2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

මහජන බැංකුව පෞද්ගලීකරණය කරන කතාව බොරුවක්

 2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 112

පසුගිය දිනවල ඇතැම් බැංකු වෘත්තීය සමිති එකදිගටම කළ චෝදනාව වූයේ 1961 අංක 29 දරන මහජන බැංකු පනත සංශෝධනය කිරීම නිසා මහජන බැංකුව පෞද්ගලීකරණයට මග හෙළිකර ඇති බවය. මෙම සංශෝධන සම්මත කර ගැනීමට එරෙහිව වෘත්තීය සමිති දැවැන්ත අරගලයකට සූදානම් වෙමින් සිටියදී පසුගිය සතියේ මෙම සංශෝධන පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ඇති අතර මේ වනවිට කතානායකවරයාගේ අත්සන ද ලබාගෙන ඇත. මේ පිළිබඳව අතිවිශේෂ ගැසට් නිවේදනය නුදුරු දිනකදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

සේවක විරෝධතාවලට ප්‍රතිචාර දක්වමින් රජය නිවේදනය කර තිබුණේ පනතේ 13 වැනි වගන්තිය කිසි ලෙසකින්වත් සංශෝධනය නොකළ නිසා බැංකුව පෞද්ගලීකරණය කිරීමක් කිසිදු අන්දමකින් සිදු නොවන බවය. සංශෝධනය කර ඇත්තේ 12, 20, 21 හා 43 වැනි වගන්ති පමණක් බවද රජය අවධාරණයෙන් ප්‍රකාශ කර සිටියේය.

පනතේ සංශෝධන පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමෙන් පසු බැංකුව පෞද්ගලීකරණය කරන බවට එල්ලවන චෝදනාවලට පිළිතුරු දෙමින් මහජන මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සාමාන්‍යාධිකාරී රසිත ගුණවර්ධන මෙසේ දේශයට කරුණු පැහැදිලි කළේය.

“පසුගිය දිනවල ඇතැම් වෘත්තීය සමිතිවල හැසිරීම අනුව මහජන බැංකුව පෞද්ගලීකරණය කරන බවට පාරිභෝගිකයන් තුළ වැරදි මතයක් ඇතිවන්න ඉඩ තිබෙනවා. එවැනි දුර්මතයක් ඇතිවීමත් මහජන බැංකුවේ අභිවෘද්ධියට යම් බාධාවක් ඇතිවන්නට ඉඩ ඇතැයි සිතන නිසා යථා තත්ත්වය පැහැදිලි කිරීම අපේ යුතුකමක්.

මෙම සංශෝධන මගින් ප්‍රධාන කරුණු දෙකක් පිළිබඳ අපගේ අවධානය යොමුව තිබෙනවා. එකක් වන්නේ ප්‍රකාශිත ප්‍රාග්ධනය ලෙස දැනට ඇති බිලියන 1 හෙවත් මිලියන 1000 ප්‍රමාණය මිලියන 5000 (බිලියන 5) දක්වා ඉහළ නැංවීමයි. 1961 අංක 29 දරන මහජන බැංකු පනත අනුව තිබූ බිලියන 1 ප්‍රමාණය අද දක්වා වෙනස් වූයේ නැහැ. වසර 57කින් පසුව දැන් මෙය බිලියන 5 දක්වා වැඩි කිරීමට කටයුතු කිරීම කාලෝචිතයි. මෙරට සෙසු රාජ්‍ය බැංකු වන ලංකා බැංකුවේද, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේද ප්‍රකාශිත ප්‍රාග්ධනය වන්නේ බිලියන 5ක්. අපිත් අපේ බැංකුව එයට සම කළා මිස වෙන වෙනසක් කළේ නැහැ.

මේ නිසා මහජන බැංකුව පෞද්ගලීකරණය කිරීමට කිසිදු බලපෑමක් මෙයින් සිදුවන්නේ නැහැ. බැංකුවලට ප්‍රාග්ධනය සම්පාදනය කරන්නේ රජයෙන්. රජයේ පූර්ණ අයිතිය සනාථ වන 13 වගන්තිය කිසිදු ලෙසකින් වෙනස් කර නැහැ. එම පරම අයිතිය මහා භාණ්ඩාගාරයේ ලේකම් සතුව පවතිනවා. මෙය සම්පාදනය කරන්නේ රජයෙන් හෝ අප රඳවාගත් ලාභයෙන්.

ප්‍රකාශිත ප්‍රාග්ධනය ඇත්තේ පාරිභෝගිකයන්ට ණය දීමටයි. ණය දීම සඳහා තැන්පත්කරුවන්ගේ මුදල්වලට අතිරේකව මෙයද පාවිච්චි කරනවා. බැංකු ණය නිකුත් කරන්නේ ජාත්‍යන්තරව පිළිගත් බාසෙල් Basel සම්මුතිය අනුවයි. මෙම සම්මුතියට ලොව බැංකු සියල්ලම අනුගත විය යුතුයි. මෙය අධීක්ෂණය කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවෙන්. එහිදී සොයා බලන එක් කරුණක් තමා මේ ප්‍රාග්ධනයේ ඇති අඩු වැඩි බව. එය නිසි ප්‍රමිතියට තිබිය යුතුය යන්න තමා සම්මත වන්නේ. බැංකුව දී ඇති ණය ප්‍රමාණය හා අවදානම (Risk) ගැන සලකා මෙතැනදී කටයුතු කරනවා. මෙම අවදානම ගැන සලකා බලා 14%ක් ප්‍රාග්ධනය ලෙස තබාගන්නවා. උදාහරණයක් වශයෙන් කිවහොත් ණය දෙන විට රුපියල් 100කට රුපියල් 86ක් තැන්පත්කරුවන්ගේ මුදල්වලින්ද ඉතිරි රුපියල් 14 බැංකු ප්‍රාග්ධනයෙන්ද ගත යුතු වෙනවා. මෙයින් තැන්පත්කරැවන්ගේ අවදානම එක්තරා ප්‍රමාණයකින් අඩුවෙනවා. බාසල් සම්මුතිය තනා ඇත්තේ ඒ ආකාරයටයි.

මෙය 14% ප්‍රාග්ධනය රජයෙන් ලබා නොගෙන දීර්ඝකාලීනව ණයකර වෙළෙඳපොළට නිකුත් කරලයි ලබාගන්නේ. ඇතැම් බැංකු වෘත්තීය සමිති කියන්නේ බාසල් සම්මුතියට අනුව මෙලෙස ලබාගන්නා ණයකර බැංකුව යම් දිනයක පාඩුවෙලා ඈවර කිරීමකට ලක් වුවහොත් එවැනි අවස්ථාවක සාමාන්‍ය ප්‍රාග්ධනය (කොටස්) බවට පත්වන්න පුළුවන් බවයි. එහෙත් මෙය ඉතාම කලාතුරකින් සිදුවන දෙයක් බව කිව යුතුයි. මේ තත්ත්වය වැළැක්වීම සඳහා බැංකු පනත සංශෝධනය කිරීමේදී වගන්තියක් ඇතුළු කර තිබෙනවා. ඒ අනුව එවැනි අවස්ථාවක් හදිසියේවත් ඇතිවුණොත් එම ණයකර ප්‍රාග්ධන වටිනාකමකට පරිවර්තනය වී ඒවායේ අගය ‘0’ හෙවත් ශුන්‍ය බවට පත්වෙන බවට. එවිට ඒ වටිනාකම කාටවත් අලෙවි කරන්නට බැහැ. අලෙවි වන කොටස් බවට පත්වෙන්නේ නැහැ.

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් ප්‍රකාරවයි මේ සංශෝධන ඇතිකර ඇත්තේ. බැංකුව අගාධයට පත්වුවද කිසි විටෙක පෞද්ගලීකරණය වෙන්නේ නැහැ. එයට හේතුව ණයකරවල වෙළෙඳ අගයක් නොමැති වීමයි. ඒ නිසා අලෙවි නොවෙයි. ඒ අනුව ණයකර නිකුත් කරන්නේ එම කොන්දේසි අඩංගු කරලයි.

බැංකුවට රජයෙන් සියයට සියයම යැපෙන්නේ නැතුව පෞද්ගලික අංශයෙන් ප්‍රාග්ධනය රැස්කරගත හැකියි. එය අයිතිකාර ප්‍රාග්ධන නොව ණයකර ප්‍රාග්ධන වෙයි. දරන්නට සිදුවන අවදානම වෙනුවෙන් පොලිය වැඩියෙන් දෙන්න වෙනවා.

ලංකා බැංකුව දැනටමත් මේ ක්‍රමය අනුගමනය කරලා තියෙනවා. පසුගිය මාසයේ මෙලෙස ප්‍රාග්ධනය නිකුත් කළ නමුත් වෘත්තීය සමිති එයට එරෙහි වූයේ නැහැ. විරුද්ධ වන්නේ අප කරන්න යන විටයි.

රටේ පෞද්ගලික බැංකුවල මෙලෙස ණයකර නිකුතුව සිදුවන්නේ නැහැ. ඒවා කොටස් බවට පත්වෙනවා. එහෙත් රාජ්‍ය බැංකු දෙන්නේ ණයකරයි. අප අනුගතව ඇත්තේ ඒ ක්‍රමයටයි. මෙයින් රාජ්‍ය බැංකු පෞද්ගලීකරණය වීමක් කිසිවිටෙක සිදුවන්නේ නැහැ. එය මවාගත් කතාවක් පමණයි.

යසවර්ධන රුද්රිගූ