2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

අඬමින් රේස් දාන මිනිස්සු ගැන කතාවක්

 2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 121

රාත්‍රියේ නගරයේ දිදුලන පුවරුවක් සහිත සූදු සාප්පුවක ඔහු සේවය කරයි. නමුත් ඔහු සොඳුරැ මිනිසෙකි. සැබවින්ම ඒ ඔහුගේ රැකියාව පමණි. අපට මේ අපූරු මිනිසා මුණගැසුණේ අහම්බයෙනි. නිදිවරා බුකියේ පහන් කළ රාත්‍රියේ කෙළවරක අප අතර මේ කතාබහ ඇති විය. නම් ගම් නොකියා මේ කතාව ඔබට ලියා තැබීමට අපට ඔහුගේ අවසර හිමිවුණි. එහෙත් පාඨක ඔබගේ පහසුව පිණිස අන්වර්ථ නාමයක් සහිතව අප ඔහුව ඔබ හමුවට කැඳවමු.

පෙරදා ඉර අවරට හැරෙන විට නිවසෙන් පිටත්ව ගිය අප කතානායක සුනිමල් උදෑසන හිරැ නැගෙන්නට හෝරාවකට පමණ පෙර නිවසට යන්නේ සුවපහසු නින්දක් අපේක්ෂාවෙනි. දෙදරු පියෙක් වන මේ අපූරු මිනිසා පරිණත සමාජ දැනුමක් ඇත්තෙකි. වසර කිහිපයකට පෙර සොයාගත් අලුත් රැකියාව ඔහුගේ ජීවිතය නොවන්නේය. එය හුදු ඔහුගේ ආදායම් මාර්ගයම පමණි. ඔහුගේ ජීවිත ගලායන්නේ සුනිමල වූ වෙනත් ඉසව්වක් ඔස්සේය. ආගිය තොරතුරු අතරින් පෙරදා රාත්‍රියේ කතාවක් මතුව ආවේය.

“ඊයේ රූ ආවා කරැමක්කාරයෙක්. බීලා ආවේ. තුණ්ඩු හරියට ලියන්නෙත් නෑ. අපි කියන්න ඕනෑ. අපි කිව්වේ නැතිවුණාම කුණුහරුපෙන් බනිනවා. මොනවා කරන්නද අපි ඉන්නේ තුණ්ඩු බාරගන්නනේ. ඒ ගොල්ලෝ මොනවිදිහට ලිව්වත් අපි බලන්න ඕනෑ. සමහර වෙලාවට අපි පෑනෙන් හදන්නේ නෑ. මොකද අවුට් වුණොත් කියනවා මම ඕක නෙවෙයි කැපුවේ කියලා. වින් කළොත් අවුලක් නෑ. ඉතින් අපි හදන්න යන්නේ නෑ. එයාලා ලව්වාම තමා හදවන්නේ.”

ඔහු කියනා හැටියට බුකියට එන ඇතැමුන්ගේ ස්වභාවය මෙයයි. බොහෝවිට රාත්‍රී වැඩමුරයේදී මෙවන් අත්දැකීම් විඳීමට ඔහු ඇතුළු සේවකයන්ට සිදුවේ. සමාන්‍යයෙන් බුකියේ රාත්‍රී වැඩමුරය රාත්‍රී 11 සිට පසුදා පාන්දර රේස් අවසන් වනතුරු පවතී. ඊට අමතරව බුකියේ උදෑසන 7.30 සිට හවස 6 වනතුරු එක් වැඩමුරයක්ද සවස 6 යේ සිට රාත්‍රී 11 වනතුරු තවත් වැඩමුරයක්ද ක්‍රියාත්මකය. ඒ අනුව සුනිමල්ට හැමදාකම රාත්‍රී වැඩමුරයම පමණක් නොයෙදේ. පුදුමයකට මෙන් අපට ඔහු හමුවූයේ රාත්‍රී වැඩමුරය නිමවා එන ගමනේය. තම රාජකාරියේ ස්වභාව පිළිබඳ ඔහු අප සමඟ තවත් දොඩමළු වෙයි.

“රේස් තියෙනවා... අශ්වයොන්ගෙයි බල්ලොන්ගෙයි. එංගලන්තේ දුවන වෙලාවට මෙහේ ලයිව් පෙන්නනවා. අපි දන්නේ නෑ. ලයිව් කියලා තමා ඒ ගොල්ලෝ කියන්නේ. අපි කැෂියර් එකෙන් ඔට්ටු භාරගන්නවා. විනාඩි දෙක තුනකට කලින් සමහර වෙලාවට තත්ත්පර ගාණකට කලින් වුණත් රේස් එක දුවන්න ඉස්සෙල්ලා අපි ඔට්ටු භාරගන්නවා.”

මීට අමතරව තවත් ක්‍රීඩා රැසක් දිදුලන පුවරු සහිත මේ සූදුසැල්වල පවතී. ඒ පිළිබඳ තතුද සුනිමල් අප හා බෙදා ගත්තේය. ඒ අනුව ක්‍රිකට් වෙනුවෙන්ද ඔට්ටු ඇල්ලීම මෙහි ක්‍රියාත්මකය. ඊට අමතරව ට්‍රැක් සයිට් හරහා ක්‍රියාත්මක වෙන පරිගණක ක්‍රීඩා වර්ග වෙනුවෙන්ද ඔට්ටු ඇල්ලීම සිදුවේ. මේ සියලු ක්‍රීඩා වෙනුවෙන් ඔට්ටු තැබීමට විවිධ තරාතිරම්වල පිරිස් පැමිණෙති. සාමාන්‍ය පන්තියේ පිරිස් සඳහා ජෙනරල් නමින් කොටසක්ද ඇති හැකි අය සඳහා වී.අයි.පී. නමින් කොටසක්ද මේ බුකියේ ඇති බව සුනිමල් හෙළිකරයි.

ජයග්‍රහකයන්ට වඩා වැඩිය පරාජිතයන්ගේ අඳුරු මුහුණු සුනිමල්ලාට හුරුපුරුදුය. රාත්‍රී සජීවී රේස් බැලීම වෙනුවෙන් එකතුවන සූදුකරුවන්ගේ හැසිරීම් පිළිබඳව අපූරු කතාවක් ඔහු අපට කීවේය.

“සමහර මිනිස්සු රේස් දාලා ඉවරවෙලා බොහොම නිශ්ශබ්දව යනවා. ඒත් සමහරු ඉන්නවා රේස් එක දුවන වෙලාවට එයාලාත් අශ්වයෝ දුවනවා වගේ තමා අංගචලනය. මුළු ඇඟෙන්ම රේස් එකේ මෙයාලා ඉන්නේ. තවත් සමහරු රේස් එක දුවනකොට මේසෙට ගහනවා. කුණුහරැප කියනවා. පැරදුණාම අපිට බැණ බැණ යනවා. ඒත් අර සිංදුවේ තියෙනවා වගේ උදේ පැරදුණ මිනිහා හවසට ආයේ සල්ලි හොයාගෙන එනවා.”

එකක් නිවෙන්නට තවෙකක් දැල්වෙන සිගරැට් දුමාරය රාත්‍රිය පුරා රේස් බුකිය අරක්ගෙන සිටී. සුරාව සූදුවේම කොටසකි. මත් බඹරුන් මෙන් පැමිණෙන සූදුකරුවන් සුනිමල්ලාට හිසරදයකි. රණ්ඩු සරුවල්ද මෙහි අඩු නැත. සුනිමල් අපට කී පරිදි ඇතැම් බුකීවල මිනිසුන් අතර කපාකොටා ගැනීම් පවා සිදුවේ. බුකීකරුවන්ගේ මතක අතර ඒ සියල්ල ලියැවී ඇත. එහෙත් ඔවුන් ඉවසා දරා සිටී. මන්ද මේ සියල්ල ඔවුන්ගේ රැකියාවේ කොටස්ය.

“ඉතින් ෆන්ඩර් (රේස් දාන්නන්) ජයග්‍රහණය කරනවා අඩුයි. ඇත්තට සම්පූර්ණයෙන්ම ජයග්‍රහණය ලබන්නේ අයිතිකාරයෝ තමයි. මං හිතන්නේ එක සෙන්ටර් එකකින් ලක්ෂ තුන හතර පහක කලෙක්ෂන් එකක් තියෙනවා. රටේ සෙන්ටර් දෙසීයක් විතර තියෙනවා. ඒ දවස්වල නම් සීයට දහයක විතර කොමිස් මුදක් දුන්නා ඩේ බැට් වලට. හවස තියෙන ඒවාට උදේ පත්තරෙන් දානකොට කොමිස් මුදල් ගෙව්වා. ඒ කියන්නේ දාහක් දාන කෙනාගෙන් නමසීයයි ගන්නේ. දැන් ඒවා මුකුත් නෑ. ඒ වුණාට මිනිස්සුන්ගේ පේමන්ට් එකෙන් සීයට පහක් කොම්පැණියට කපා ගන්නවා. පැරදුණත් දිනුවත් කොහොම වුණත් දිනුම් කොම්පැණිය.”

සුනිමල්ට අනුව මෙය ලංකාව වැනි රටකට සුදුසු නැති සංස්කෘතියකි. ඛේදවාචකයකි. එහෙත් සූදුවෙන් බදු ගසා ආදායම් ලබන ආණ්ඩුවලට මෙය නොපෙනෙයි. ඇත්තෙන්ම ලක් රජය සූදු පනත හරහා උපයන ආදායම සුළුපටු නැත. එහෙත් මේ සූදු ඇබ්බැහිය නිසාවෙන් දුක්විඳින පවුල් රැසක් රටේ තැන තැන සිටියි. ඒ බොහෝ පවුල් දිළිඳු මධ්‍යම පාන්තික පවුල්ය.

අමතක නොවෙන සිදුවීම් රැසක් මේ රැකියාවේ ඇති බව අපට කී සුනිමල්ට මෙහි යථාර්ථය පැහැදිලියි කෙරෙන සිදුවීමක් හිටිහැටියේ සිහිපත් විය.

“අමතක නොවෙන සිද්ධියක් තමා එක ෆන්ඩර් කෙනෙකුට එයාගේ පවුල ඇතුළටම ඇවිල්ලා ගැහැව්වා. ගගහා තමා ඒ මිනිහාව එක්කන් ගියේ. වැඩේ කියන්නේ ඒ මිනිහාගේ ලැජ්ජ නැතිකමට සතියක් ගියේ නෑ. මෙන්න ආයේ ආවා රේස්දාන්න. ඇත්තට ගෙවල්වල කොච්චර අඩුපාඩුකම් තියනවාද? ඒවා මේ මිනිසුන්ට ගානක් නෑ.”

තවත් සිදුවීම් රුසක් ඔහුගේ මතකයේ ඇත. නිදිබර මුහුණින් යුතුව අප සමඟ කතා කරන සුනිමල් නම් මේ අපූරු මිනිසාට දැන් බොහෝ වෙහෙසය. අපට එය දැනෙයි. ඒ නිසාම අප ඔහුට සමුදීමට සැරසෙමු. ඒ නැවත හමුවෙන පොරොන්දුව ඇතිවය. අවසානයේ ඔහු කී කතාවක් මේ සටහන නිමකරන විට අපට නැවත නැවත සිහිවේ.

“පාන්දර දෙකයි ගාන, තුනයි ගාන වෙනකල් මිනිස්සු ඇතුළේ ඉන්නේ. ගෑනු දරුවෝ කනවාද බොනවාද දන්නේ නෑ. ළමයින් අධ්‍යාපන කොහොම වෙනවාද දන්නේ නෑ. සමහර මිනිස්සු ඇවිල්ලා අඬනවා දොඩනවා බෙල්ලේ වැල දාගන්න යනවා. මිනිස්සු අපිට දුකත් කියනවා. ඒත් ඒ මිනිස්සු ආයෙම අපි ළඟටම ඇවිත් රේස් දානවා. අනේ මන්දා...”

I චමිඳු නිසල්
 සේයාරූ - අන්තර්ජාලයෙන්