2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

එකම ඔත්තුවෙන් පත්තු වූ කිළිනොච්චියේ වෙඩි තැබීම

 2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 30

ලංකාවේ නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය නිවාරණය කිරීම සඳහා වන මෙහෙයුම් හා අත්අඩංගුවට ගැනීම් නොකඩවා සිදු කරයි. එවැනි වැටලීම් සඳහා සුවිශේෂී ආයතන හා ඒකක මෙන්ම විශේෂ පුහුණුව ලත් නිලධාරීන් හා කණ්ඩායම් ද සිටිති. එම පිරිස් සුරාබදු දෙපාර්තමේන්තුව, යුද හමුදාව, නාවික හමුදාව, විශේෂ කාර්ය බලකාය, පොලීසිය, එහි විශේෂිත ඒකක සහ ශ්‍රී ලංකා රේගුව නියෝජනය කරති. එවැනි ආරක්ෂක අංශ හා එක්ව ක්‍රියා කරන ඔත්තුකරැවන්ගේ ජාලය ඉතා සූක්ෂම හා රහසිගතය.

මෙකී ආරක්ෂක අංශවල සේවය ශක්තිමත් කරන බුද්ධි අංශවලට සම්බන්ධ ඔත්තුකරුවන්ගේ ජාලය විවිධාකාරය. විවිධ පාර්ශ්ව ඔස්සේ හඳුනාගන්නා තොරතුරු අන්ත කිහිපයක් ඔස්සේ ආරක්ෂක අංශ වෙත ලැබීමට අවස්ථාව තිබිය හැක. එකම තොරතුරක් සම්බන්ධයෙන් වන ඔත්තුව එක් පාර්ශ්වයක් හෝ ඊට වැඩි පාර්ශ්ව කිහිපයක් මගින් හෝ ආරක්ෂක අංශ වෙත වාර්තා විය හැකිය. එකම අවස්ථාවක නොවුණද ලැබෙන තොරතුර සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේදී කාලය හරස් වීමට ද පිළිවන.

එකම තොරතුරක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ පොලීසිය හා සුරාබදු දෙපාර්තමේන්තුව රහසිගතව වෙස් වලාගෙන සිදුකළ වැටලීමක් අතරතුරදී වූ සිදුවීමක් පසුගියදා කිළිනොච්චිය ප්‍රදේශයෙන් වාර්තා විය. පොලීසිය අණ නොතකා ගිය රථයකට වෙඩි තැබූ බවත් එහිදී රියැදුරු තුවාල ලබා රෝහල්ගත කළ බවටත් එම පුවතෙහි සඳහන් විය. වාසනාවකට ජීවිත හානියක් නොවුණ ද අවසානයේ වාර්තා වූයේ පොලීසියත් සුරාබදු දෙපාර්තමේන්තුවත් වෙන වෙනම සිදුකළ මත්ද්‍රව්‍ය පිළිබඳ වැටලීමක් අතරතුර දෙපාර්ශ්වයේ අනවබෝධය නිසා සිදුකළ වෙඩි තැබීමකදී සුරාබදු දෙපාර්තමේන්තුවේ ඔත්තුකරුවෙක් තුවාල ලැබූ බවය.

කිළිනොච්චිය, අරවියල් නගර් ප්‍රදේශයෙන් වාර්තා වූ සිදුවීමට අනුව වාර්තා වන්නේ කිළිනොච්චිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ට රහසිගත තොරතුරක් ලැබුණු බවය. ඉන් කියා තිබුණේ අදාළ ප්‍රදේශය තුළ ගංජා ජාවාරමක් සිදුවන බවය. වහා ක්‍රියාත්මක වූ නිලධාරීන් පිරිස අදාළ තොරතුර සම්බන්ධයෙන් වැටලීමකට පිටත්ව තිබුණේ වෙස් වලාගත් පිරිසක් වශයෙනි. මේ අතර පොලීසියේ අදාළ නිලධාරීන්ට ඔත්තුකරු පවසා ඇත්තේ ගංජා තොගය රැගත් මෝටර් රථයක් ධාවනය වන බවය. මේ නිසා සිවිල් ඇඳුමින් සැරසීගත් නිලධාරීන් අරවියල් ප්‍රදේශයේ මාර්ගයක සිට ජිප් රථයක් නැවැත්වීමට අණකොට ඇත. එහෙත් නොනවත්වා ධාවනය කළ රථයට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් වෙඩි තැබීමට ක්‍රියා කොට තිබිණ. එහිදී රථය පදවාගෙන ගිය රියැදුරු තුවාල ලබා රෝහල්ගත කිරීමට ද පියවර ගැනිණ.

පසුගිය 14 වැනිදා පෙරවරුවේ වූ වෙඩි තැබීමට අදාළ සිදුවීම එසේ අවසන් වෙද්දී ඊට පෙරාතුව කැබිලිගොල්ලෑව සුරාබදු ඒකකයේ නිලධාරීන්ට ලැබී තිබූ තොරතුරකි. ඔත්තුකරු දන්වා තිබුණේ කිළිනොච්චිය ප්‍රදේශයේ නිවෙසක මහා පරිමාණ ගංජා ජාවාරමක් සිදුවන බවය. ඒ පිළිබඳ තොරතුරු දැන සිදුකළ මූලික විමර්ශන අවසානයේ ඔත්තුකරු ගැනුම්කරු වශයෙන් යොදාගෙන සිවිල් ඇඳුමින් සැරසීගත් සුරාබදු නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ පිරිස අදාළ නිවෙස අසලට ගොස් ඇත. එහිදී ගැනුම්කරු ගංජා මිලට ගන්නා මොහොතේ වැටලීම සිදු කිරීමට නියමිතව තිබී ඇත. මේ අනුව සුරාබදු නිලධාරීන් සැකකරුගේ නිවෙසට පැමිණියා පමණය. වැටලීමට සූදානම් වනවාත් සමඟම එම නිවෙස අසලට පැමිණි වෙනත් පිරිසකි. සිවිල් ඇඳුමින් වුවද ගිනිඅවි රැගත් ඔවුන් දුටු වහාම සුරාබදු නිලධාරීන් වහා එතැනින් පැනගොස් තිබුණේ ජීවිත ආරක්ෂාවටය. එසේ පැනගන්නා මොහොත වන විටත් ඔවුන් රැගත් ජිප් රියට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට එතැනට පැමිණි පිරිස ක්‍රියා කර තිබිණ. ජාවාරම්කරුවන්ගේම පිරිසක් ගිනිඅවි දරා සිටින්නට ඇතැයි සිතූ පිරිස වහා එතැනින් පලා ගොස් තිබිණ. 

ජිප් රථය A9 මාර්ගයට හරවා යන විට තවත් පිරිසක් එම ස්ථානයේ සිට ඇති අතර කතා කරගත් පරිදි ඔවුන් සැලසුමට අයත් නිලඇඳුම් ඇඳගත් සුරාබදු නිලධාරීන්ය. ඔවුන් ද කැටුව ප්‍රදේශය හැර වේගයෙන් යන රථයට අතරමගදී නැවැත්වීමට සිවිල් ඇඳුම් ඇඟලාගත් පිරිසක් කටයුතු කර ඇත. රථයේ ගමන් ගත් පිරිස සිතා ඇත්තේ ඔවුන් ජාවාරම්කරුවන්ගේ සගයන් වන්නට ඇති බවය. නොනවත්වා ධාවනය වූ රථයට වෙඩි වරුසාවක් එල්ල වූයේ එහිදීය. රියැදුරුට වෙඩි වැදීමත් සමඟ නතර වූ රථය හා පිරිස භාරයට ගැනීමට සමත් වූ පිරිස තමන් කිළිනොච්චිය කොට්ඨාස දූෂණ මර්දන අංශ නිලධාරීන් බවට හඳුන්වා ඇත. එවෙලේම සෙසු පිරිස තමුන් සුරාබදු නිලධාරීන් බවත් වැටලීමක් සඳහා පැමිණි මොහොතේ වෙඩි තැබීමක් වූ බවත් හෙළි කළේය. එතැනින් මිදී යන අවස්ථාවේ මේ අකරතැබ්බය වූ බවද කියා ඇත.

අවසානයේ කෙනකු තුවාල ලැබුවද පොලීසියේ සුරාබදු නිලධාරීන් නිගමනයකට පැමිණ තිබුණේ එකම කාරණයට අදාළ ඔත්තුවක් මත දෙපිරිසම ක්‍රියාත්මක වී ඇති බවය. ඒ අනුව පළමුවර සැකකරුගේ නිවෙස අසලදී වෙඩි තබා ඇත්තේ ද එම පොලිස් නිලධාරීන් බවත් දෙපාර්ශ්වයම සිවිල් ඇඳුමින් සැරසීම නිසා සහ අනවබෝධය නිසා වෙඩි ප්‍රහාරය එල්ල වී ඔත්තුකරු තුවාල ලැබූ බවත් වාර්තා විය. කෙසේ වෙතත් සිවිල් පොලිස් නිලධාරීන් ජිප් රථය නැවැත්වීම සඳහා නලාව පිඹීම හෝ අත දිගු කිරීම නොදුටු බව වෙඩි ප්‍රහාරයට ලක්වූ රියැදුරු ප්‍රකාශ කර ඇත.

මේ ආකාරයට එදා සිදුවීම වාර්තා වුවද තතු දන්නා පිරිස පවසන්නේ ප්‍රදේශයේ ජාවාරම්කරැවන්ට ඇතැම් නිලධාරීන්ගේ සහාය මනාව ලැබෙන බවය. ජාවාරම්කරුවන්ට ලබාදෙන සහාය නිසා නොයෙක් වරදාන වරප්‍රසාද ලබන නිලධාරීන් සිටින බවත් ඇතැම් අයගේ මාසික වැටුපට අමතරව දෛනික ආදායමක් මෙකී ජාවාරම්කරුවන්ගෙන් ලබාගන්න බවය. ඒ අනුව අදාළ වෙඩි තැබීමේ සිදුවීම පසුපස ජාවාරම්කරුවන් විසි කරන මුදල් තිබිය හැකි බවද ඇතැමුන්ගේ අදහසය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ තොරතුරක් පිළිබඳ විමර්ශනයට නිලධාරීන් පිරිසක් ගොස් සිටි බවත් එහිදී වෙඩි ප්‍රහාරය එල්ලකොට ඇති බවය. එහිදී අයකු තුවාල ලැබූ සිදුවීම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයකු යටතේ විමර්ශනයක් සිදුකෙරෙන බවද පැවසීය.

► සමන්ත ප්‍රදීප් විල්තෙර