2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා

ලංකාවේ කුඩු ජාලයේ පිටරට ඉත්තෝ

 2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 12:31 221

මොළයේ ක්‍රියාකාරීත්වයට බලපාන හා සාමාන්‍ය මානසික ක්‍රියාකාරීත්වය වෙනස් කරන නීති විරෝධී ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය වශයෙන් හඳුන්වයි. ආණ්ඩුව විසින් බලපත්‍ර නිකුත් කොට නිත්‍යනුකූලව පවත්වාගෙන යන මත්පැන්, දුම්වැටි හා නීති විරෝධී මත්ද්‍රව්‍ය යන මේ සියල්ල සමාජයට බරපතළ ගැටලුවක් නිර්මාණය කොට ඇත. මේ අනුව නිත්‍යනුකූල හෝ නීති විරෝධී ඕනෑම මත්ද්‍රව්‍යයක් මගින් ජීවිතයට කරන විනාශය සුළුපටු නැත. රජයට අධික ආදායම් උපයා දෙමින් නිත්‍යනුකූල මත්පැන් හා දුම්වැටි අලෙවි කිරීම මෙන්ම සියලු ආරක්ෂක ක්‍රමවේදවලට හොරෙන් ද මත් ජාවාරම සිදු වේ.

වාර්තාගත තොරතුරුවලට අනුව මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරැවෝ විදෙස්ගතව සිට ඔවුන්ගේ ගෝලබාලයන් යොදවා මෙරට තුළ මනාව මෙම ජාවාරම සිදු කරගෙන යති. බොහෝ විට වාර්තා වන්නේ මෙකී මත් ජාවාරම පසුපස දේශපාලන බලයත් පාතාලයේ හයියත් නොඅඩුව ක්‍රියාත්මක බවය. වෙලාවක් අවේලාවක් නොමැතිව තැන නොතැන නොබලා කපා කොටා ඝාතනය කිරීම් හා වෙඩි තැබීමේ සිදුවීම් කොළඹ ඇතුළු ප්‍රදේශ රුසකින් වාර්තා වීම එහි සාධකය.

විදේශීය ජාතිකයන් විසින් මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන ඒම හා පැමිණ ආරක්ෂක අංශ වෙත කොටු වූ අවස්ථා ගණනාවකි. ඔවුන් හෙරොයින්, කොකේන්, හෂීස් හෝ අයිස් යන විෂ මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි අවස්ථා බහුලය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කරන්නේ 2019 වසරේ ගතවූ පළමු මාස 10 තුළදී මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් විදේශිකයන් 46 දෙනකු අත්අඩංගුවට පත්ව තිබෙන බවය. අත්අඩංගුවට පත්වූවන්ගෙන් බහුතරය ඉරාන ජාතිකයන් බවත් එම සංඛ්‍යාව 19 ක් ලෙස වාර්තාගත බවත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කරයි.

මත් ජාවාරමේ නිරත විදේශිකයන් අත්අඩංගුවට ගැනීම් අතරතුර ඉන්දීය ජාතිකයන් 7 දෙනකු අත්අඩංගුවට පත්ව සිටින බව සඳහන්ය. ඊට අමතරව පකිස්තාන ජාතිකයන් 3 දෙනකු හා චීන ජාතිකයන් 3 දෙනකු වන බවද අමෙරිකානු ජාතිකයන් දෙදෙනකු හා ඊශ්‍රායල ජාතිකයන් දෙදෙනකු සිටින බව ද වාර්තා කරයි. වැඩිදුරටත් තොරතුරු සපයන මත්ද්‍රව්‍ය කාර්යාංශය පවසන්නේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් 2018 වසරේදී විදේශිකයන් 41 ක්, 2017 වර්ෂයේ දී විදේශිකයන් 19 ක්, 2016 වර්ෂයේ විදේශිකයන් 57 ක් වශයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවය. ගතවූ වසර 5ක කාලය තුළ මත්ද්‍රව්‍ය ජාවරම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ අයගෙන් 34 දෙනකුට අධිකරණය මගින් මරණ දඬුවම නියම කොට ඇත. ඔවුහු අතර කාන්තාවෝ දෙදෙනෙක් ද වෙති.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසන පරිදි හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් මේ වසරේ පළමු මාස 10 අවසානය වන විට සැකකරුවන් තිස්පන් දහස් හත්සීයකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම හෙරොයින් ජාවාරමේ නිරත ප්‍රධාන ජාවාරම්කරුවන් 24 දෙනකුගේ දේපළ රාජසන්තක කිරීමට කටයුතු කරමින් සිටින බවද ඔහු පැවසීය. මීට අමතරව ගතවූ මාස 10 තුළදී පොලීසිය, විශේෂ කාර්ය බළකාය, නාවික හමුදාව යන ආරක්ෂක අංශ මගින් හෙරොයින් කිලෝග්‍රෑම් 1640කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇතැයි ද වාර්තා වේ.

දේපළ රාජසන්තක කිරීමට නියමිත ජාවාරම්කරුවන් 24 දෙනාගෙන් පිරිසක් අත්අඩංගුවට පත්ව සිටින අතර ඉතිරි පිරිස සඳහා රතු නිවේදන නිකුත් කර ඇතැයි දැනගන්නට තිබේ. මේ අතර වාර්තා වන්නේ ලංකාවට මුහුදු මාර්ග ඔස්සේ වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය රැගෙන එන බවය. එම ජාවාරම දකුණු වෙරළ තිරයේ සිට මාලදිවයින දක්වා වූ මුහුදු තිරයේ සිදුවන බවත් මේවා විදේශීය නෞකා වෙතින් මෙරට ජාත්‍යන්තර මුහුදු සීමාව ආසන්නයේ දී බහුදින ධීවර යාත්‍රා වෙත ලබා දී අනතුරුව කුඩා බෝට්ටු හරහා ධීවරයන් මාර්ගයෙන් ලංකාවට රැගෙන එන බවද හෙළි වී තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව නාවික හමුදාව සිදු කරන මෙහෙයුම්වලදී මේ වසර තුළදී බිලියන දහයකට අධික හෙරොයින් තොගයක් සමඟ ගංජා ටොන් 3 ක් හා බිලියන දහයකට අධික වටිනා බීඩි කොළ ටොන් 43කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.

“මතට තිත” හා “මතින් නිදහස් රටක්” යන්න රටේ ආණ්ඩු දෙකක් මත් උවදුර වැළකීමට යෙදූ ලස්සන තේමාය. මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකායක් පිහිටුවා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ක්‍රියාත්මක කොට මාධ්‍ය සංදර්ශන පැවැත්වීම මත් ජාවාරමට එරෙහිව නැගී සිටීමට ප්‍රමාණවත් නැති බව මේ මගින් පෙන්නුම් කරයි.

සමන්ත ප්‍රදීප් විල්තෙර

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00