2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

බොබීගෙන් පරිවර්තන හතරක්

 2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 146

ප්‍රවීණ ලේඛක බොබී ජී. බොතේජු විසින් සංවාදයට පාත්‍ර වූ විදේශ නිර්මාණ හතරක අනුවාද ග්‍රන්ථ පාඨකයන් වෙත තිළිණ කරනු ලැබ ඇත. ඒ සමහර ග්‍රන්ථ අලුත්ම ප්‍රකාශන වන අතර තවත් පොත් නැවත මුද්‍රණ වෙයි. මේවා ගොඩගේ ප්‍රකාශන වෙයි.

ආර්. කේ. නාරායන්ගේ මාල්ගුඩි දවස්

නාරායන්ගේ නවකතාවලට සහ කෙටිකතා සංග්‍රහ කිහිපයකට පසුබිම් වී ඇති මල්ගුඩි නගරය ඔහුගේ කල්පිත නගරයක් වන අතර දැනට පවතින ස්ථානයක් නොවේ. කේ. ආර්. ශ්‍රී නිවාස් නැමැති සමාජ විද්‍යාඥයා පවසන්නේ ත්‍රිච්නාපොලි දිස්ත්‍රික්කයේ පිහිටි ලාල්ගුඩි නගරය නාරායන් විසින් මාල්ගුඩි ලෙස හඳුන්වන්නට ඇති බවය. ලේඛකයකු වශයෙන් තමාගේ අත්දැකීම් පිළිබඳ නාරායන් පවසන්නේ තමා ඇක්සයිස් පොතක මුල් නවකතාව ලිවීම ආරම්භ කළ බවත් ලිවිය යුත්තේ කුමක්ද යන්න පිළිබඳ කල්පනා කරමින් සිටින විට මාල්ගුඩි නගරය, දුම්රියපොළ හා ස්වාමිනාදන් නැමැති ළමයා පිළිබඳ තම සිතට නැගුණු බවයි.

1991 වසරේදී මුල්වරට නිකුත් කළ මේ පරිවර්තන ග්‍රන්ථය පසුගිය දා නිකුත්ව ඇත්තේ අටවැනි මුද්‍රණය ලෙසටය.

මරණයෙන් පසු - දීර්ඝ සහ කෙටි චීන කතා

චීන සාහිත්‍යයේ කැපී පෙනෙන ලේඛකයන් වන ෂෑන් ෂියොක් වින්ග්, ෂියා ෂොචුබාන්ග්, යන්ග් ෂෙන්ග්, ෂෙන්ස් රොන්ග්, ෂැන් ෂියොග් වින්ග් ලූෂන් හෙවත් චෙයිනිහු ජීවු සහ යන්ග් ෂෙන් ෂෙන්ග යන අයගේ කතා මෙම අනුවාද ග්‍රන්ථයේ අඩංගු කර ඇත. සියලු කතාංග 11කි. මෙම චීන කතා ශ්‍රී ලංකා කතා කලාවට ඔබින අයුරැ නව ශෛලයකින් අනුවර්තනය කර තිබීම විශේෂ වෙයි. මේවා කියවන විට චීන කතා නොව අපේ කතා යැයි පාඨකයාට සිතෙනු ඇත.

වෙනස් වන ලෝකය

ඉන්දියානු සමාජය විනිවිද ලෙස දකිමින් ලියැවුණු කෙටිකතා 15ක් මෙම ග්‍රන්ථයට ඇතුළත්ය. මෙම කතා ඉන්දීය සමාජය පසුබිම් කර ලියූවද එහි සර්වකාලීන සහ සර්වදේශීය වටිනාකමක් දක්නට ඇති බව කර්තෘ කියයි. මෙම කෙටි කතා පාඨකයාගේ ජීවිතාවබෝධය වර්ධනය කිරීමට හේතුවෙයි.

පශුරාම් හෙවත් රාජ් ෂේකර ඛාන්, වෛකුම් මහම්මුද් ඛෂීර් මනෝහාර් මල්ගොන්කාර්, ප්‍රේමචාන්ද් කමලාදාස්, නරේන්ද්‍රනාත් මිත්‍ර එස්තර් ඩේවිඩ්, අශෝක මිත්‍රන්, දිනකර් ජෝශි, ප්‍රභාත් කුමාර මුබෝපාධ්‍ය, ගුලාබ්දාස් බ්‍රෝකර්, ෆිල්බර්ට් පීරිස් යන ප්‍රකට ලේඛකයන්ගේ නිර්මාණ මෙම ග්‍රන්ථයට ඇතුළත් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ තවත් සෝවියට් කතා

සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසුව බිහිවූ රජයන් එරට සාහිත්‍යය ජාත්‍යන්තර තලයට ගෙනයාමට උනන්දුවක් දක්වා නැත. මේ නිසා රැසියානු සාහිත්‍ය නිර්මාණ විදේශීය භාෂාවලට පරිවර්තනය වීමේ සහ ජනතාව අතර පැතිර යාමේ අඩුවක් දක්නට ලැබේ. සෝවියට් දේශය පැවැති සමයේ වූ ප්‍රකාශන ආයතන සියල්ලම පාහේ මේ වනවිට වැසී ගොස් ඇත.

මෙම ග්‍රන්ථයට සෝවියට් දේශය පැවැති සමයේ සහ රුසියන් පාලන සමයේ ලියැවුණු කෙටිකතා 20 පමණ ඇතුළත් කර තිබේ. මෙය සෝවියට් හා රැසියන් සාහිත්‍ය නිර්මාණ කියැවීමට බලා සිටින පාඨකයන්ගේ අමන්දානන්දයට හේතුවනු ඇතැයි කර්තෘ විශ්වාස කරයි.

උස්බෙකිස්ථාන් ලේඛක මිර්ෂුන් ෂින්, අසර්බයිජාන ලේඛක අබ්දුල් ෂායික්, බටහිර යුක්රේන ලේඛක ඉවාන් ෂ්‍රැන්කෝ සෝවියට් ලේඛක ෂොරායිර්, අර්මේනියානු ලේඛක හාර්නස් ටවුමේනියන් ආදී ලේඛකයන්ගේ නිර්මාණ මෙයට ඇතුළත්ය.

 යසවර්ධන රුද්රිගු

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00