2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා

ආණ්ඩුවෙ කමිටුවලින් සිනමාව ගොඩගන්න බෑ

 2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 174

මහාචාර්ය සුනිල් ආරියරත්න මේ වන විට ප්‍රකටව සිටින්නේ වාණිජමය වශයෙන් සාර්ථක චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වශයෙනි. ඔහු තැනූ කුසපබා (2012) වාණිජ වශයෙන් ඉතා සාර්ථක වූ අතර ඊටපසු පත්තිනි (2016), බිම්බා දේවි හෙවත් යශෝධරා (2018) අධ්‍යක්ෂණය කළේය. ඔහුගේ අලුත්ම අධ්‍යක්ෂණය වන විජයබා කොල්ලය ද වාණිජමය වශයෙන් සාර්ථක වූ අතර එය තවමත් සිනමාශාලාවල තිරගත වේ.

වර්තමාන සිංහල සිනමාව ඔබ දකින්නේ කෙසේද?

සිංහල සිනමාව මේ තරම් අර්බුදයකට ලක්වූ කාලයක් තිබුණේ නෑ. චිත්‍රපට නිෂ්පාදනය, බෙදාහැරීම, ප්‍රචාරණය වගේ සෑම ක්ෂේත්‍රයකම අර්බුදයක්. මේ සිංහල සිනමා ඉතිහාසයේ වඩාත්ම අර්බුදකාරී අවස්ථාවක්. ඒ එකම ගැටලුවකටවත් විසඳුමක් අපට පේන්නෙ නෑ. ඒ නිසා සිංහල සිනමාකරුවන් හැම කෙනෙක්ම අන්දමන්ද වූ ස්වභාවයකින් ඉන්න බව කිව්වොත් නිවැරදියි.

සිංහල චිත්‍රපට බහුතරයක් දිව්වෙ නැති වුණත් ලයන් කිං ඇතුළු ඉංග්‍රීසි චිත්‍රපට කිහිපයක්ම සාර්ථකව තිරගත වුණු බව අපි දැක්කා?

අර්බුදය පවතින්නේ සිංහල චිත්‍රපට නරඹන්නන් සම්බන්ධයෙන් පමණයි. අපි දෙමළ සිනමාව ගත්තොත් තමිල්නාඩුවේ දෙමළ සිනමා සංස්කෘතියක් තිබෙනවා. ඒ සංස්කෘතියම ලංකාවෙත් තියෙනවා. දෙමළ චිත්‍රපටයක් තිරගත කිරීම තමිල්නාඩුවේ උත්කර්ෂවත් අවස්ථාවක්. චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කර මාසයක් පමණ යනතුරු සිනමාශාලාව ඉදිරිපිටින් යාමත් අපහසුයි. අති දැවැන්ත කටවුට් ඉදිකරනවා. ඒ තත්ත්වයම ලංකාවේ දෙමළ චිත්‍රපට සම්බන්ධයෙනුත් තිබෙනවා. සිංහල චිත්‍රපට පෙන්වන සිනමාශාලාවල දෙමළ චිත්‍රපට පෙන්වන්නේ රූ 10.00ට. ඒ දර්ශනවලට ප්‍රේක්ෂකයන් පිරී ඉතිරී යනවා. සමහර දෙමළ චිත්‍රපට සඳහා උදේ පාන්දර 6.00ට විශේෂ දර්ශන අපේ සිනමාශාලාවල පැවැත්වෙනවා. 

මේ දෙමළ සිනමා සංස්කෘතිය උතුරේ වගේම දකුණෙත් තිබෙනවද?

ඔව්. යාපනේ, ත්‍රිකුණාමලයේ පමණක් නොවේ, කොළඹත් එය දැකගත හැකියි. ඉංග්‍රීසි චිත්‍රපටවලටත් වෙන් වූ වෙනම ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. ඉංග්‍රීසි චිත්‍රපටවලටම වෙන්වූ වෙනම සිනමාශාලා අප රටේ තිබෙනවා. ඒවාට රසිකයන් විශාල වශයෙන් එනවා.

නමුත් හින්දි සිනමාවට දැන් තැනක් නෑ වගේ?

ඔව්. මේ මොහොත වනවිට හින්දි චිත්‍රපට සඳහා වන ආකර්ශනය බිඳවැටිලා. චිත්‍රපට ආනයනය කරන්නන් දැන් හින්දි චිත්‍රපට ආනයනය කරන්නෙ නෑ. මෑත කාලයේ ආනයනය කරපු හැම හින්දි චිත්‍රපටයක්ම වාණිජමය වශයෙන් අසාර්ථක වුණා. ලංකාවේ හින්දි සිනමාවට මොකක්ද වුණේ කියලා කවුරැහරි සමීක්ෂණයක් කිරීමට වටිනවා. හින්දි සිනමාව අතුගෑවිලා ගියේ ඇයි ද කියලා සොයා බැලිය යුතුයි.

හින්දි සිනමාව වෙනුවට මලයාලම් සිනමාව නැගී සිටින බවක් පේන්නෙ නැද්ද?

අද හින්දි හා දෙමළ සිනමාවටත් වඩා ඉහළින් මලයාලම්, කන්නඩ, තෙලිඟු සිනමාව සිටිනවා. නමුත් ලංකාවේ මලයාලම්, කන්නඩ හෝ තෙලිඟු සිනමාවට තැනක් නෑ. ඒකට හොඳම උදාහරණය බාහුබලි. එම චිත්‍රපට කාණ්ඩ දෙකම ලංකාවේ ජනප්‍රිය වුණේ නෑ. ඒකට හේතුව දෙමළ සිනමාවේ සිටින විජය, ධනුෂ්, රැජිණිකාන්ත් වගේ තරු ඒ චිත්‍රපටවල නොසිටීමයි. සිනමා නළුවන් මත තමයි දෙමළ චිත්‍රපට රඳා පවතින්නේ. නමුත් මලයාලම්, තෙලිඟු, කන්නඩ චිත්‍රපටවල තරු දකින්න අමාරුයි. ඒ නිසා ඒ චිත්‍රපට අපේ රටේ ජනප්‍රිය නෑ.

ඔබ මුලින්ම මුලින්ම අධ්‍යක්ෂණය කළ සරුංගල්, සිරිබෝ අයියා, පොඩි මල්ලී වගේ චිත්‍රපටවලින් උසස් සිනමා රසවින්දනයක් ලබාදීම අරමුණු කරගෙන තිබුණා. නමුත් පසුව ඔබ දුවන චිත්‍රපට අධ්‍යක්ෂණය කිරීමට නැඹුරු වූ බව පේනවා?

ඇත්තෙන්ම ඒ චිත්‍රපට වගේම 2002 දී අධ්‍යක්ෂණය කළ සුදු සෙවණැලිත් ඒ නාමාවලියට ඇතුළත් කරගත යුතුයි. එයටත් හොඳම චිත්‍රපටයට හිමි ජනාධිපති සම්මානය හිමිවුණා. කුසපබා චිත්‍රපටයෙන් පසුව තමයි මගේ ගමන් මඟ වෙනස් වුණේ. ජනප්‍රිය සිනමාව යුගයේ අවශ්‍යතාවක්. සිංහල සිනමාවේ රික්තයක් පිරවීමට අවශ්‍ය බව කුසපබා චිත්‍රපටයේ ජනප්‍රියත්වය සමඟ මට පෙනී ගියා. ඒ නිසා මම හිතුවා ජනප්‍රිය ධාරාවේ චිත්‍රපට හැදීමෙන් ඒ රික්තය පිරවීමට මට හැකිවේවි කියලා. ඒ වගේම සිංහල සිනමාවේ පැවැත්ම සඳහා යම් මෙහෙයක් කිරීමට ඒ චිත්‍රපටවලින් හැකියාව ලැබේවි කියලා. මම විජයබා කොල්ලය දක්වා කළේ එවැනි චිත්‍රපට මාලාවක්. එයින් කලාත්මක සිනමාවට කිසිම පාඩුවක් නොවේවි කියලා මම හිතනවා. කලාත්මක සිනමා කෘති නිර්මාණය කිරීමට දක්ෂ තරැණ පරපුරක් අපට සිටිනවා.

අපේ තාක්ෂණික ශිල්පීන් විදේශීය චිත්‍රපට හා සැසඳීමේ දී කොතැනද සිටින්නේ?

අපට දක්ෂ ශිල්පීන් සිටිනවා. දෘෂ්‍ය ප්‍රයෝග, පරිගණක සජීවීකරණය සඳහා විශිෂ්ටයන් අපට ඉන්නවා. නමුත් ගැටලුව වන්නේ අපේ වැය ශීර්ෂය. අපි වාණිජ චිත්‍රපටයක් හැදුවම ඒක දෙමළ චිත්‍රපටයක් සමඟ කෙසේවත් තුලනය කිරීමට බැහැ. ඉන්දියාවේ චිත්‍රපටයකට වැය කරන මුදලින් 1%ක්වත් අපි වාණිජ චිත්‍රපටයකට වැය කරන්නේ නැහැ. ඒ නිසා අපට පරිගණක සජීවීකරණය වගේ දේවල්වලට විශාල මුදලක් වැය කිරීම අපහසුයි. අපේ ප්‍රේක්ෂකාගාරය ඉතා සීමිතයි. අපට සිටින්නේ ලක්ෂ 10ක වගේ නරඹන්නන් සීමාවක්. ලක්ෂ 10ක් නැරඹුවොත් තමයි, අපි බොක්ස් ඔෆිස් කියලා සලකන්නේ. නිෂ්පාදකවරයාගේ මුදලත් බේරාගැනීමට නම් යම් සීමාවකට යටත්ව මුදල් වියදම් කළ යුතු වෙනවා. අපට පද්මාවත් හෝ බාහුබලි තරම්ම දෘෂ්‍ය ප්‍රයෝග කළ නොහැකියි. ඒ චිත්‍රපට ලෝකයේ බොහෝ රටවල්වල පෙන්වනවා. අපිට අපේ වාණිජ චිත්‍රපට පිරටවල පෙන්වන්න බෑ.

එතකොට අපේ සිනමාව ලංකාවටම හිරවෙලාද?

නෑ. අපට විදේශීය රටවල් ජය ගැනීමට වෙන්නේ සම්භාව්‍ය චිත්‍රපට නිර්මාණය කිරීමෙන්.

අපට දක්ෂ තරැණ අධ්‍යක්ෂකවරු සිටින බව ඇත්ත වුණත් ඔවුන් නිර්මාණය කරන චිත්‍රපට පෙන්වීම දුෂ්කර වෙලා නේද?

මේක තාරැණ්‍යය හා සම්බන්ධ ප්‍රශ්නයක්. අපටත් තරැණ කාලෙ අවශ්‍ය වුණේ සම්භාව්‍ය චිත්‍රපට තැනීමට. ඔවුන් කැමති සම්භාව්‍ය චිත්‍රපට නිර්මාණයටයි. ඒ වගේ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට ප්‍රදර්ශන සමාගම එතරම් කැමති නැහැ. ඔවුන්ට අවශ්‍ය වාණිජ චිත්‍රපට බෙදාහැරීමටයි. එවිට ලැබෙන ආදායමෙන් 55%ක් ඔවුන්ට ලැබෙනවා. ඉන් සිනමාශාලා නඩත්තු කිරීමට අවස්ථාව ලැබෙනවා. මේ නිසා සම්භාව්‍ය චිත්‍රපට තනන තරුණයන්ට ප්‍රශ්නයක්  ති‍බෙන බව ඇත්ත.

වාණිජ චිත්‍රපට ධාරාවට බාල චිත්‍රපට රැල්ලක් එකතුවීම සිනමාවේ පිරිහීමට හේතු වුණා නේද?

ඇත්ත. පසු කලකදී වාණිජ චිත්‍රපට කියන එකට වැරදි නිර්වචනයක් ඇතිවූ බව පේනවා. අද එය ඉතා අඩු මුදලකින් අඩු කාලයකින් හදන චිත්‍රපට බවට පත්වෙලා. ඒක වැරදියි. නමුත් රොබින් තම්පෝ, ලෙනින් මොරායස්, යසපාලිත නානායක්කාර, නීල් රෑපසිංහ වගේ අය දශක කිහිපයකට එපිටදී තැනූ චිත්‍රපට හොඳට මුදල් වියදම් කරලා කාලවේලා අරන් හැදුවා. ඒවා හොඳින් දිව්වා. සල්ලි හම්බවුණා. පසුකාලීනව වාණිජ චිත්‍රපට පිරිහුණා. එයින් ප්‍රේක්ෂකයා ඈත්වුණා. දෙපිට කැපෙන දෙබස්, මෝඩ විහිලු, දියාරැ කතන්දර වගේ අංග මේවායේ දකින්න ලැබෙනවා.

සිංහල සිනමාව රුකගැනීම යයි කියමින් පසුගිය කාලයේ කමිටු පත් කළත් වුණු දෙයක් නෑ නේද?

මේ රජය පත්වූ දා සිටම කළේ කමිටු පත් කිරීම. එක් කමිටුවක මමත් හිටියා. ඉතා වැදගත් යෝජනා මාලාවක් එම කමිටුවෙන් ඉදිරිපත් කළත් එය ක්‍රියාත්මක වුණේ නෑ. පසුගිය කාලය තුළ කිසිම විසඳුමක් ප්‍රගමනයක් සහනයක් ලැබුණේ නෑ. ඒක හරිම අභාග්‍යයක්.

කුසුම්සිරි 

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00