2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

සහන මිලට දෙන ඩීසල් හොර පාරෙන් විදේශ නැව්වලට විකුණන ජාවාරම

 2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 88

ඛනිජ තෙල් සංස්ථාවෙන් රටේ ජනතාවට සහනාධාරයක් සහිතව නිකුත් කරන ඩීසල් හොර රහසේ නැව්වලට විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව එම සංස්ථාවේ ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය කාලයේ ඩීසල් සඳහා වන ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. රටේ සංවර්ධන ක්‍රියාවලියේ හෝ ප්‍රවාහන සේවාවන්හි හෝ කර්මාන්ත ක්ෂේත්‍රයේ හෝ විශාල වර්ධනයක් සිදුනොවූ තත්ත්වයක් තුළ මෙතරම් ඉල්ලුමක් ඇතිවූයේ කෙසේදැයි සොයා බැලීමේදී මෙවැනි ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණ වී තිබේ. එවැනි සිදුවීම් කිහිපයක්ම ඇති බවත් ඒවා සනාථ කර ගැනීමට පියවර ගනිමින් සිටින බවත් ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරයි.

සාමාන්‍යයෙන් පෙට්‍රල් සහ ඩීසල් අලෙවි කළ යුත්තේ සමාන මිලකටය. එහෙත් පොදු ප්‍රවාහන, ධීවර කර්මාන්තය, වැනි පොදු අවශ්‍යතා සඳහා ඩීසල්වලට වැඩි ඉල්ලුමක් පවතින හෙයින් ඒවා අලෙවි කරනුයේ සහනාධාරයක් යටතේය. පෙට්‍රල් සඳහා එම සහනාධාරය හිමි වන්නේ නැත. මෙලෙස සහන මිලට ලැබෙන ඩීසල් ව්‍යාපාරිකයන් කිහිපදෙනකු විසින් වැඩි මිලට නැව් සහ බෝට්ටුවලට මුහුදේදී අලෙවි අලෙවිකොට ඩොලර් උපයන බවට තොරතුරු ලැබී තිබේ.

රජයේ සහනාධාරය සහිතව ඩීසල් ලීටරයක් අලෙවි වන්නේ රුපියල් 104කටය. නැව් සඳහා ලීටරයක් නිකුත් කරන්නේ රුපියල් 111කටය. නැව් සඳහා ඉන්ධන සැපයෙන්නේ බ්ලූමැන්ඩල්වල පිහිටුවා ඇති ඉන්ධන ගබඩාවලිනි.

සහනාධාර මිලට ලැබෙන ඩීසල් විදේශ වෙළෙඳපොළට අලෙවි කළ හැකිනම් විශාල මුදලක් උපයාගත හැකිය. ජාවාරම්කරුවන් ඉන්දියානු නැව් සහ බෝට්ටුවලට සහනාධාර යටතේ ලැබෙන ඩීසල් වැඩි මිලට අලෙවි කරන බව පැවසේ. බොහෝවිට මෙම ජාවාරම සිදුවන්නේ මුහුදේදීය. ධීවර කර්මාන්තයේ යෙදෙන විශාල බෝට්ටුවලට ඩීසල් රැගෙන යාමේ සීමාවක් හෝ තහංචියක් හෝ නොමැත. ජාවාරම්කරුවන් ඇතැම් ධීවරයන් උපයෝගී කර ගනිමින් ඔවුන් හරහා මුහුදේදී ඉන්දියානු නැව් සහ බෝට්ටුවලට ඩීසල් බැරල් අලෙවි කරන බව පැවසේ. ශ්‍රී ලංකා රජය සහනාධාර යටතේ ඩීසල් ලබා දෙන්නේ කිසියම් අලාබයක් ලබමිනි. මෙම ජාවාරම නිසා ඉන්දියානුවන්ට ද එරට පවතින මිලට වඩා අඩුවෙන් ඩීසල් ලබා ගැනීමට හැකිවේ. වරකට ඩීසල් බැරල් දහයක් පහළොවක් රැගෙන යාමෙන් මසුන් අල්ලා ලබන ලාබයට වඩා වැඩි ලාබයක් හිමිකරගත හැකි බව දන්නා ඇතැම් ධීවරයන් ජාවාරම්කරුවන් හා එක්ව මෙම කාර්යයේ නිරත වන බව පැවසේ.

සාමාන්‍යයෙන් බවුසර මගින් ඩීසල් ප්‍රවාහනය කරනුයේ ඉන්ධන පිරවුම්හල්වලට පමණි. ඛනිජ තෙල් සංස්ථාවෙන් ඩීසල් පිරවීමෙන් පසු සෑම බවුසරයක්ම මුද්‍රා තැබේ. එම ඉන්ධන ගෙන යා යුතු ඉන්ධනහල ඔවුන්ට දැනුම් දෙනු ලැබේ. ඛනිජ තෙල් සංස්ථාව මගින් තබන ලද මුද්‍රාව ඉවත් කරනුයේ එකී නියමිත ඉන්ධන අලෙවිහලේදීය. මෙම බවුසරයක ධාරිතාව ලීටර් 33,000කි. ජනතාවට බෙදාහැරීමට බව පවසමින් එලෙස බවුසර් මගින් ගෙන එන ඩීසල් ඉන්ධන ඉන්ධනහලට ලබාදුන් බවට අත්සන් ලබාගෙන ඒවා ජාවාරම්කරුවන්ට ලබාදෙන බවට සාක්ෂි ඇතැයි ද මෙම ජාවාරම සඳහා බවුසර් රියදුරන්ද, ඉන්ධනහල් හිමියන්ද බවුසරය නියමිත මාර්ගයෙන් පිටතට ගිය බව වසන් කිරීමට ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරියකුගේ ද සහය අවශ්‍ය වන බවද සේවකයෝ පවසති.

භූමිතෙල්ද විශාල සහනාධාරයක් යටතේ නිකුත් කෙරෙන බැවින් ඒවා ද මෙවැනි ජාවාරම්කරුවන් අනිසි ලෙස භාවිත කර තිබේ. මෙවැනි ජාවාරම් වළක්වා ගැනීම සඳහා වර්ණකයක් යෙදීමට ඛනිජ තෙල් සංස්ථාව පියවර ගත්තේ එහෙයිනි. ඩීසල්වලට ද මෙවැනි ක්‍රියාමාර්ගයක් අනුගමනය කළයුතු බව ඛනිජතෙල් සේවකයන්ගේ අදහස වී තිබේ. එමෙන්ම බවුසර් සඳහා දැඩි නීති ක්‍රියාත්මක කළ යුතු බවද ඔවුහු ප්‍රකාශ කරති. ඒවා නියමිත මාර්ගයෙන් පිටත යන්නේ නම් ඒ පිළිබඳ සොයා බැලීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතු වන අතර. ඉන්ධනහල් කොපමණ ඩීසල් ප්‍රමාණයක් අලෙවි කළේද යන්න සොයා බැලිය යුතුය. ඉන්ධන අලෙවිහලක සාමාන්‍යයෙන් අලෙවි වන ඩීසල් ප්‍රමාණයට වඩා අධික ප්‍රමාණයක් ඇණවුම් කරන්නේ නම් ඒ පිළිබඳව සොයාබැලීම වැනි ක්‍රම මගින් අයථා පරිහරණය වළක්වාගත හැකි යැයි ඔවුහු පවසති.

එමෙන්ම ඉන්දියානු තෙල් සමාගම සතු ඉන්ධන ගබඩා ඇත්තේ ත්‍රිකුණාමලයේය. ඒවා පාලනය කිරීමට ඛනිජ තෙල් සංස්ථාවට නොහැකිය. ඔවුන්ට සහනාධාරය යටතේ ලැබෙන ඩීසල්  අපනයනය කළ හැකිය. ඔවුන්ට ද සහන ඩීසල් වැඩි මිලකට විදේශ නැව්වලට ලබාදිය හැකි බැව් පැවසේ.

මේ සම්බන්ධයෙන් විමසීම සඳහා අප ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා හා සාමාන්‍යාධිකාරිවරයා සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද ඔවුන් සම්බන්ධ කර ගත නොහැකි විය. සභාපතිවරයාගේ ලේකම්වරිය අප සමඟ පැවසුවේ ඉහළ නිලධාරීන් නොමැති හෙයින් තමන්ට මෙයට පිළිතුරක් දිය නොහැකි වුවද මෙවැනි ජාවාරමක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ඛනිජ තෙල් සංස්ථාවට මෙතෙක් ලැබී නොමැති බවය.

► ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00