නොමැති පුද්ගලයකු බවට පත්වෙනවා.”

තරුණ පරපුර තාවකාලික සතුටක් ලැබීමේ අරමුණින් විනාශය කරා ගමන් කරමින් සිටින බව මෙවැනි ෆේස්බුක් සාදවලින් සනාථ වේ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමෙන් ජීවිතය විනාශ කර ගන්නා සේම අනාරක්ෂිත ලිංගික හැසිරීම්වලින් මාරාන්තික රෝග වැළඳීමට ඇති අවදානමද ඉහළය. මෙවැනි තත්ත්වයක් යටතේ මොවුන්ගේ අනාගතය කෙබඳු වේද?

“මොවුන් මත්ද්‍රව්‍යවලට යොමුවීම බරපතළ තත්ත්වයක්. ඉන් විශාල සමාජ අර්බුදයක් නිර්මාණය වනවා. මොවුන් තමන්ට එරෙහි වන්නන්ට ඕනෑම අවස්ථාවක ශාරීරිකව හෝ වාචිකව හෝ ප්‍රහාර එල්ල කිරීමට මැලිවන්නේ නැහැ. සමාජ මාධ්‍යවල පළවන දේවල් අනුව එවැනි තත්ත්වයක් පැහැදිලිවම දැකිය හැකියි. ඔවුන්ගේ භාවමය හැඟීම් හා නිර්මාණශීලිත්වය විනාශ වෙලා. ඔවුන් ප්‍රේමය දකින්නෙත් ලිංගික ක්‍රියාවක් ලෙස පමණයි. සති අන්තවල සහ රජයේ නිවාඩු දිනවල නගර අවට තිබෙන කාමර කුලියට දෙන ස්ථාන පිරී ඉතිරී යන තත්ත්වයට පත්වෙලා. මෙම තත්ත්වය කෙතරම් බරපතළද යත් මෙම නවාතැන්පළ පිහිටි ප්‍රදේශවල ඇති ෆාමසිවල ඒ දිනවල වැඩියෙන්ම අලෙවි වන්නේ ලිංගික උත්තේජක හා ඒ සඳහා භාවිත කෙරෙන උපකරණයි.”

තමන් සිදුකළ සමාජ සමීක්ෂණවලදී රාත්‍රී සමාජශාලා හා කැසිනෝ ශාලාවල ෆේස් බුක් සාදවලට වඩා භයානක තත්ත්වයක් පවතින බව අනාවරණ වූ බවත් ශ්‍රී ලංකාවේ සමස්ත තරුණ පරපුරම විකෘති මාවතකට යොමුවෙමින් පවතින බවත් මහාචාර්යවරයා සඳහන් කරයි.

ෆේස්බුක් සාද වැටලීමෙන් අත්අඩංගුවට ගන්නා පිරිස් පුනරුත්ථාපනය කෙරේ. එහෙත් එය නිසි විසඳුමක් නොවේ. මත්ද්‍රව්‍ය පාලනය සඳහා දැඩි නීතිරීති පැනවිය යුතුව ඇත. පසුගිය කාලයේ මත්ද්‍රව්‍ය මෙරටට පැමිණියේ කිලෝ සිය ගණනිනි. අත්අඩංගුවට පත් ප්‍රමාණය මෙන්ම හොර රහසේ මෙරටට පැමිණි ප්‍රමාණය ද අති විශාලය. ඒවා ගෙන්වන ජාවාරම්කරුවන්ට දේශපාලන අනුග්‍රහය ලැබෙන බව නොරහසකි. එහෙයින් ඒවාට සම්බන්ධ පුද්ගලයන් උස් පහත් බේදයකින් තොරව දඬුවම් ලබාදීමට කටයුතු කරන තෙක් මෙවැනි ව්‍යසන වළක්වාලීම අසීරු වනු ඇත.

► ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00