2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා

කෝටි 57ක් දඩ ගෙවූ ඩෝප් රියැදුරෝ

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 43

රථවාහන නීතිය දිවයින පුරා තදින් ක්‍රියාත්මකය. බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම නිතිපතා සිදුවේ. ජූලි 5 වැනිදා ආරම්භ කෙරුණු මෙහෙයුමට අනුව මාස 5 ක් ගතවූ නොවැම්බර් 5 වැනිදා වන විට බීමත් රියැදුරන් 23,000 ක් අත්අඩංගුවට ගැනීමෙන් රජයට රැපියල් පනස් හත් කෝටි පනස් ලක්ෂයක අමතර ආදායමක් උපයා දීමට රථවාහන පොලීසිය සමත්ව සිටියි.

පසුගිය ජූලි 5 වැනිදා ආරම්භ කළ මෙහෙයුමේ සාර්ථකත්වය අනුව මාසයකට සීමා කිරීමට නියමිතව තිබූ වැටලීම තවදුරටත් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමත් සමඟ සිදුවෙමින් පැවැති රිය අනතුරැ හා මරණ ප්‍රමාණය විශාල වශයෙන් අඩු වී තිබෙන බව පොලීසිය සඳහන් කරයි.

මෙකී වැටලීම් අනුව බීමත් රියැදුරකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේදී රුපියල් 23,000 – 30,000 අතර දඩ මුදලකට යටත් වීමට සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවසීය. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මගී ප්‍රවාහන රථයක් පදවන රියැදුරකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව නියමිත දඩ මුදලට අමතරව සය මාසයක සිරදඬුවමක් හෝ එම දඬුවම් දෙකම යටත් කිරීමට හැකියාව පවතින බවත් රියැදුරු බලපත්‍රය අවලංගු කිරීමේ බලය පවතින බවත්ය. එසේම වෙනත් වාහනයක් පදවන රියැදුරකු නම් අදාළ දඩ මුදලට අමතරව මාස තුනක සිරදඬුවමක් හෝ දඬුවම් දෙකම ක්‍රියාත්මක කළ හැකි බවද හෙතෙම පැවසීය. ඊට අමතරව වසරක කාලයකට රියැදුරු බලපත්‍රය අත්හිටුවීම සඳහා නීතිමය ප්‍රතිපාදන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේදී සැකකාර රියැදුරකු අධිකරණයට ඉදිරිපත් කර වරදකරු වූයේ නම් අත්අඩංගුවට ගැනීම සිදුකළ පොලිස් නිලධාරීන්ට පොලිස් ත්‍යාග අරමුදල යටතේ ත්‍යාග පිරිනැමීමට කටයුතු කරයි. ඒ අනුව බර වාහනයක් පැදවූ රියැදුරකු වරදකරු වූයේ නම් ඔහු වෙනුවෙන් රුපියල් 5,000ක ත්‍යාග මුදලක් සහ සාමාන්‍ය වාහනය පැදවූ රියැදුරකු වෙනුවෙන් රුපියල් 2,500 ක් වශයෙන් ත්‍යාග පිරිනැමීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. මේ අතර අත්අඩංගුවට ගනු ලබන ඕනෑම රියැදුරකු නිදහස් කිරීම සඳහා ඉල්ලීම් හෝ බලපෑම් කරන ඕනෑම කෙනකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කරයි.

ගතවූ මාස 5ක කාලය තුළ අත්අඩංගුවට ගත් බීමත් රියැදුරන් 23,000කට අධික ප්‍රමාණයෙන් මේ වන විටත් දහස් ගණනකට එරෙහිව අධිකරණ කටයුතු සිදුකරමින් පවතී. ප්‍රධාන නගර ආශ්‍රිතව පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහා මංතීරැ නීතිය ක්‍රියාත්මකය. මෙය මෝටර් රථවාහන පනතේ අංක 148 වැනි වගන්තිය යටතේ ක්‍රියාවට නංවා තිබේ. මෙම නීතිය ප්‍රකාරව අදාළ නීති කඩකරන රියැදුරන්ට රුපියල් 2,000ක දඩයකට යටත් වීමට සිදුවනු ඇත.

කොළඹ නගරයේ ක්‍රියාත්මක බස් මංතීරු නීතිය රථවාහන තදබදයට හා අනතුරු අවම කිරීමට පිළියමකි. එහෙත් රථවාහන පොලීසිය සඳහන් කරන්නේ ත්‍රිරෝද රථ, යතුරුපැදි, පෞද්ගලික බස් රථ අධික ලෙස නීතිය උල්ලංඝනය කරන බවත් එය වාහන තදබදයකට හේතුවක් වී ඇති බවය.

ඉකුත් 2018 වසරේ පළමු මාස 6 තුළ මාරක රිය අනතුරු 1552 ක් සිදුව ඇතැයි වාර්තා වේ. එමගින් ජීවිතක්ෂයට පත්වූ ගණන 1632 කි. මේ වසරේ මුල් මාස හය තුළ සිදු වූ මාරක රිය අනතුරු ගණන 1281 කි. එමගින් මරණයට පත් ගණන 1347 ක් ලෙස ද වාර්තා වේ. මේ අනුව මාරක රිය අනතුරු 271 ක් හා මියගිය සංඛ්‍යාව 258 ක් දක්වා අඩුවීමට හේතුව බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම බවත් එමගින් රිය අනතුරු හා මරණ අඩුකර ගැනීමට හැකියාව ලැබී ඇතැයි ද පොලීසිය වාර්තා කරයි.

කොළඹ නාගරික රථවාහන පොලිස් කොට්ඨාසය, බස්නාහිර පළාත උතුර රථවාහන පොලිස් කොට්ඨාසය හා බස්නාහිර පළාත් දකුණු රථවාහන පොලිස් කොට්ඨාසය මූලිකත්වයෙන් කොළඹ නගරයේ රථවාහන පාලනය කරනු ලබයි. ඊට අමතරව දිවයින පුරා විහිදුණු පොලිස්ථාන මට්ටමින් ක්‍රියාත්මක රථවාහන පොලිස් ඒකක විසින් ද රථවාහන නීති උල්ලංඝනයට එරෙහිව නීතිමය පියවර ගනු ලබයි.

එබැවින් නිතිපතා තදින් ක්‍රියාත්මක රථවාහන නීති හේතුවෙන් අනවශ්‍ය දඩ මුදලට යටත් නොවී නීතිගරුකව හා කල්පනාකාරීව රිය ධාවනය කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.

සමන්ත ප්‍රදීප් විල්තෙර