2017 මාර්තු 18 වන සෙනසුරාදා

ඔර්ජිනල් මනුස්සකම

 2017 මාර්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 105

 

ඔබ හමුවනතුරු කාන්තාරයෙන් පවා දිය උල්පත් බිඳී ආ හැකි බව මා නොදැන සිටියා. මම බෝඩිමට එනකොට හවස පහමාරත් පහුවෙලා. කිරිඅම්මා නාට්‍යයේ සෙට් එක ගහන්න බඩු ටික ගේන්න යන්න සමන්ත අයියා මම එනකම් බලාගෙන ඉන්නවා. කොහොමහරි ආපු ගමන්ම බැනර් පේන්ට් හොයාගෙන රාජගිරිය පැත්තට ගියා. බෝඩිමේ ඉඳලා රාජගිරිය හන්දියට මීටර සීයක්වත් නෑ. ඒ නිසා අපි පයින්ම ඒ පැත්තට ගියා. හන්දියෙ හාඩ්වෙයාර් එකකවත් බැනර් පේන්ට් නෑ. දැන් කළුවරත් වැටීගෙන එන්නෙ. කරන්න වෙන දෙයක් නැති නිසා හන්දියෙ තියෙන හැම කඩේකින්ම බැනර් පේන්ට් තියනවද කියලා අහගෙන සමන්ත අයියයි මමයි ඇවිදිනවා. 

රාජගිරියෙ ඉඳන් බොරැල්ල පැත්තට තියෙන බස් හෝල්ට් එකේ සෙනඟ පිරිලා. නතර වෙන්න බෑ. මිනිස්සු එන්නෙ පෙරළගෙන යන්න. හැපුනොත් එහෙම කොඳු කඩලා යනවා. බස් හෝල්ට් එක ගාවම තියෙන කඩේ ඉස්සරහටවෙලා අපි දෙන්නා කල්පනා කළේ මොනවද කරන්නෙ කියලා. අපිට හිටපු තැනට පොඩ්ඩක් එහාට වෙන්න පේමන්ට් එකේ කළු හීන්දෑරි මනුස්සයෙක් අලිපේර විකුණනවා. සීයට පායි... සීයට පායි.. මිනිහගෙ බැරණ්ඩි වුණ හඬ හෙණ සද්දෙට වැඩියෙන් ඇහෙනවා. මිනිහා අලිපේර ටික කාගෙ හරි ඇඟේ ගහන්න මාර ට්‍රයි එක. අත් දෙකට ගන්න පුළුවන් ගෙඩි ටික අරගෙන මිනිස්සු පස්සෙන් වාත වෙවී ඇවිදිනවා. මූ නම් කුඩුකාරයෙක්. නැත්තම් මෙච්වර ලොකු අලිපේර කුණුකොල්ලෙට විකුණන්න හදන්නෙ මම එහෙම හිතුවා. මිනිහට අවුරුදු තිස්පහක් විතර ඇති. තරමක් රැවුලයි කොණ්ඩෙයි වැවිලා. ගෙවිච්ච සෙරෙප්පු කෑලි දෙකයි, කළුවුණ ඩෙනිමයි, දාඩියෙන් ඇඟටම ඇලුන ටී-ෂර්ට් එකයි. කාලකණ්ණි කුඩ්ඩො, කොහෙන් හරි මොනව හරි උස්සලා විකුණනවා කුඩු ගහන්න මම හිතිත් ඒ මනුස්සයට බණිනවා. මමම නඩුව අහලා ඌ කුඩ්ඩෙක් කියලා තීන්දු කරලා ඉවරයි. දැන් මමයි සමන්ත අයියයි මිනිහා දිහා බලාගෙන ඉන්නවා. 

මිනිහත් කෑගගහා අලිපේර විකුණනවා. ටික වෙලාවකින් ඇවිද ඇවිද අලිපේර විකුණපු මිනිහා එක තැන නතරවෙලා සෙනඟ ගොඩ දිහා බලාගෙන ඉන්නවා. මූ ෂුවර් එකටම කාට හරි ගේමක් දෙන්න හදන්නෙ මට හිතුණම එහෙම. මිනිහා ඊට පස්සෙ අතේ තිබුණ අලිපේර ටික බිම තිබුණ පෝර උරේටම දාලා සෙනඟ අතරට යනවා. අයියා, කොහාටද යන්න ඕනෙ? මිනිහා බස් හෝල්ට් එකේ ඉන්න මනුස්සයෙක්ගෙ අතින් අල්ලගෙන ඇහුවා. බොරුල්ලට ඉන්න අයියෙ මම බස් එකකට නග්ගවන්නම් එතකොටයි මම අනිත් මනුස්සයා දිහා හොඳට බැලුවෙ. ඒ මනුස්සයා අන්ධයි. සෙනඟ ගොඩක් මැද්දෙ බස් එකට නගින්න විදිහක් නැතුව ඉන්නවා. අර හීන්දෑරි කුඩුකාරයා අන්ධ මනුස්සයගෙ අතින් අල්ලගෙන ගිහින් ඊළඟට ආපු බස් එකට නැග්ගුවා. මගෙ ඔළුවට පොල්ලකින් ගැහුවා වගේ. අපිත් ඇතුළුව එතන අඩුම තරමෙ තිහක්වත් ඉන්න ඇති. ඒත් බස් එකට නැගගන්න බැරුව හිටිය මනුස්සයාගෙ අවශ්‍යතාවය හරියටම දැක්කෙ මම කලින්, කුඩුකාරයා කියලා ලේබල් කරපු සහෝදරයා විතරයි. ඒ සිද්ධිය එහෙමම ඉවර වුණා. අපිත් බඩු ටික හොයාගෙන පැය එකහමාරකට විතර පස්සෙ බෝඩිම පැත්තට ඇවිදගෙන ආවා. 

අර සහෝදරයා අලිපේර මල්ලත් එල්ලගෙන බත්තරමුල්ල පැත්තට යනවා. ඒ අතර පාර අයිනෙ ඉන්න කාටහරි තව ගෙඩියක් දෙකක් විකුණන්න හදනවා. සමන්ත අයියෙ අර මනුස්සයා.. මම දැක්කා. අපිට නැත්තෙ ඔය සෙන්ස් එක. අපි ලොකු දේවල් හිතනවා. ලොකු දේවල් කරන්න හදනවා. ඒ වුණාට ජීවත් වෙනවා කියන්නෙ සරලවම මේ මොහොත උපරිමයෙන් විඳින එකට. ඒ මනුස්සයා උදවු කළේ කිසිම දෙයක් ආපහු ලබන බලාපොරොත්තුවෙන් කියලා මම හිතන්නෙ නෑ. අඩුම ගානෙ අන්ධ මිනිහා අලිපේර ගෙඩියක්වත් ගත්තෙ නෑනෙ. සමහර වෙලාවට මීට කලින් හම්බවෙලාවත් දැකලාවත් නැතුව ඇති. ඒක තමයි ඔර්ජිනල් මනුස්සකම. කාටහරි උදවු කරලා selfi ගහලා face book එකේ දාලා like කොච්චර වැටෙනවද? Comments කොච්වර තියෙනවද? කියලා බලන පරම්පරාවක හැංගිලා තියෙන ඇත්ත මනුස්සකම. 

ඒ මනුස්සයා තව කාටහරි උදවු කළා කියලා දැන් මතකවත් නැතුව ඇති... අන්න මිනිස්සු සමන්ත අයියා කතාව එහෙම නතර කළා. හැම මනුස්සයෙක්ගෙම ජීවිතවල අපි නොදැකපු පැත්තක් තියෙනවා. අහලා නැති කතාවක් තියෙනවා. ඒ නිසා මිනිහෙක් දිහා බලලා මූ මෙහෙමයි කියලා විනිශ්චය කරනවට වඩා ඒ මනුස්සයගෙ තියෙන එක යහපතක් දකින්න පුළුවන් වුණානම්, සමාජය දිහා මීට වඩා සුන්දරව බලන්න පුළුවන් වෙයි. අනිත් මනුස්සයා හොඳද නරකද කියලා විනිශ්චය කරන්න මම කවුද? මගෙම කොච්චර වැරදි තියෙනවද? හැම මනුස්සයටම යහපත කිරීමේ නිසඟ ආශාවක් හා හැකියාවක් තියෙනවා කියලා දැන් මට හිතෙනවා. ඒ ආශාව මොන හේතුවක් හින්දා යටපත්වෙලා තිබුණත් කොයිවෙලේ හරි ඒ මනුස්සකම අපි ඉස්සරහ හිටගන්නවා. එදාට කුඩුකාරයා... මංකොල්ලකාරයා... මැරයා... වෙසඟන... කියලා මමම ලේබල් කරපු සහෝදරයාගෙ මනුස්සකම ඉස්සරහා මම දණගහනවා.

 චන්දිම කාරියවසම්