2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා

ජනාධිපතිවරණය ඉවර වූ ගමන් මහ මැතිවරණයක් ඕනෑද?

 2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 12:31 204

මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයකි. එහිදී රාජ්‍යය පාලනයක් සඳහා නියෝජිතයන් පත්කර ගැනීමේ බලය මහජනතාවට ලැබෙයි. එය බලයක් නොව ජනතාවගේ මූලික අයිතියක් සේ ගැනීම වඩා නිවැරදිය. ඒකාධිපති පාලනයක් තුළ එම අයිතිය ලැබෙන්නේ නැත. ආණ්ඩුවකට මැතිවරණ පැවැත් වීම ඔස්සේ මහජනතාවගේ විශ්වාසය ගොඩනගා ගතහැකිය. ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි රටවල ජනතාව ඉතා ඉක්මනින්ම මැතිවරණ අපේක්ෂා කරති. එහෙත් මැතිවරණ පැවැත්විය හැක්කේ රටේ නීතියට ව්‍යවස්ථාවට හා සම්ප්‍රදායට අනුවය.

රටේ පවතින වත්මන් දේශපාලන සහ ආර්ථික තත්ත්වය හේතුවෙන් රට යම් අරාජික තත්ත්වයක් කරා සෙමින් තල්ලු වන බවට බොහෝ දෙනෙක් පවසති. එය තවදුරටත් නිරීක්ෂණය කිරීමේදී දකින්නට ඇත්තේ මධ්‍යස්ථ බුද්ධිමතුන් ද මේ ගැන සංවාදයක් අරඹා ඇති බවයි. 

මේ සඳහා බුද්ධිමතුන් සහ ආගමික නායකයන් ලබාදෙන විසඳුම් යෝජනාව බවට පත්ව ඇත්තේ ජනාධිපතිවරණය හමාර වූ විගසින්ම මහ මැතිවරණයක් පැවැත්විය යුතුය යන්නය. මහ මැතිවරණයක් පවත්වා ස්ථාවර හා ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීම හැර වෙනත් දේශපාලන විකල්පයක් මීට නැති බව විද්වත්හු පෙන්වා දෙති. පොදු සමාජය නිරීක්ෂණය කළද පෙනී යන්නේ ඉක්මනින් මැතිවරණයක් පිළිබඳ අදහස ටික කලක සිට වර්ධනය වන බවය. මහජනතාවගේ අදහසට පාලකයන් ගරුකළ යුතු අතර එය ප්‍රජාතාන්ත්‍රීය ලක්ෂණයකි. 

මේ අතර දේශපාලන සංවාදයට තවත් මාතෘකා දෙකක් ඉදිරිපත් වී තිබේ. පළමු වැන්න යළිත් ජාතික ආණ්ඩුවක් ඇති කිරීමේ යෝජනාවයි. දෙවැන්න නව ව්‍යවස්ථාවක් ඇති කිරීමේ යෝජනාවයි. මේ යෝජනා දෙක වැදගත්ය. රටට ගැලපෙන හා අවශ්‍ය ව්‍යවස්ථාවක් නැතිකම නිසා දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ ආරවුල් ඇති වූ බව පැහැදිලිය. ව්‍යවස්ථාව යනු රටක ඇති මූලික නීති රාමුව බැවින් එය පළමුව සකස් කර ගැනීම වැදගත්ය. ඒ සඳහා ශක්තිමත් ආණ්ඩුවක්ද තිබීම වැදගත් වෙයි. දුර්වල ආණ්ඩු පවතින විට දේශපාලන තීන්දු හා ආර්ථික තීන්දු ගැනීම අපහසුය. පසුගිය කාලය පුරාවටම එය සනාථ වී තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදී රටක මහජන ඡන්දයෙන් පාලකයන් තෝරාගැනීම යන්න විග්‍රහ වී ඇත්තේ “නිදහස් ඡන්දයෙන් සීමිත කාලයක් සඳහා යහපත් පාලකයන් තෝරා ගැනීම.” යනුවෙන්ය. සීමිත කාලයක් යන්න ඉතා වැදගත්ය. නියමිත කාලයට තනතුරු අත්හැරීම, නියමිත කාලයට ඡන්ද පැවැත්වීම හා වැදගත් සාධක දෙක සීමිත කාලය යන්නෙහි යටි අරුත වෙයි. අමෙරිකාවේ ජනාධිපතිවරු පමණක් නොව සෙසු මන්ත්‍රීවරු ද නියමිත කාලයේදී පත්කර ගනු ලබති. නියමිත කාලයේදී පිටව යති. එංගලන්තය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව වැනි රටවල් ද මීට නිදසුන් ලෙස ගත හැකිය. වඩාත් පරමාධිපත්‍යය සියලු බලයන්ට ඉහළින් පවතින බව ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිගැනීම වෙයි.

මෙවර ජනාධිපතිවරණය පවත්වා ඉවර වූ සැණින්ම මහ මැතිවරණයකට යෑමේ අවශ්‍යතාව පිළිබඳ පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයන්ගෙන් දේශයේ අපි විමසීමක් කළෙමු.

අපි දිනපු ගමන් මහ මැතිවරණයක් එනවා!
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

මේ රටේ නායකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වන දිනය වැඩි ඈතක නෙවෙයි තියෙන්නේ. එතුමා මේ රටේ නායකයා ලෙස පත්වුණායින් පස්සේ එතුමාගේ නායකත්වයක් යටතේ මේ ඉන්න කැබිනට් මණ්ඩලය හා මන්ත්‍රී මණ්ඩලය එක්ව එතුමාට වැඩ කිරීමේ හැකියාවක් නැහැ. මොකද මේ රටේ ජනතාවට දැන් අවශ්‍ය වන්නේ වෙනසක්. ඒ වෙනස ඇති කරන්න මේ රජයේ සිටින ඇමැති මණ්ඩලයටවත් මන්ත්‍රී මණ්ඩලයටවත් බැහැ. ඒ වගේම තමයි මේ වර්තමාන ආණ්ඩුව අවුරුදු හතරකට අධික කාලයක් මුළුල්ලේ මේ රටේ ජනතාවට දුන්න පීඩනයත් ඔවුන්ට අමතක වී නැහැ. ඒ වගේම තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයක් වූ ඡන්දය පවා මොවුන්ට නියමිත කාලයට පවත්වන්න කිසි වුවමනාවක් නොතිබීම. ඒකට ප්‍රධාන හේතුව තමයි මේ වර්තමාන ආණ්ඩුව දැනගෙන හිටියා ඔවුන් මේ රටට කරපු විනාශයත් සමඟම මැතිවරණවලදී ජනතාව ඔවුන්ට නිසි ප්‍රතිචාර ලබා දෙන බව. කොහොම වුණත් අපගේ ජනාධිපති අපේක්ෂකයා මේ වනවිට ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වා තිබෙනවා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ජනතාවට ලබාදෙන සියලු දේ කියවිලා තිබෙනවා. ජනතාවට රටට ආදරය කරන නායකයෙක් බිහිවී සිටිනවා. ඒක විශාල ජනතා වරමකින් එතුමාට ලබා දෙනවා. මේ ජනතාව එහෙත් එතුමාට මේ දැනට පවතින රජය යටතේ ඒ මැති ඇමැතිවරුන් එක්ක එතුමාගේ ගමන යන්න බැහැ. මේ වර්තමාන ආණ්ඩුව දෙමළ ජාතික සන්ධානය ඇතුළු තවත් පක්ෂ ගණනක් එක්ක එකතුවෙලා තමයි මේ මැතිවරණයට මුහුණ දෙන්න යන්නේ. නමුත් රටේ ආරක්ෂාව ගැන මොවුන් කිසිම තැකීමක් කරන්නේ නැහැ. ඒ නිසා මේ ජනාධිපතිවරණය පවත්වා ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීමෙන් පසුව එතුමාගේ මේ සංකල්ප දිගටම අරගෙන යන්න හැකි ඉක්මනින්ම මහ මැතිවරණයට යාම අවශ්‍යයි.

17 වැනිදාට පස්සේ අපේ ජනාධිපතිතුමා එක්ක ආණ්ඩුව ඉදිරියට යනවා
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍යය අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල

19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව තේරීපත්වී අවුරුදු හතරහමාරක් ගියපසු තමයි නැවත පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට හැකියාව ලැබෙන්නේ. ජනාධිපති වූ පමණින් එහෙම ආණ්ඩු මාරු කිරීමට හැකියාවක් නැහැ. අපිට විශාල විශ්වාසයක් තියන මේ මාසේ 17 වැනිදා වෙනකොට සජිත් ප්‍රේමදාස මහතා එජාපයේ ජනපති අපේක්ෂකයා ජනාධිපති විදිහට පත්වෙයි. එතුමා ජනාධිපතිවරයා ලෙස පත්වුණාට පස්සේ අපගේ මේ ආණ්ඩුව මේ අවුරුදු හතරේ ජනතාවට කරපු සේවයට වඩා ඉහළ ගිය සේවයක් ඉටුකරනවා. මේ රටේම එජාප අපේක්ෂකයන්ගේ බලාපොරොත්තු මේ වනවිට ඉෂ්ට වෙනවා. ඒ වගේම තමයි මේ වර්තමාන රජය කරපු වැඩ කොටස මෙතෙක් බලයට පත්වූ කිසිම ආණ්ඩුවක් ඉටුකළේ නැහැ. ඒ වගේම තමයි මේ වත්මන් රජය පෙරළන්න බලාපොරොත්තු වන යම් පිරිසක් විපක්ෂයේ ඉන්නවා. ඒ අයට වුවමනා මේ රජය පෙරළා දමා ඔවුන්ට බලය ලබාගන්න. ඒ බලය ලබාගත්තා කියා ඔවුන් කිසිදු සේවයක් මේ මහජනයාට ඉෂ්ට කරන්නේ නැහැ කියලා අපිට සක්සුදක් සේ පැහැදිලියි. කොහොම වුණත් මේ 17 වැනිදායින් පස්සේ එජාපයේ අපේම ජනාධිපතිවරයෙක් යටතේ මේ ආණ්ඩුව ඉදිරියටත් කරගෙන යනවා.

ජනාධිපතිවරණයෙන් පස්සෙ බලමු මොකද වෙන්නෙ කියලා
ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන්

මහ මැතිවරණයක් පවත්වන්න තවත් මාස 6කට වැඩි කාලයක් තියනවා. එහෙම තියෙන්නේ මේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා විසින් අවුරුදු හතර හමාරකින් පමණ මේ ආණ්ඩුව විසුරුවොත් පමණයි. තවම ජනාධිපතිවරණය පිළිබඳවත් අපි නිශ්චිත තීන්දුවකට ඇවිත් නැහැ. කොහොම වුණත් ඉදිරි ජනාධිපතිවරණයෙන් පත්වෙන කිසිම ජනාධිපතිවරයෙක් මේ ව්‍යවස්ථාවට පිටින් කටයුතු කරයි කියලා හිතන්න බැහැ. මොකද ඔවුන් මේ ජනතාවට පොරොන්දු ලබා දෙනවා ව්‍යවස්ථාව අනුව කටයුතු කරනවා කියලා. මේ රජයත් ජනතාවට සේවයක් ඉටුකර තිබෙනවා. මුලින්ම පවත්වන්න ඕන ජනාධිපතිවරණය. ඒ නිසා ජනාධිපතිවරණයෙන් පස්සේ බලමු මොකද වෙන්නේ කියලා.

ජනාධිපති කවුරු වුණත් ව්‍යවස්ථාවට අනුව වැඩකළ යුතුයි
කම්කරු ජාතික පෙරමුණ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මයිල්වාගනම් තිලකරාජා

ජනාධිපතිවරණය හමාර වූ විගසම පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුයි කියන කාරණය අපි විශ්වාස කරන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුව විසිරුවන්න ඕන අවම වශයෙන් අවුරුදු හතරහමාරක් ගියාට පස්සේ. ඒ කියන්නේ තවත් මාස හයක් විතර තියනවා අවුරුදු හතරහමාරෙන් මේ පාර්ලිමේන්තුව විසුරවනු ලැබීමට. ඇතැමුන්ට හිතන්න පුළුවන් මේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරපු පමණින්ම මහ මැතිවරණයක් පවත්වා ආණ්ඩු බලය ලබාගන්න. නමුත් අපි කවුරු වුණත් මේ ව්‍යවස්ථාවට අනුව කටයුතු කළ යුතුයි. අපි දැක්කනේ පසුගිය කාලයෙත් එවැනි සිදුවීමක් වුණා. නමුත් එහිදී අන්තිමට වුණේ නැවත ඒ බලයේ සිටි පක්ෂයටම ජයග්‍රහණය ලැබුණු එක පමණයි. කොහොම නමුත් තවමත් ජනපතිවරණය පැවැත් වී නැහැ. එයට තවත් කල්තියනවා අපි බලමු මොකද වෙන්නේ කියලා. මම හිතනවා පත්වන ඕනෑම ජනපතිවරයෙක් මේ ව්‍යවස්ථාව අනුව කටයුතු කරයි කියලා.

හැකි ඉක්මනින් මහ මැතිවරණයක් ඕනෑ
ජාතික නිදහස් පෙරමුණ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර

ජනාධිපතිවරණය පැවැත් වූ විගසම මහ මැතිවරණයකට යාමට අවශ්‍යයි කියන මතයේ අපි ඉන්නවා. මොකද ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ නායකයා කරන්න විශාල උනන්දුවක් වුවමනාවක් මේ ජනතාවට තියනවා. “සෞභාගයේ දැක්ම ලෙස එතුමා ඉදිරිපත් කළ මෙම වැඩපිළිවෙළ මේ සිටින ඇමැතිවරුන් සමඟ එතුමාට ක්‍රියාවට නැංවීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ එතුමාට හිමිවන ජනවරමත් එක්ක එතුමාට අලුතින් පාර්ලිමේන්තුවක් යටතේ අලුත් නායකත්වයක් අවශ්‍යය වනවා. මොකද එතුමා දිව්රුම් දුන් මොහොතේ පටන්ම එතුමාගේ මෙම වැඩපිළිවෙළ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්විය යුතුයි. ඉතිහාසයේ කවර ආකාරයටවත් නොවූ විරූ ආකාරයට මේ ජනාධිපතිවරණය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරන බව සනාථයි. ආණ්ඩුව මෙතෙක් කාලයක් පුරාවට මේ ජනතාව රැවැට්ටුවා. නමුත් දැන් ජනතාවට කාලය එළඹී තියනවා මේ පිළිබඳ තීරණයක් ගන්න. ඒ නිසා ඉක්මනින් මේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල එක්කම මහමැතිවරණයත් පවත්වා මේ ජනතාවට සේවය කළ යුතුය යන මතයේ මම ඉන්නවා.

ඕන ඕන වෙලාවට මහ ඡන්දයක් තියන්න නම් ව්‍යවස්ථාවක් ඕන නැහැනේ
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස

අපිට ඕන ඕන හැටියට ඡන්ද තීන්දු කරන්න බැහැ. ඡන්ද පැවැත්වීම සඳහා ව්‍යවස්ථාවෙන් නියම කරන ලද කාලවකවානුවක් තියනවා. දැන් ඔය මහින්ද රජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම අත උස්සලා තමයි 19 සංශෝධනය පාර්ලිමේන්තුව තුළ සංශෝධනය කළේ. ඒ අනුව ජනාධිපතිවරයාටවත් අවුරුදු හතරහමාරක් යනකම් පාර්ලිමේන්තුව විසුරැවන්න බැහැ. මේ ජනාධිපතිවරණය අවසන් වී මාස තුන හමාරක් ගියාම පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන්. ඉතින් එහෙම විසුරුවලා ඡන්දයක් තියන එක තමයි හොඳ. මොකද ජනාධිපතිවරණයක් ඉවර වූ සැණින් මහ මැතිවරණයක් පවත්වන්න තරම් රට ශක්තිමත් ද? මිනිස්සු වෙන වැඩක් කරන්නේ නැතුව ඡන්දවලට මුහුණ දෙන එක විතරද කරන්න ඕන. ඒ නිසා ජනාධිපතිවරණය අවසන් වෙලා ඒ මාස තුන අවසන් වුණාම පාර්ලිමේන්තු මැතිවරණයකට යමු. ඒක තමයි ව්‍යවස්ථාවේ තියෙන්නේ. මේ ව්‍යවස්ථාව තමන්ට වාසි වෙලාවට අවාසි වෙලාවට නවත්තන්යි රකින්නයි නම් ව්‍යවස්ථාවක් අවශ්‍ය නැහැනේ.

කවුරු බලයට පත්වුණත් මහ ඡන්දෙට යා යුත්තේ ව්‍යවස්ථාවේ තිබෙන ආකාරයටයි
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙයිඩ් අලි සගීර් මවුලානා

තවම මේ ජනාධිපතිවරණය පවත්වා ඉවර නැහැ. මේ ජනාධිපතිවරණය ඉවර වුණත් ඒ ඉවර වූ සැණින්ම පාර්ලිමේන්තු මැතිවරණයකට යාමට ඉඩකඩක් නැහැ. මොකද රටට ව්‍යවස්ථාවක් තියනවා. අපි ඒ ව්‍යවස්ථාවේ හැටියට වැඩකටයුතු සිදුකරන්න ඕන. තමන්ට කැමති විදියට මහ මැතිවරණයක් රට තුළ පැවැත්වීමට හැකියාවක් තිබෙනවා නම් මේ රටට ව්‍යවස්ථාවක් අවශ්‍යය වන්නේ නැහැ. ඒ නිසා ජනතාවගේ මූලික අයිතියක් වන ප්‍රජාතාන්ත්‍රවාදී අයිතිය සුරකිමින් ව්‍යවස්ථාවේ පවතින ආකාරයට කවුරු බලයට පත්වුවත් මහ මැතිවරණය පවත්වන එක හොඳයි කියන එක තමයි මගේ අදහස.

අපේ රටට පළමුව අවශ්‍ය වන්නේ සාමකාමී හා සීලාචාර දේශපාලන පසුබිමක්. දෙවනුව අවශ්‍ය වන්නේ ශක්තිමත් ස්ථාවර ආණ්ඩුවක්. තෙවනුව අවශ්‍ය වන්නේ ආර්ථිකය හා සමාජය ගොඩනගන ප්‍රතිපත්ති සහ සැලසුම්. මේ සියල්ල ගොඩනැගිය හැකිවන්නේ අලුත් ප්‍රවේශයක් ඔස්සේයි. අලුත් ප්‍රවේශය නම් මහ මැතිවරණයයි. මහ මැතිවරණයකින් බලයට පත්වන ආණ්ඩුවකට කිසිවෙකුට අභියෝග කළ නොහැකියි. එය මහජන ආණ්ඩුවක් නිසා මහජනයා ඉදිරියට යාමට දේශපාලකයන් බිය විය යුතු නැහැ. මහජනයා නියම තින්දුව ලබාදේවි. එවිට බල තරගයක් ඇති වෙන්නෙ නෑ.

 

සටහන - හසිත් අංජන

 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00