2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

ජනතා ආවේග පිටවෙයි!

 2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 99

බුධ ග්‍රහයා තමාට සම රාශි භවනක් වූ අඟහරුට අයත් වාෂ්චික රාශියට 2019 ඔක්තෝබර් මස 23 වන බුධ දින රාත්‍රී 11 පසුවී විනාඩි 24ට පිවිසෙයි. බ්‍රහස්පතිට අයත් විසා නැකතේ හතරවන පාදයෙන් ශනිට අයත් අනුර නැකතේ සම්පූර්ණවත්, බුධට අයත් දෙට නැකත් සම්පූර්ණවත් 2019 නොවැම්බර් මස 7 වන ගුරැ දින සවස 3 පසුවී විනාඩි 32 දක්වාම බුධ වෘෂ්චික රාශියෙහි ගමන් කරනු ඇත.

අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී මිනිසුන් බුද්ධියෙන් තොරව කටයුතු කරමින් ආවේගශීලීව හැසිරෙන කාලයක් වන බැවින් ඉවසීමෙන් කටයුතු කළ යුතු වේ. පතල් ආශ්‍රිත අනතුරු වාර්තා වනු ඇත. පාසල්වල හෝ විනෝද ස්ථානවල විවිධ ගැටලු ඇති වන කාලයක් වන අතර අධ්‍යාපන කටයුතු ආශ්‍රිතව සිදුකරන ලද වැරදි ක්‍රියාවකට ප්‍රසිද්ධියේ චෝදනා එල්ලවන වකවානුවක්ද වේ. රජයේ ප්‍රධාන නිලධාරින්ට තම කීර්ති නාමයට හානි වන ආකාරයේ පුවත් හා ආරංචි ප්‍රචලිත වන කලයක්ද වේ..

මීළට ඔබට

මේෂ - ලියවිලි අත්සන් කල්පනාවෙන්

ඔබගේ කටයුතුවලට විවිධ පාර්ශ්වවලින් බාධා එල්ලවන වකවානුවක්වේ. නීතිමය ප්‍රශ්නයකට මැදි වියහැකි කාලයක් බැවින් කල්පනාකාරී විය යුතු අතර ලියවිලිවලට අත්සන් තැබීමේදී ද පරිස්සම් වීම වැදගත් වේ.

වෘෂභ - පෙම් සබඳතා ඇරඹේ

අවිවාහක ඔබට ප්‍රේම සම්බන්ධතා ඇති වන අතර පවුල් දිවියේ සමගියට බාධා වීම් සිදුවිය හැකි බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. ව්‍යාපාරික කටයුතුවල නිරත අයට ලාබ ඇති වන කාලයක් වේ.

මිථුන - නෑදෑයන් හරහට

ඔබගේ කටයුතුවලට බාධා මතුවන අතර නෑදෑයන්ගෙන් ද යම්කිසි එරෙහි වීමක් ඇතිවන්නාවූත් කාලයක් වේ. ආගමික කාර්යයක් වෙනුවෙන් වෙහෙස වී කටයුතු කරන්න සිදුවන කාලයක් ද වේ.

කටක - අධ්‍යාපනයට හොඳයි

ආදර බැඳීම්වලට විවිධ අයගෙන් බාධා ඇතිවන කාල සීමාවක් වේ. අධ්‍යාපන කටයුතුවල නිරතවී සිටින අයට ශුභඵල අත්වනු ඇත. නිර්මාණශීලී අදහස් ජනිත වන්නාවූත් වකවානුවකි.

සිංහ - දේපළ උරුමකම්

ආර්ථික වාසි ලැබෙන කාලයක්වේ. ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමට යහපත් වන කාල සීමාවකි. තම මතයට ගන්නා වූ තීරණ සාර්ථක බවට පත්වනු ඇත. සේවා ස්ථානයේ ද පැවති ප්‍රශ්න මඟහැරීමක් සිදුවේ.

කන්‍යා - ආගමික කටයුතු

ලේඛන කටයුතුවල මෙන්ම මාධ්‍ය කේෂ්ත්‍රයේ නිරත වී සිටින අයට යහපත් වන්නාවූ කාල සීමාවක් වේ. සහෝදරයන් සමඟ බැඳීම් වර්ධනය වනු ඇත. ආගමික කටයුතු සඳහා මුල් තැන දෙමින් කටයුතු කරන වකවානුවක් ද වේ.

තුලා - ආර්ථිකය යහපත්

ආර්ථික වර්ධනයක් ඇතිවන කාලයක් වනු ඇත. පවුල් දිවියේ සමගිය වර්ධනය වනු ඇත. උණ රෝග වැනි පීඩාවන් ඇතිවිය හැකි බැවින් පරිස්සම් ද විය යුතු කාලයක් ද වේ.

වෘශ්චික - සිතේ සතුට

තමන්ගේ කටයුතු බාධක මධ්‍යයේ වුවද ඉටුවනු ඇත. ඔබට පැවතියා වූ ශාරීරික ආබාධවලින් මිදීමට හැකි වන කාලයක් වේ. සිතේ සතුට ඇති වන වකවානුවක් වන අතර උරැම හිමිකම් ලබාගැනීමට ද ශුභ කාලයකි.

ධනු - රැකියා ගැටලු

ඔබගේ කටයුතුවලට බාධා ඇතිවන කාල සීමාවක් වේ. රුකියා ස්ථානයේ වෙනසක් ඇතිවිය හැකිය. තම රැකියාවේ උද්ගතවන ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දී රුකියාව ආරක්ෂා කළ යුතු කාලයකි.

මකර - හවුල් වැඩට හොඳයි

සමාජ සේවා කටයුතුවල නිරත අයට ශුභ ඵල අත්වන කාලසීමාවක් වේ. ආර්ථික වාසි අත්වන අතර හවුල් කටයුතු ආරම්භයට ද ශුභ වේ. අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට ශුභ වන කාලයක් ද වේ.

කුම්භ - නෑදෑයන්ගෙන් දුරස්වේ

ඔබගේ කටයුතු සාර්ථක බවට පත් වන කාලයක් වන අතර සේවා ස්ථානයේ පැවති ප්‍රශ්න මඟහැරී යන කාලයකි. උරැම හිමිකම්ද ලබාගත හැකි වන කාලයකි. තම නෑදෑයන්ගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවන වකවානුවක් ද වේ.

මීන - කටයුතු පමා වේ

ඔබගේ කටයුතුවල ප්‍රමාද ගති ඇතිවන කාලයක් වේ. ආගමික කටයුතු වෙනුවෙන් වැඩි වශයෙන් කාලය ගතකරනු ඇත. නිර්මාණශීලී අදහස් ජනිත වන කාලයක් ද වේ.

 

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල