2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

සයිබරේ මරාගන්නා කැම්පේන් ඔස්තාර්ලා

 2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 272

මැතිවරණ ප්‍රචාරණය යනු වෙනම කලාවකි. එය අනෙක් ප්‍රචාරණ කටයුතුවලට වඩා හාත්පසින්ම වෙනස්ය. මෙය භාණ්ඩයක් මිලදී ගැනීමට පෙළඹවීමට වඩා කෙනෙකු ජයග්‍රහණය කරා රැගෙන යාමකි. එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. එක් පැත්තකින් අපේක්ෂකයාගේ චරිතය බලපාන අතර අනෙක් පැත්තෙන් ඔහුගේ ප්‍රතිපත්තීනුත්, ඔහුගේ අනුගාමිකයනුත් කරන කියන කරන දේ අනුව ප්‍රචාරණය වෙනස් කිරීමටත්, උපක්‍රම යෙදීමටත් සිදුවනු ඇත. සරලම උදාහරණයක් ගතහොත් යම් අපේක්ෂකයකුගේ කට අනුව බොහොමයක් දේවල් වෙනස් වීමේ ඉඩකඩ ඇත.

කෙසේ වෙතත් මේ ප්‍රචාරණ කටයුතු කාලයත් සමඟ වෙනස් වෙමින් අලුත් වෙමින් ඉදිරියට පැමිණ ඇත.එදා යකඩ කටින් කළ ප්‍රචාර දැන් නැත. කොළ බෙදන වැඩ නැත. ඒ සඳහා පෝස්ටර් කටවුට් ඇති පදමටය. දැන් එයිනුත් ඉක්මවා ගොස් ඩිජිටල් කටවුට්ය. රූපවාහිනී, ගුවන් විදුලි, පුවත්පත් වෙළෙඳ දැන්වීම්ය. මේ සියල්ල අපේක්ෂකයන්ගේ චරිත ලෝකයාට පෙන්වීම සඳහා එක්පැත්තකින් කරනා උප්පරවැට්ටි බව සරලවම කිව හැක.

කෙසේ වෙතත් මේ සියලු ප්‍රචාරණ කටයුතු යටපත් කරමින් වර්තමානය වනවිට මැතිවරණ ප්‍රචාරණය සයිබර් අවකාශය වෙත ඇදී යාමට පටන් ගෙන ඇත. එය මැතිවරණවලදී පමණක් නොව සාමාන්‍ය වාතාවරණයන් තුළද දේශපාලකයන් තම චරිතය පිම්බීම සඳහා යොදාගනු ලබන ලේසිම සහ පහසුම ක්‍රමය සමාජ මාධ්‍ය බවට පත්ව ඇත. එය අපේ රටේ පමණක් නොව ලෝකය පුරාම පැතිර ගොස් ඇති ක්‍රමයකි. සෑම රාජ්‍ය නායකයකුට වගේම දේශපාලකයකුටම ෆේස්බුක් පේජ් එකක්, ඉන්ස්ටග්‍රෑම් ගිණුමක්, ට්විටර් ගිණුමක් ඇත.ඔවුන් දවසපුරා සිදුකරන වැඩකටයුතු ජනතාව අතර බෙදා ගැනීම සිදුකරන අතර එක් පැත්තකින් ඔවුන්ගේ ව්‍යාපෘති ජනතාව අතරට රැගෙන යාම ඒ හරහා සිදුකරනු ලබයි.ඒ ඇත්තටම පිටරටවල ක්‍රමයයි.එහෙත් අපේ රටේ බොහොමයකගේ ගිණුම් බැලූ විට එක්කෝ මඩ ගැසීමට,බොරු පුවත් ප්‍රචාරය කිරීමට වැනි ඉතාම පහත් දේශපාලන ක්‍රියාවලියකට යොදාගන්නා තැනට පත්ව ඇත.

කෙසේ වෙතත් මේ මුලපිරීම සිදුකරනු ලැබුවේ සමාජ මාධ්‍ය ප්‍රචාරණ නිසා පසුගියදා ඇතිවූ සිද්ධියක් නිසාය. සමාජ මාධ්‍ය හරහා මෙරට දේශපාලන පෙරළියක් සිදුකළේ පසුගිය 2015 ජනාධිපතිවරණයේදීය. ඒ වනවිට මෙරට ෆේස්බුක් සමාජ මාධ්‍ය වසංගතයක් සේ පැතිර ගොස් තිබුණු අතර බොහෝ දෙනා එහි සැරිසරමින් කාලය ගත කරන යුගයක් විය. එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂත්, විපක්ෂයේ පොදු අපේක්ෂක වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අතර තියුණු සටනක් ආරම්භයේ පටන් තිබුණේය. එහෙත් මෛත්‍රීපාල මහතාගේ ආගමනය අලුත් වෙනසක් වූ නිසා එවකට මෛත්‍රීපාල මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සිදුකළ බොහෝ දෙනා යොදාගත්තේ ඒ මොහොතේ මුහුණු පොත තුළ විවිධ පේජයන් හදාගෙන සිටින තරුණ තරුණියන්ය.ඔවුන් මෛත්‍රීගේ දින සීය, තේමා ගීත, ප්‍රකාශ, වැනි දෑ සීඝ්‍රයෙන් සමාජ ජාලා තුළ ප්‍රචාරය කළ අතර මේ නිසා හවසට ගෙදර  ගොස් රූපවාහිනිය ඉදිරියේ වාඩිවන අයට හෝ තම වාහනයේ යන එන අතර තුර ගුවන් විදුලියට සවන් දෙන අයට පෙර මේ සියල්ල සමාජ මාධ්‍ය ඉදිරියේ දැක ගැනීමට හැකිවිය.මේ නිසා මෛත්‍රීගේ මැතිවරණ ව්‍යාපාරය සීඝ්‍රයෙන් ජනතාව අතර සමාජ මාධ්‍ය තුළ පැතිර ගියේය.

කෙසේ වෙතත් ඒ සඳහා එවකට ෆේස්බුක් පේජස් සීමිත සංඛ්‍යාවක් තිබුණු අතර ඒ හැම ගිණුමක්ම සාමාජිකයන් ලක්ෂයකට වඩා අධික විය. ඇතැම් ගිණුම්වල සාමාජිකයන් ලක්ෂ 10ත් ඉක්මවා තිබුණි.මේ නිසා එම ජයග්‍රහණය සමාජ මාධ්‍ය පෙරළියක් ලෙස එවකට හඳුන්වනු ලැබීය.

එම පෙරළියෙන් පසුව බහුතර තරුණ සංඛ්‍යාවක් සමාජ මාධ්‍ය ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් සහ යූ ටියුබ් චැනල් ලහි ලහියේ හදාගත්හ. ඒ එක් පැත්තකින් ප්‍රධාන ආදායම් මාර්ගයක් කර ගැනීම සඳහාය. කෙසේ වෙතත් මේ කාලය තුළ ක්‍රමයෙන් තරුණ ප්‍රජාව රූපවාහිණියෙන් ඈත් වූ නිසා ඔවුන් යූටියුබ් චැනල් කෙරෙහි හරවා ගැනීමටත් ඒවා මෙහෙයවූවන්ට හැකිවිය. විශේෂයෙන් වීඩියෝ රූපරාමු සහිතව, කිසිදු බලපෑමකින් තොරව නිදහසේ ප්‍රචාරය කිරීමේ අවකාශය ඒ හරහා පුළුල් විය. මේ අතර ඇතැම්හු පුවත් මවන පුවත් ප්‍රචාරය කරන ස්ථානයක් බවට යූටියුබය පත් කරගත්හ. එක් පැත්තකින් ඔබත් මමත් එම විඩියෝ නරඹන වාරයක් පාසා ඔවුන්ට මුදල් ලැබෙන තැනට පත්විය. සරලවම කීවොතින් වර්තමන තරුණයක් රැසකගේ ඉහළ ආදායම් ලබන ව්‍යාපාරයක් බවට මේ සමාජ මාධ්‍ය පත්කර ගැනිණි. එය එක්පැත්තකින් සතුටු විය යුතු මොහොතකි. අනෙක් පැත්තෙන් නිදහස් අදහසට වෙන්වූ ස්වාධීන වේදිකාවකි. එහෙත් ප්‍රශ්නය පැන නැගෙන්නේ එම වේදිකා ස්වාධීනද යන්නය.

කෙසේ වෙතත් මේ තත්ත්වය ගැන පසුගියදා බොහෝ දෙනකුට ප්‍රශ්නයක් ගෙන තැනක් වුයේ යූ ටියුබ් හිමිකරුවන් දෙදෙනකු වන ඉරාජ් සහ අශේන් යන දෙදෙනාගේ හැල හැප්පීම මතය. එනම් අශේන් නැමැති තරුණයා විසින් තම චැනලයේ ප්‍රචාරය කළ සම්මුඛ සාකච්ඡා කිහිපයක් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ චරිතය ඉස්මතු කිරීමටත් ඒ හරහා ජනමතය වෙනස් කොට ඔහුට වැඩි ඡන්ද ලබාදිමට උත්සහ කළ ප්‍රචාරණයක් බවට තරුණ පරපුරේ සංගීත නිර්මාණකරැවකු වන ඉරාජ් වීරරත්න විසින් චෝදනා කෙරිණි. ඉරාජ් වීරරත්න පැහැදිලිවම තමන් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රසිද්ධියේ පිළිගත් අතර ඔහු සජිත් ප්‍රේමදාස වෙනුවෙන් වැඩ කරන පිරිස රටට ආදරයක් නැති දේශද්‍රෝහී කුලකයක් වෙත බලහත්කාරයෙන් යොමුකරන ප්‍රචාරයක් රැගෙන ගියේය.

අශේන් සේනාරත්න නැමැති තරුණයා එක්තරා ජ්‍යේතිෂ්‍යවේදියකු සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාවක් හරහා සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය පිළිබඳ අනාවැකියක් ප්‍රචාරය කළේය. එසේම තව්හිද් ජමාත් සංවිධානයේ නායකයකු වන තම මත හරහා ජාතීන් අතර අසමතුලිතතාවයක් ඇති කළ අබ්දුල් රසාක් සමඟ සම්මුඛ සාකච්ඡාවක් සිදුකොට ඔහුගේ සහය ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් බව ප්‍රචාරය කළේය. මෙය එක්පැත්‍තකින් යම් ආකාරයක මැතිවරණයට බලපෑමක් ඇතිකළ හැකි සිද්ධීන් දෙකක් බව බැලූ බැල්මට පේන දෙයකි. එහෙත් පුදුමය නම් ඊට විරුද්ධව පෙනී සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනීසිටින ඉරාජ් වීරරත්නය.

ඉරාජ් මීට පෙර තම ගීත හරහා එක්සත් ජාතික පක්ෂය නිර්දය ලෙස විවේචනය කළ අයෙකි. ඔහු තවත් එවැනිම ගීතයක් ඉදිරියේ ප්‍රචාරය කරන බවද ප්‍රසිද්ධියේ ප්‍රචාරය කර ඇත. කෙසේ වෙතත් එලෙස මැතිවරණ ප්‍රචාරණයේ යෙදෙන ඉරාජ්, අශේන් වෙත චෝදනා එල්ල කරමින් කියා සිටියේ අශේන්ට සජිත් ප්‍රේමදාස මහතා විසින් රුපියල් ලක්ෂ 110ක් ලබා දී ඇති බවය. එම චෝදනාව නගන්නේ කුමන සාක්ෂියක් මතද යන්න අප දන්නේ නැත.

කෙසේ වෙතත් මෙහිදී ඉරාජ් අශේන්ට විරුද්ධව ගොඩනගන තර්කයේ සාක්ෂියක් ලෙස ගෙන එන්නේ අශේන් විසින් රන්ජන් රාමනායක සමඟ සිදුකළ සාකච්ඡාවකදී භික්ෂුන් වහන්සේලාට අපහාස කිරීමත් අශේන් භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කළේ කිසිදු ගෞරවයක් නොමැතිව බවත් අඟවමනි. එහිදී ඉරාජ් වීරරත්න විඩීයෝ පටයක් නිර්මාණය කරමින් කියා සිටින්නේ අශේන් යනු වෙනත් ආගමිකයකු බවත්, ඔහු භික්ෂුන් වහන්සේලාට කරන අපහසය නවත්වන ලෙසට ඔහුටත් මවටත් ඇමතුම් ලබාගෙන පවසන ලෙසට ඉල්ලීමක් කරමින් ඔවුන්ගේ දුරකථන අංක ප්‍රසිද්ධ කිරීමත් හරහාය. මෙය කෙතරම් සාධාරණ ක්‍රියාවක්ද යන්න මෙම ලිපිය කියවන ඔබට සාධාරණ ලෙස වටහා ගත හැක.

කෙසේ වෙතත් අපට ප්‍රශ්නය එය නොවේ. අශේනුත් ඉරාජුත් කියන්නේ කවුද යන්නය. ඔවුන් මේ සමාජයට කරන බලපෑම කුමක්ද යන්න‍ය. ඔවුන් යූ ටියුබර්ස්ලා ලෙස ඇති වූ ආරවුලක් මාධ්‍ය සාකච්ඡා තබා කීමට තරම් ඇති වටිනාකම කුමක්ද යන්නය. එපමණක් නොව ඒ සාකච්ඡා ජනතාවට හිමි නාළිකා තුළින් පෙන්වීමට තරම් තිබෙන වටිනාකම කුමක්ද යන්නය.

මේ රටේ පවතින පාලනයේ වැරදි වෙනුවෙන් පෑන, කැමරාව, අදහස් හැසිරවූ මාධ්‍යවේදින්, මිනිසුන් සිටි අතර ඇතැම්හු ජිවිතවලින් පවා ඒ හේතුවෙන් වන්දි ගෙවූහ. ඇතැම් අය මරණ තර්ජන ඇති බව දැන දැනත් සටන් කර මියගියහ. ගුටි කෑහ. අතපය කඩා ගත්හ. එවන් පිරිසක් ජීවත් වූ රටක මෙවැනි සිල්ලර ප්‍රශ්න මාධ්‍ය සාකච්ඡා තබා කීමටත් ඒවා ආවරණය කරන්නට මාධ්‍ය යාමත් කෙතරම් හාස්‍යජනකද? මේ ප්‍රශ්න එය නරඹන ඕනෑම අයකුට ඇතිවන ගැටලුවකි.

තම යූටියුබ් චැනලයෙන් හෝ තම ෆේස්බුක් පිටුවෙන් ඕනෑම අයකුට ප්‍රචාරණ සිදුකොට මුදල් හදල් ගත්තාට අපට කමක් නැත. තමන්ගේ වටිනාකම ලොවට පෙන්නුවාට කමක් නැත. එහෙත් ඒවා වෙනුවෙන් මරා ගන්නත්, ඒ ප්‍රශ්න රට හමුවේ ඉදිරිපත් කරන්නත් මේ තරුණයන් පෙළඹීමෙන් පෙන්වන්නේ කුමන පදනමක්ද? මේ තර්ජන ඇතිව ඇත්තේ මේ රටේ දූෂණයක් වංචාවක් හෙළිදරව් කළ නිසාද? එසේ නැත්නම් බලයලත් ආණ්ඩුව විසින් සිදුකරන නාස්තිය හෙළිදරව් කිරීම නිසාද? නැත මේ තර්ජන ඇතිව ඇත්තේ "කැම්පේන්" නිසාය. එසේනම් ඒ ප්‍රශ්න අපිට රටට කෙතරම් වැදගත්දැයි ඒවා අවරණය කරන මාධ්‍යවේදීන් සිතිය යුතුය.

මැතිවරණ සමයක් තුළ රූපවාහිනී, ගුවන් විදුලි, පුවත්පත් දැන්වීම් හරහා එම ආයතන මුදල් සොයාගනී. එක් ආයතනයකට නොදී තවත් ආයතනයක ඒක ප්‍රචාරය කළා හෝ ඒ තවත් ආයතනයක් එම දැන්වීම් ලබාගත්තා හෝ කියා මෙවැනි දේවල් ඉතිහාසයකවත් සිදුවී නැත. එහෙත් පුදුමය නම් තර්ජන යැයි කියා චෝදනා කර ගනිමින් ඔවුන් දෙදෙනාම කරන්නේ තවත් ප්‍රචාරණයක් ද යන්නය.

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය හැසිරවීම මේ වනවිට එක මෙහෙයුමක් බවට පත්ව ඇත. ඇතැම් රජයේ ප්‍රධාන ආයතනවල තරුණයන්ට පඩි ලබදෙමින් මේ දේවල් මෙහෙයවනු ලබයි. ඒ නිසා සමාජ මාධ්‍ය හරහා පැතිර යන බොහොමයක් කාරණාවල සත්‍ය අසත්‍යතාවය සියවතාවක් කිරා බැලිය යුතුය. ඒ ඇතැම් තොරතුරු නිර්මාණය කළ ඒවා මිස ඇත්ත නොවන්නේය.

කෙසේ වෙතත් වර්තමානය වනවිට මැතිවරණ නීතිවලින් රිංගා යාමට ලෙහෙසිම මාර්ගයක් ලෙස මේ සමාජ  මාධ්‍ය පත්ව ඇත. ඇතැම් අපේක්ෂකයන්ගේ රැස්වීම් සජීවීව ප්‍රචාරය කරන්නේ මේ සමාජ මාධ්‍ය හරහාය. ඇතැම් අපේක්ෂකයන්ගේ දැන්වීම් ප්‍රචාරය වන්නේ සමාජ මාධ්‍ය තුළය. මේ නිසා මුදල් විශාල ප්‍රමාණයක් ඉතුරු කරගත හැක. තවත් පැත්තකින් විශාල පිරිසකට ප්‍රචාරය කළ හැක .ඩොලර් මත සිදුවන ගනුදෙනුවක් නිසා මෙය අනෙකුත් ප්‍රචාරණවලට වඩා ඉක්මනින් වැඩේ සිදුවේ. එසේම එක් එක් අපේක්ෂකයන්ගේ අනුගමිකයන් එහි සිටින නිසා ඔවුන් අනෙකුත් අය සමඟ එය බෙදාගැනීමට අමතක කරන්නේද නැත.

කෙසේ වෙතත් මේ හැමදේටම වඩා විවිධ අපේක්ෂකයන්ට එල්ලවන මඩවල ද සීමාවක් නැත. කිසිවකු විසින් වාරණය නොකරන නිසා අපේක්ෂකයන්ගේ ගෝලයෝ අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කර මුදාහරිති. මේ නිසා අසත්‍ය තොරතුරක් ප්‍රචාරණය විමට යන්නේ ඉතාම ස්වල්ප වෙලාවකි.

ඒ නිස මේ සාමාජ මාධ්‍ය නිසා රටට සිදුවන හානිය මෙන්ම පුද්ගල ජීවිතවලට වන හානිය ද සුළු පටුවන්නේ නැත. මෙය හරියට දැලි පිහියෙන් කිරි කන්නා හා සමානය. හැබැයි ඒ කියා, රැවුල ද කැඳද යන්න තීරණය කළ නොහැක. අවසානයේ රුවුලයි කැඳයි දෙකම අවශ්‍යය. එසේ වූ විට ඒවාට මරාගන්නන් සමාජය ඉදිරියට පැමිණ මරණ තර්ජන යැයි කීමත්, එයාගේ නොම්බර මෙයා ප්‍රසිද්ධ කිරීමත්, අච්චර ගාණක් දුන්නා කීමත් තවත් ප්‍රචාරණයක් මිස යථාර්ථයක් නොවන්නේය.


 ගයාන් ගාල්ලගේ