2017 මාර්තු 18 වන සෙනසුරාදා

වධක ඔබ සැරදේ!

 2017 මාර්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 57

ඔවුන් එසේ එරෙහි වීමට හේතු ලෙස දැක්වුයේ මාලන් බ්‍රැණ්ඩෝ අමෙරිකානු නළුවෙකු වීමය. අමෙරිකාව අධිරාජ්‍යවාදී රටක් බැවින් මාලන් බ්‍රැණ්ඩෝගේ චිත්‍රපට අප පෙන්විය යුතු නැත. රසිකත්වය විටෙක එපමණට හාස්‍යජනක විය. පසුගිය දිනෙක කෞෂල්‍යා ප්‍රනාන්දුගේ වේදිකා නාට්‍යයකට පේරාදෙණියේදී හූ කීවේය. ඒ එහි තිබුණු සිප ගැනීමේ දර්ශනයකට විරෝධය පාමිණි. රසිකත්වය එපමණට හෑල්ලු කිරීම වලේ නාට්‍ය පෙන් වූ සරච්චන්ද්‍රට නිගා කිරීමක් බව එකී හූ කී අයට අමතක වෙන්නට ඇත. මහින්දාගමනයට අත්පුඩි ගසන සමාජය අශෝක හදගම එල්ලා මරන්නට යෝජනා කරති. ඒ මහා සමාජයේ පසුගාමීත්වයය. ඒ පසුගාමීත්වයේ කිසියම් ස්වරූපයක් විශ්වවිද්‍යාල සිසු සිසුවියන් තුළින්ද පරාවර්තනය වීම නොවැළැක්විය හැකිය. නවක වධයට අදාළ කතා බහද මහා සමාජය අදාළ වන්නේ මෙපරිද්දෙනි. ලංකාවේ සමාජය යනු වධය විවිධ ස්වරූපයෙන් නඩත්තු කරන සමාජයකි. 

වධකයාගේ ප්‍රශස්තම භූමිකාව නිරූපණය කරන්නේ අපේ පාලකයන්ය. ඔවුන් බදු ගසමින් ජනතාවට වධ දෙති. ඔවුන් වැට් ගසමින් ජනතාවට වධ දෙති. ඔවුන් ජීවන වියදම ඉහළ දමමින් ජනතාවට වධ දෙති. ඔවුන් සියලු ආකාරයේ අසමානත්වයන් නඩත්තු කරමින් ජනතාවට වධ දෙති. 
ඔවුන් සියලු ආකාරයේ සූරාකෑම් නඩත්තු කරමින් ජනතාවට වධ දෙති. ඇතැමුන් රතුපස්වලදි ජනතාවට වෙඩි තබමින් වධ දුන්හ. ඔවුන් හලාවතදී වෙඩි තබමින් ජනතාවට වධ දුන්හ. ඔවුන් කටුනායකදී ද වෙඩි තබමින් ජනතාවට වධ දුන්හ. ඔවුන් 71 දී තරුණයන් ගංඟාවල පා කරමින් ජනතාවට වධ දුන්හ. ඔවුන් 89දී තරුණයන් ටයර් සෑ මත පා කරමින් ජනතාවට වධ දුන්හ. අදද විශ්ව විද්‍යාල තුළ ප්‍රතිපාදන කපා හරිමින්, සුබ සාධන පහසුකම් කපා හරිමින් ශිෂ්‍යයන්ට වධ දෙති. පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවමින් අධ්‍යාපනයේ සම අවස්ථා අහිමි කරමින් ජනතාවට නව ආකාරයේ වධයක් ඔවුන් සූදානම් කරමින් සිටිති. 

මේ සියලු ආකාරයේ වධයන් නොදුටු නෙතින් පසුවන සමාජයක් නවක වධය ගැන මේ තරම් උඩ පනිමින් කතා කිරීම අපට වධයකි. එමෙන්ම විහිළුවකි. මෙය විහිළුවක් ලෙස බාරගැනීමට ශිෂ්‍ය ව්‍යාපාරය සූදානම් නොවිය යුතුය. සරසවි සිසුවා යනු මහා සමාජයේම නියෝජනයක් යැයි අප පිළිගන්නේ නම්, මහා සමාජය විසින් නඩත්තු කරමින් සිටින වධය ඔවුන් තුළින් ද පරාජය වීම නොවැළැක්විය හැකි බව අප පිළිගත යුතුය. එහෙත් නවක වධයට අදාළ කාරණාව සම්බන්ධයෙන් ශිෂ්‍ය ව්‍යාපාරයේ පතාක නියෝජිතයා වන අන්තරේට වගකීමක් ඇති බව පැහැර හැරිය නොහැකිය. ඒ මෙවැන්නකි.

රසිකත්වයේ තරම ගැන නිදසුන් දුන් අපට රසිකත්වයටම අදාළ විශ්වවිද්‍යාල ක්‍රියාකාරකම් මඟහැර කතා කරන්නට නොහැක. එහෙම කතා කරන ඇතැමුන් සිටියද අපට කිසිසේතම එලෙසින් කුහක වෙන්නට නොහැකිය. කොටසක් වලේ හූ කියද්දී තව කොටසක් කලා උළෙලවල් සංවිධානය කරති. සංවාද සංවිධානය කරති. පොත් කියවීම් සංවිධානය කරති. ශ්‍රාස්තීය සංවාද පවත්වති. දැනුම ගවේෂණය කරති. මහා සමාජයේ දී ලැබෙන අවධානයට තැබෙන බරට වඩා බරක් එකී ක්‍රියාකාරකම් වලට අදාළව සිදුවන්නේ අන්තරේ මැදිහත් වීමෙනි. එනිසාම මහා සමාජය තුළින් ගෙන ආ ඇතැම් ලක්ෂණ යම් තරමකට කප්පාදු කොට වෙනත් උපසංස්කෘතියක් ගොඩ නගන්නට ඔවුන් සමත් වී තිබේ. එය අගේ කළ යුතුවාක් මෙන්ම වර්ධනය කළ යුතුවද ඇත්තකි. 

අපේ ප්‍රශ්නය ඇත්තේ නවක වධයට අදාළව ශිෂ්‍ය ව්‍යාපාරය පැත්තෙන් එබදු මැදිහත් වීමක් නොකෙරෙන්නේ මන්ද යන්නය. නවක වධයට අදාළව සිදුවීම් හුදු පුද්ගල බද්ධ කාරණාවක් විය හැකි වුවද එය සංවිධානාත්මකව පරාජය කරන්නට අන්තරේ සමත්කමක් දැක්විය යුතුය. එයට දියුණු දේශපාලන භාවිතාවක් අන්තරේට තිබිය යුතුය. එවැන්නක් නැති සංවිධානයක් විශාල ජයග්‍රහණ රටට දිනා දෙන්නේ කෙසේදැයි මැදිහත් පාර්ශවයන් තුළින් සැක සංකා මතුවීම අන්තරේ සමාජ ක්‍රියාකාරීත්වයට යහපතක් නොවේ. දෛනිකව අපරාධ සිදුවන, දෛනිකව මිනිස්කම දූෂණය කෙරෙමින් සිටින, දෛනිකව නව ලිබරල් පාරිභෝජනවාදයට ගොදුරැ කෙරෙමින් සිටින රටක විශ්වවිද්‍යාල සිසුන්ගෙන් පමණක් අති පාරිශුද්ධ පරමාදර්ශ ප්‍රාර්ථනා කරන්නට තරම් අප මුග්ධ නැත. එහෙත් මේ සිදුවෙමින් පවතින නව ලිබරල් ව්‍යසනයට අඩයක් වන්නට ඔවුන්ට හැකිය. ඊට එරෙහිව බලවේග සංවිධානය කරන්නට ඔවුන්ට හැකිය. ඊට එරෙහිව සටන් වදින්නට ඔවුන්ට හැකිය. නවක වධයට එරෙහි විශ්වවිද්‍යාල තුළ කෙරෙන තීරණාත්මක සටනක් අන්ත‍රෙට ප්‍රබල සමාජ අවධානයක් සහ ප්‍රශංසාවක් හිමි කර දෙනු නියතය. 

එමෙන්ම එවැනි අවධානයක් සහ ප්‍රශංසාවක් අන්තරේ සමාජ දේශපාලන ක්‍රියාකාරීත්වයකට අදාළව සුවිශේෂී ජයග්‍රහණ දිනා දෙනු ඇත. නොඑසේව තවදුරටත් ඉපැරුණි ග්‍රෝත්‍රිකත්වයට සරසවි තුළ ඉඩ ඉතුරැ කරන්නේ නම් ජනතාව ඔවුන්ගෙන් දුරස් වෙනු ඇත. ජනතාව නැතිවද..? &සයිටම්* වසා දමන්නේ කොහොමද..? ජනතාව නැතිව පෞද්ගලික විශ්ව විද්‍යාල පරාජය කරන්නේ කොහොමද..? ජනතාව නැතිව වීදි සටන් කරන්නේ කොහොමද...? අන්තරේ තේරැම් ගත යුත්ත එකී ඉපැරුණි ග්‍රෝත්‍රිකත්වයට වඩා ජනතා සහාය ඉතා වැදගත් බව පමණය. ඔවුන්ගේ අනාගත ජයග්‍රහණ තීරණය කෙරෙනු ඇත්තේ එකී තේරැම් ගැනීම විසිනි.

නලින්ද සංජීව

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00