2017 මාර්තු 18 වන සෙනසුරාදා

ඉස්කෝලේ කසිප්පු ස්කාගාරේ

 2017 මාර්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 453

පාසලේ ආපන ශාලාවක් තුළ කසිප්පු නිෂ්පාදනය කිරීමේ ස්කාගාරයක් පවත්වාගෙන යමින් එම විදුහල් මාතාවගේ අභිමානය, ගෞරවය අමු අමුවේ කෙලෙසූ අධම පාපතරයකු පිළිබඳ මූසල ආරංචිය අපට ලැබුණේ පුලතිසිපුරවරයේ හිඟුරක්ගොඩ පෙදෙසෙනි. දීර්ඝ කාලයක් තිස්සේ සිදුකර ඇතැයි කියන මෙම ජාවාරම පිළිබඳව තොරතුරු අනාවරණය වූයේ සුරාබදු දෙපාර්තමේන්තුවේ කොළඹ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ සාර්ථක වැටලීමකින් අනතුරුවය.

එය සාර්ථක වැටලීමක් ලෙස හඳුන්වන්නේ අදාළ සැකකරු සිය නිෂ්පාදන ක්‍රියාවලිය සිදුකරමින් සිටින අවස්ථාවේම පාසල් ආපන ශාලාව තුළදී අත්අඩංගුවට ගැනීමට තරම් සුරාබදු නිලධාරීන් දක්ෂ වීමයි. ප්‍රදේශයේ කීර්තිමත් පාසලක ආපන ශාලාව පවත්වාගෙන යාම සඳහා අසමජ්ජාතියකුට පැවරීමේ ප්‍රතිවිපාක ඇස් පනාපිටම ඔප්පු වී ඇතැයි එම පාසලේ ඉගෙනුම ලබන දරුවන්ගේ මාපියෝ පවසති.

ඔහු එම ආපන ශාලාව පවත්වාගෙන යන මුවාවෙන් සිදුකර ඇත්තේ කිසිවකුත් සිහිනෙකින් හෝ නොසිතන ආකාරයේ කූඨ ජාවාරමකි.

සතියේ දිනවල පාසලේ වේලාවෙන් පසුවත් සති අන්තයේ සහ පාසල නොපවත්වන වෙනත් නිවාඩු දිනවලදීත් මොහු මෙම හොර සුරා පෙරීම රිසිසේ, නිදහසේ කරගෙන ගොස් තිබේ.

නිවාඩු දිනවල දරුවන් පාසලට නොපැමිණියද මුරකරුවන් දිවා - රාත්‍රී සේවයේ යොදවා තිබෙන පාසලේ වෙනත් රාජකාරි කටයුතු සඳහා ගුරුවරුන්, නියෝජ්‍ය විදුහල්පතිවරුන් එහි පැමිණෙන හෙයින් එය මුළුමනින්ම හුදෙකලා ස්ථානයක් ලෙසට හැඳින්විය නොහැක. ඇතැම්විට අන් අයගේ සහායක් ලබාගෙන හෝ මෙම පුද්ගලයා සිය මූලික අරමුණ ඉටුකරගැනීම සඳහා අවැසි පරිසරය නිර්මාණය කරගෙන තිබෙන බව නම් ඉතා පැහැදිලිය.

කෙසේ නමුත් සුරාබදු දෙපාර්තමේන්තුවේ කොළඹ විශේෂ මෙහෙයුම් ඒකකයට මේ හොර මත්පැන් ස්කාගාරය පිළිබඳව තොරතුර ලබාදුන් පුද්ගලයා එම කටයුත්ත හරියාකාරවම ඉටුකොට තිබේ. ඉකුත් සිකුරාදා (10) රාත්‍රියේ සුරාබදු නිලධාරීන් කණ්ඩායම පාසලේ ආපන ශාලාව වටලන අවස්ථාවේ සැකකරු සිය සුපුරුදු නිෂ්පාදන කාර්යය කරමින් සිටියදීම අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

 මට විරුද්ධව නඩුවක් දාන්න. ඒත් මේ ගැන කාටවත් කියන්න එපා 

විශාල ප්‍රමාණයේ ගෑස් උඳුනක් මත ලෝදිය සේ ගිනියම්ව පැසෙමින් තිබූ ගෝඩා සහිත විශාල බැරලය, ගෑස් සිලින්ඩරය, ගෑස් ළිප, කසිප්පු පෙරීමට යොදාගත් තඹ දඟරයක් ආදී උපකරණ කට්ටලය සමඟ සැකකරු අත්අඩංගුවට ගැනීමට සුරාබදු නිලධාරීන්ට එහිදී හැකිවිය.

විශාල බැරලයේ තිබූ ගෝඩා ප්‍රමාණය ලීටර් 210ක් බව එම නිලධාරීහු පැවසූහ. පෙරමින් තිබූ කසිප්පු තොගයද නඩු භාණ්ඩ ලෙස අත්අඩංගුවට ගන්නා ලදී. තමන් මෙම කසිප්පු පෙරීම පාසලේ ආපන ශාලාව තුළ සිදුකරන්නේ සතියේ දිනවල පාසල් වේලාවෙන් පසුවත් සති අන්ත නිවාඩු දිනවල සහ වෙනත් නිවාඩු දිනවලදී බවත් සැකකරු ප්‍රකාශ කොට ඇත. එමෙන්ම මෙම කසිප්පු සිල්ලරට අලෙවි කිරීමක් නොකරන බවත් එසේ සිල්ලරට විකුණන අයට තොග වශයෙන් බෙදාහැරීම පමණක් තමන් සිදුකරන බවත් මෙම පුද්ගලයා සුරාබදු නිලධාරීන්ට පාපොච්චාරණය කර තිබේ. එමනිසා මෙම වරද සම්බන්ධයෙන් මට විරැද්ධව නඩුවක් දාන්න. ඒත් මේ ගැන කාටවත් කියන්න එපා යනුවෙන් ඔහු සුරාබදු නිලධාරීන් ඉදිරියේ ඉතාමත් බැගෑපත් වෙමින් ඉල්ලා ඇත.

අවුරුදු 28ක් පමණ වයසැති මෙම පුද්ගලයා විවාහකයකු වන අතර එක්දරු පියකු බවද දැනගන්නට තිබේ. බිරිය රජයේ රැකියාවක නියුතු කාන්තාවක බවද අනාවරණය වේ. අනෙක් විශේෂිත කාරණය වන්නේ මොහු විසින් මෙම කසිප්පු නිෂ්පාදන ස්කාගාරය පවත්වාගෙන ගිය ආපන ශාලාව අයත් පාසලේ ඔහුද ආදි ශිෂ්‍යයකු වීමයි. ඒ අනුව ඔහු තම විදුහල් මාතාවට දැක්විය හැකි ඉහළම අවමානය සිදුකර තිබෙන බව මේ පිළිබඳව තොරතුරැ සොයා ගිය ගමනේදී පාසලේ අධ්‍යාපනය ලබන දරු දැරියන්ගේ මාපියෝ අප සමඟ පැවැසූහ. රාත්‍රී කාලයේදී කසිප්පු පෙරන දෑතින්ම මොහු පාසලේ දරුවන්ට ආහාරපානාදිය පිරිනමා ඇතැයිද ඔවුහු කීහ.

පාසලේ ආපන ශාලාව පවත්වාගෙන යාම සඳහා මෙම පුද්ගලයාට ලබාදී ඇත්තේ පාසල් සංවර්ධන කමිටුව විසින් බවද අපට දැනගන්නට ලැබිණි. එහෙත් ඉන්පසුව එහි කටයුතු සිදුකෙරෙන ආකාරය පිළිබඳව එම පාසල් කළමනාකරණ කමිටුව විසින් හෝ පාසලේ වෙනත් ගුරු භවතකු හෝ කිසිදු විපරමක් නොකිරීම නිසා මෙම හොර සුරා පෙරීමේ ජාවාරම මොහුට මේ අන්දමට දීර්ඝ කාලයක පටන් රහසිගත ලෙස කරගෙන යාමට හැකියාව ලැබී තිබෙන බව ඉතා පැහැදිලි යැයිද ඔවුහු පැවසූහ. 

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය පාසලක් වන මෙම විද්‍යාලයේ ආපන ශාලාව තුළ එම ආපන ශාලාව පවත්වාගෙන යන පුද්ගලයා විසින් කසිප්පු පෙරීමේ ජාවාරමක් කලක සිට සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කොට ඇතැයි හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපය භාර අධ්‍යාපන අධ්‍යක්ෂ එන්.එම්.කේ.බී. නවරත්න මහතා අප කළ විමසුමකදී ප්‍රකාශ කළේය. එම පරීක්ෂණ කටයුතු අවසන් වීමෙන් අනතුරුව ඒ පිළිබඳ වාර්තාවක් උතුරුමැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාටද යොමුකරන බව ඒ මහතා කීවේය. මෙරට පාසල් ඉතිහාසයේ පාසලක ආපන ශාලාවක් තුළ මේ අන්දමේ නීතිවිරෝධී කසිප්පු ස්කාගාරයක් පවත්වාගෙන ගිය බවක් අසන්නට නැත. 
කොළඹ සිට දුරබැහැර ගෙවා හිඟුරක්ගොඩට පැමිණ මෙම කසිප්පු නිෂ්පාදන ස්කාගාරය වටලා සාර්ථක අත්අඩංගුවට ගැනීමක් සිදුකළ සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට මෙහිදී විශේෂයෙන්ම මල් මිටක් හිමිවිය යුතුය. ඔවුන් සිය රාජකාරිය නොපිරිහෙළා ඉටු නොකරන්නට මේ කසිප්පු නිෂ්පාදන ජාවාරම තවමත් නිදැල්ලේය. 

එහෙයින් තමන්ට පැවැරුණු රාජකාරිය නමුදු මෙම උදාර මෙහෙවර ඉටුකළ සුරාබදු දෙපාර්තමේන්තුවේ කොළඹ විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක පී.එන්. හේමන්ත මහතා සමඟද කතාබහ කරන්නට අපි අමතක නොකළෙමු.

“සුරාබදු දෙපාර්තමේන්තුවේ අවුරුදු විසිපහක විතර මගේ රාජකාරි ජීවිතයේදී පාසලක ආපන ශාලාවක් තුළ පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාරයක් වැටලීම කළ පළවෙනි අවස්ථාව. මේ පිළිබඳව තොරතුරු මට මුලින්ම ලැබුණ වේලේ මට තරමක සැකයක් ඇතිවුණා, ප්‍රධාන පෙළේ පාසලක ආපන ශාලාවක් ඇතුළේ මේ වගේ දෙයක් කරයිද කියලා. නමුත් අපිට තොරතුරු ලබලා දුන්න පුද්ගලයා තරයේම කියා සිටියා මේක දීර්ඝ කාලයක් තිස්සේ සිද්ධවෙන ජාවාරමක්, මෙතෙක් කිසිම කෙනෙක් මේක වැටලීමක් කළේ නෑ, අත්අඩංගුවට ගත්තේ නෑ කියලා. ඒ අනුව මමත් මගේ නිලධාරීන් කණ්ඩායමත් කොළඹ ඉඳලා හිඟුරක්ගොඩ ආවා. පහුගිය සිකුරාදා (10) මගේ ඔත්තුකරු විසින් ලබාදුන් තොරතුරු අනුව පාසලේ ආපන ශාලාව තිබෙන ස්ථානයට අපි ගියා. ඒ වෙනකොට එහි දොර වහලා තිබුණා. ඒ වෙලාවේ ආපන ශාලාව පවත්වාගෙන යන පුද්ගලයා ඇතුළේ හිටියා. අපි ඔහුට කීවා දොර අරින්න කියලා. එවේලේ ඔහු දොර ඇරගෙන එළියට ආවා. අපි ඇහුවා නීතිවිරෝධී කටයුත්තක් ඇතුළේ කෙරෙනවාද කියලා. එම පුද්ගලයා කිව්වා නෑ කියලා.

අපේ නිලධාරීන් ඇතුළට ගිහිල්ලා පරීක්ෂා කළා. එවිට දැකගන්නට ලැබුණා විශාල ගෑස් ළිපක් මත ලොකු බැරලයක් යොදාගෙන මේ කසිප්පු පෙරන ආකාරය. එම පුද්ගලයා තමන් කරන වරද එවේලේ පිළිගත්තා. ඔහු මේ නිෂ්පාදන බෙදාහරින ආකාරය පිළිබඳවත් සියලු විස්තර අපට ප්‍රකාශ කළා. මොහු කීවා නඩු දාන්න, මේ ගැන කාටවත් කියන්න එපා කියලා.

අපි එවේලේම පාසලේ විදුහල්පතිවරයාට දැනුම් දුන්නා. ඒ අවස්ථාවේ පැමිණි පාසල අවට පදිංචි වී සිටින අයට මේ පිළිබඳව කිව්වා. පසුව ජනමාධ්‍ය මගිනුත් ලොකු ප්‍රචාරයක් දීලා තිබුණා. සැකකරුගෙන් අදාළ ප්‍රකාශ සටහන් කරගෙන පුද්ගල ඇපයක් මත ඔහු නිදහස් කර යැවුවා. අත්අඩංගුවට ගනු ලැබූ නඩු භාණ්ඩ සියල්ලක්ම අපි කොළඹ රැගෙන ආවා. මේ මාසයේ 24 වැනිදාට අපි සැකකරුට අධිකරණයට ඉදිරිපත් වන ලෙසට දැනුම් දී තිබෙනවා. ඔහුට විරුද්ධව නඩු පැවරීමක් සිදුකෙරෙනවා. යැයිද හේමන්ත මහතා කීවේය. අපේ රටේ කොළඹ හෝ වෙනත් තදාසන්න නගර බොහොමයක මත්කුඩු, මත්පෙති බරපතළ සමාජ උවදුරක් බවට පත්ව තිබෙන බව නොරහසකි. එය මේ වනවිට ඈත ගම්බිම් කරාද ඒවා පැතිරෙමින් තිබේ. ගංජා, කසිප්පු වැනි ජාවාරම් ගම්වල කලක පටන් මුල් බැසගෙන තිබූ ඒවාය. මේ සියලු මත් උවදුරු මැඩලීම සඳහා රජය විසින් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ඒ සඳහා විශාල වෑයමක් දරමින් සිටින බව අපි දනිමු.

♦  කරුණාරත්න ගමගේ

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00