2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

​අපි දේශපාලනේට පාවිච්චි වෙන පිරිසක්...

 2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 49

- සෞම්‍ය සඳරුවන් ලියනගේ

සෞම්‍ය සඳරැවන් ලියනගේ සිය පළමු කාව්‍ය සංග්‍රහයෙන්ම රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිකර ගන්නේ 2013දීය. ඔහු 2016දී තම දෙවන කවි පොත ඔහු නුඹ නොඒ නම් කියන්න එළි දක්වයි. මේ වනවිට වසර තුනකට වරක් සාහිත්‍ය නිර්මාණයක් එළිදක්වා ඇති ඔහු 2019 දී තම ප්‍රථම නවකතාව ලෝටස් පළකරයි. මේ සෞම්‍ය දේශය සමඟ පළ කළ අදහස් කිහිපයකි.

කවිපොත් දෙකක් ලියූ ඔබ නවකතාවක් රචනා කරනවා. ලෝටස් ගැන පාඨකයන්ට කිව්වොත්?

මම හරියටම දන්නෙ නෑ ඔබ ඒ කවි පොත් දෙකේ කතාව හරහා ඉඟි කරන්නෙ මොකක්ද කියලා. සමහරවිට කවි ලියමින් ඉඳලා නවකතාවක් ලිව්වේ ඇයි? කියන ප‍්‍රශ්නයත් එතන ඇති. කොහොමවුණත් ඔබ කියපු විදියටම, කවි පොත් දෙකකට පස්සෙයි මම මගේ මුල්ම නවකතාව ලියල ඉවර කරන්නෙ. ඒත් ඒ නවකතාව පටන් ගන්නෙ මගේ මුල්ම කවිපොත වුණු හැටේ වත්තේ මග්දලේනා ලියලා ඉවර වෙනවත් එක්කමයි. ඒ කියන්නෙ, 2013 විතර. මුලින්ම මට ඕන වුණේ චිත‍්‍රපට තිරනාටකයක් ලියන්න. ඒත් ඒක කෙළවර වුණේ නවකතාවකින්. කොටින්ම කිව්වොත්, ලිවීමට වඩා කාලයක් ගතවුණා ලෝටස් සංස්කරණය කරන්න. ඒක ටිකක් දුෂ්කර කාලයක්. සමහරවිට අර තිර පිටපතත් ආයෙ ලියවෙන්න ඉඩ තියෙනවා. 

නවකතාවේ අන්තර්ගතය පැත්තට හැරැණොත්, ලෝටස් කියන්නෙ තුන් දෙනෙකුගේ කතා තුනක්. එකම රාත‍්‍රියක, තැන් තුනක ඉඳලා මේ තුන්දෙනා සැරින් සැරේ තමන්ගෙ කතාව කියනවා. ඒ කතා තුනම එකකට එකක් සම්බන්ධයි. දැනුවත්ව වගේම නොදැනුවත්ව. තුන් දෙනාටම කියන්න තියෙනවා තමන්ගෙම කියලා කතාවක්. දිනපොත් තුනකින් අහුලගත්ත කෙටි සටහන් ගොන්නක් තමයි කතාවක් විදියට දිගහැරෙන්නෙ. බලය සහ ලිංගිකත්වය වගේ කාරණා අතරෙ තියෙන සම්බන්ධය ගැනත්, කාර්මික ප‍්‍රතිනිෂ්පාදනය ඇතුළෙ හැමදේකම මුල් වටිනාකම අහෝසි වීම ගැනත් ලෝටස් හරහා කතා කරන්න මට  ඕන වුණා. ඒ වගේම දවසින් දවස හුදෙකලා වෙමින් යන අපේ ජීවිත ඇතුළෙ අන්තිමට ඉතුරැවෙන්න නියමිත වේදනාවත් ලෝටස් ඇතුළෙ තියෙනවා. 

මේ ජරාජීර්ණ දේශපාලනය දෙස හෙළූ බැල්මක් තමයි අප මෙහි දකින්නේ. අප රටේ හැමදාම සිදුවන්නේ ගමේ අහිංසක කාන්තාව දේශපානඥයන්ට බිලිවීම නේද?

ඔව්, එහෙම කියන්නත් පුළුවන්. අපේ රටේ දේශපාලනයෙන් සහ ඒකෙ තියෙන ගඳගහන, ජරා ගතියෙන් මිදිලා අපි කාටවත් මඟහැරලා යන්න බැහැ කියලයි මං හිතන්නෙ. අහිංසක කාන්තාවක් දේශපාලනඥයෙකුට බිලිවීමෙන් එහා ගිය සංකීර්ණ කතාවක් මේක. අපිත් හරියට බැටළුවො රැළක් වගේ. කාලෙන් කාලෙට අපේ පාලනය එක එක වෘකයන්ටයි නරින්ටයි බාර දීලා අපිත් ඔහේ බලාගෙන ඉන්නවා. ඉතින් කිසිදෙයක් වෙනස් වෙන්නෙ නෑ. හැමදාම සිද්ධවෙන්නෙ එකම දේ. ගැහැනු පිරිමි බේදයකින් තොරව අපි හැමෝම පාවිච්චි වෙමින් ඉන්නවා, දේශපාලකයන්ගේ සහ මාධ්‍ය ආයතනවල අරමුණු වෙනුවෙන්. එතනින්ම ආපහු ඔබේ ප‍්‍රශ්නය දිහාවට හැරුණොත්, ඇත්තටම ස්ත‍්‍රී ශරීරය කියන්නෙ මේ වෙනකොට හුළං විස්කෝතුවේ ඉඳලා බෙන්ස් කාර් එක දක්වා හැමදෙයක්ම විකුණන්න යොදාගන්න ප‍්‍රධානම වෙළඳ උපක‍්‍රමයක්. ජනමාධ්‍ය ගත්තත්, වෙළඳ දැන්වීම්කරණය ගත්තත් මේ හැම තැනකම තීරණාත්මක සාධකය ලිංගිකත්වය නෙමෙයිද? ස්ත‍්‍රී ශරීරය නෙමෙයිද? 

මේ වනවිට පොතට ලැබුණු පාඨක ප‍්‍රතිචාර කෙසේද?

ඇත්තටම ගොඩක් හොඳ පාඨක ප‍්‍රතිචාර ලැබෙමින් තියෙනවා. මේ වෙනකොට ලෝටස් දෙවන මුද්‍රණයටත් සූදානම්. ගොඩක් අය පොත් ප‍්‍රදර්ශනයෙන් ලෝටස් අරගෙන තිබුණා. ඒ අයගෙ ප‍්‍රතිචාර වැඩි ප‍්‍රමාණයක් ඉතාම සතුටුදායක මට්ටමේ තියෙන බව කියන්න  ඕන. ලෝටස් කියන්නේ එකදිගට කියවගෙන යන්න පුළුවන් නවකතාවක් බව තමයි ගොඩක් අය කිව්වෙ. 

ඔබේ කවිවලින් අප දකිනවා යටිපෙළක් හා ගැඹුරක්. ඔබේ නවකතාව දෙස බලනවිට පේන්නේ එය හිතාමතා සරල කිරීමට උත්සාහ ගත්බවයි. එයට එකඟද?

එක පැත්තකින් මම එකඟයි ඒ කතාවට. මුලින්ම කියන්න  ඕන, මට  ඕන වුණේ නැහැ කවි ලියන සෞම්‍ය සඳරුවන් ලියනගේ කෙනෙක්ව නවකතාව ඇතුළෙ නඩත්තු කරන්න. කවිය එක්ක මගේ ගැන පාඨකයා මොන වගේ චිත‍්‍රයක් මවාගෙන ඉන්නවද කියන කාරණය ගැන කරදර වෙනවට වැඩිය මට ඕන වුණේ නිදහසේ මට ඕන දේ ලියන්න. හිතාමතා සරල කිරීමක් වෙනුවට මම ඒක හඳුන්වන්නෙ අනවශ්‍ය විදියට සංකීර්ණ නොවී හිඳීමක් විදියටයි. මට ඕන වුණේ නැහැ බාගෙට කියවද්දී පාඨකයට ‘ලෝටස්’ එපා වෙනවා දකින්න. ඒත් එහෙමයි කියලා අනවශ්‍ය විදියට බොළඳ වෙන්නත් මට  ඕන වුණේ නැහැ. යටිපෙළ සහ ගැඹුර හැම මොහොතකම මතුපිටට එන්න ඕන නැහැනෙ. හැබැයි ඒ ගැඹුර අල්ලගන්න කෙනෙකුට ඕන නම් ඒකට අවශ්‍ය දේවලුත් ලෝටස් ඇතුළෙ තියෙනවා මම හිතන විදියට. ලෝටස් සරලයි, හැබැයි බොළඳ නැහැ.

සෞම්‍ය කැමති ඔබ තුළ සිටින කවියාටද? නවකතාකරුවාටද?

මම ඒ ගැන හිතල තිබුණෙ නැහැ ඔබ මගෙන් ඔය ප‍්‍රශ්නය අහනකල්ම. ඒකට හේතුව තමයි, ප‍්‍රතිරෑපයක් ඇතුළෙ කොටුවෙන්න මගේ තියෙන අකමැත්ත. ගොඩක් දේවල් ජීවිතේට එකතු වුණේ කවිය නිසා තමයි. ඒත් මට ඕන වුණේ කවියෙක් වෙන්න නෙමෙයි. මට කියන්න තිබුණු දේවල් කියල නිදහස් වෙන්නයි මට ඕන වුණේ. ඒ වෙනුවෙන් හෙට මම තව මොන මාධ්‍යයක් තෝරගනියිද කියලා කියන්න බෑ. ඒ නිසා කවියෙක් හෝ නවකතාකරැවෙක් කියන ප‍්‍රතිරෑපයට ආදරේ කරනවට වැඩිය මම කැමතියි ටිකක් නිදහසේ දේවල් බෙදා හදාගන්න.

අද නවකතාකරණයට එළඹෙන බහුතරයක් තරුණයන්ට අවශ්‍ය කතා රසයට වඩා ආකෘතිමය මැජික් පෙන්වීම බව පේනවා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?

දෙපැත්තක් තියෙනව නේද එතන. ආකෘතිමය අත්හදා බැලීම් වැරදි දෙයක් විදියට මම දකින්නෙ නැහැ. ලෝටස් ඇතුළෙ මමත් ඒ වගේ ගොඩක් දේවල් කරන්න උත්සාහ කළා. කාලයක් තිස්සේ පාවිච්චි කරන්න බලාගෙන හිටපු සමහර සිනමා සංස්කරණ ක‍්‍රමවේද එහෙම ලෝටස් ඇතුළෙ මම නිදහසේ අත්හදා බැලුවා. ඒ වගේම කතාව ගලාගෙන යන රිද්මය සහ වේගය වගේ දේවල්, කතාව කියන විදිය වගේ කාරණා ගැනත් ගොඩක් හිතුවා. ආකෘතිමය වෙනස්කම් කිරීමට මම එකඟයි. හැබැයි ඔබ කියන කතාවටත් එකඟ නොවී බැහැ. කතාවෙන් එහාට ගිහිල්ලා ආකෘතිමය මැජික් පෙන්නන්න යෑමෙන් වෙන්නෙ වැඩේ අපි හිතන්නෙ නැති විදියට පාවෙන්න පටන්ගන්න එක. බරක් නැතිවෙන එක. ආකෘතිය එක්ක සෙල්ලම් කරන්න  ඕන. ඒත් ඒක තමන්ගෙ කතාවෙන් ඉල්ලා හිටින දෙයක් වෙන්න ඕන කියලයි මට හිතෙන්නෙ. හොඳ පේන්ට් එකක් තිබුණාම ලස්සනයි තමයි. ඒත් කාර් එකක් දුවන්න නම් හොඳටම තියෙන්න ඕන එන්ජිම. ලියන විදියට වඩා වැදගත් වෙන්නෙ ලියන්නෙ මොනවද කියන එකයි.

බොහෝ සම්මානනීය නවකතා කියවීමට අපහසු දුෂ්කර බන්ධන බවට නැගෙන චෝදනාව ගැන කියන්නේ කුමක්ද?

මම දේව වාක්‍යයක් වගේ විශ්වාස කරන දෙයක් තමයි, දුරස්ථපාලකය අතේ තියාගෙන ටෙලිවිෂන් එක ඉස්සරහින් ඉඳගන්න ‍ෙප්‍ර්ක්ෂකයා තරමටම පොතක් කියවන පාඨකයාත් සර්වබලධාරීයි කියන කාරණය. පොත කියවනවද, නැද්ද කියලා තීරණය කරන්නෙ එයා. ලේඛකයා මොනවා ලියල තිබුණත් පාඨකයට අදාළ වෙන පළවෙනි කාරණය තමයි පොත කියවගෙන යන්න පුළුවන්ද කියන එක. එයා ඒක කිසියම් හේතුවක් නිසා ප‍්‍රතික්ෂේප කරනවා නම්, මට අනුව ඒක ෆේල් වැඩක්. කර්මාන්තයක් විදියට පවතින්න බැහැ සීමිත පිරිසකට ආමන්ත‍්‍රණය කරලා. මේ දේ වාණිජ, කලාත්මක කියන සරල බෙදීමෙන් එහාට ගිහිල්ලා තේරුම් ගන්නවානම් මම කැමතියි. උදාහරණයක් විදියට ගත්තොත්, වැඩි දෙනෙක් කලාත්මක කොටසට දාලා හඳුන්වන, උගත් බුද්ධිමත් පාඨක ප‍්‍රජාවක් වෙනුවෙන් ලියවෙන පොතකින් මුද්‍රණය වෙන පිටපත් ප‍්‍රමාණයට වැඩිය සෑහෙන්න වැඩියි වාණිජ ධාරාවේ පොතක පිටපත් ප‍්‍රමාණය. සමහර වෙලාවට ඒක හිතාගන්නත් බැරි තරම් ලොකු පරතරයක්. ඉතිං මම අහන්නේ, වැඩිපුරම කියවන අය ඉන්නෙ කොතනද? ලේඛකයා එතනට ආමන්ත‍්‍රණය කරන්න ඕන නැද්ද? දෙයක් අනවශ්‍ය විදියට සරල විය යුතුයි කියල නෙමෙයි මම මේ කියන්නෙ. ඒත් කියවීම අති දුෂ්කර වෑයමක් වෙන එකේ පොඩි අවුලක් මම දකිනවා. කවුද අනවශ්‍ය විදියට කරදර වෙන්න කැමති? පොතක් ඇතුළෙ පාඨකයා අතරමං වෙන්න ඕන. එහාට මෙහාට හැප්පිලා අනාථ වෙන්න ඕන. හැබැයි ඒ අන්තර්ගතය එක්ක හැප්පිලා මිසක් වෙන වෙන භාෂා, ආකෘතික හරඹ එක්ක හැප්පිලා නෙමෙයි.

 කුසුම්සිරි