2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

දඩ බල්ලන් යොදා කොටි මරාගෙන කෑ බෙල්ලන්බැඳිපැලැස්ස මානවයා

 2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 1482

බලංගොඩ මානවයා වශයෙන් හඳුන්වන්නේ අප රටේ ජීවත් වූ මධ්‍ය ශිලා යුග මානවයාය. ඔවුන් ජීවත් වූ යුගය මෙසොලිතික යුගය ලෙස පුරාවිද්‍යාඥයෝ හඳුන්වති. මේ මානවයාට බලංගොඩ මානවයා යන නම ලබාදීමට මුල්වූ බෙල්ලන්බැඳිපැලැස්ස එළිමහන් ජනාවාසය පිහිටා ඇත්තේ බලංගොඩට නුදුරු උළුගල්කල්තොට කඳුවැටිය පාමුලය. එම භූමිය උඩවලව ජාතික වනෝද්‍යාන භූමියේ වලවේ ගඟේ මව් ඉවුරට ආසන්නව පිහිටා තිබේ.

බලංගොඩ මානවයාගේ වැඩිම ඇටසැකිලි ශේෂ ප්‍රමාණයක් හමුවූ ස්ථානය වශයෙන්ද, මෙම ස්ථානය වැදගත් වේ. එහි ඇති ප්‍රාග් ඓතිහාසික මානව සාධක අදින් වසර 12000ක් පැරණි බව මෑතකදී ආචාර්ය නිමල් පෙරේරාගේ මූලිකත්වයෙන් කළ කැණීමකදී හෙළිදරව් විය.

ශ්‍රී ලංකාවෙන් හමුවන ප්‍රාග් ඓතිහාසික මානවයා සාමාන්‍ය ව්‍යවහාරයේදී බලංගොඩ මානවයා යනුවෙන් (Home Sapiens Balangodensis) හැඳින්වීමට හේතුව එම ශේෂ මුලින්ම රත්නපුර බලංගොඩ අවට කලාපයෙන් හමුවීමයි. ඔහුගේ රෑපකාය සම්බන්ධ ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා පර්ෙය්ෂණවලට බෙල්ලන්බැඳිපැලැස්සෙන් හමුවූ සාධක ඉතා වැදගත් විය. අමෙරිකානු මානව විද්‍යාඥ ආචාර්ය කේ.ඒ.ආර්. කෙනඩි 60 දශකයේ මේ මානවයාගේ ශාරීරික ලක්ෂණ හෙළිදරව් කර ගැනීමේ පර්ෙය්ෂණවලට දායක විය. එම පර්ෙය්ෂණවලින් හෙළි වූ ආකාරයට බලංගොඩ මානවයා ආදිවාසී වැද්දන්ගේ මීමුත්තාය. මහාචාර්ය කෙනඩි තම ආචාර්ය උපාධි නිබන්ධනය සඳහා ද මෙම පර්ෙය්ෂණ ප්‍රතිඵල උපයෝගී කර ගත්තේය.

බලංගොඩ මානවයා කියන ප්‍රාග් ඓතිහාසික මානවයා වඩාත් සමීප වන්නේ සිංහල අපට හෝ දෙමළ අයට නොවේ. අපේ වැද්දන්ටයි. මෙතැන 1950 – 1960 තුළ  කැණීම්වලින් පුද්ගලයන් 33 දෙනකු නියෝජනය කරන අස්ථි ශේෂ හමුවී තිබෙනවා. එම ශේෂ බොහොමයක් තැන්පත් කර තිබු‍ණේ ජනාවාසයේ ආහාර අපද්‍රව්‍ය සමඟයි. මෑතකදී යළිත් බෙල්ලන්බැඳිපැලැස්සේ කැණීම් මෙහෙයවූ ආචාර්ය නිමල් පෙරේරා අපට කීවේය.

ලෙන් ජනාවාසවලට අමතරව බලංගොඩ - බෙලිහුල්ඔය ආශ්‍රිත කලාපයේ එළිමහන් ප්‍රාග් ඓතිහාසික ජනාවාස රාශියක් හමුව තිබේ. 1988 වර්ෂයේ දී සමනළවැව ජලාශය ඉදිකිරීමට පෙර බෙලිහුල්ඔය සමනළවැව අවට කලාපයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ සහයෝගිතා ගවේෂණයෙන් ප්‍රාග් ඓතිහාසික එළිමහන් ජනාවාස 200කට ආසන්න සංඛ්‍යාවක් සොයාගෙන වාර්තා කර තිබේ. ශ්‍රී ලංකාවේ වැදගත්ම එළිමහන් ආදි මානව ජනාවාසය බෙල්ලන්බැඳිපැලැස්සයි. එය හුණුගල් පාෂාණ තලාවක් මත පඳුරු ශාක පිරුණු පරිසරයක පිහිටා තිබේ. එහි වපසරිය මීටර් 15x15 පමණ වේ. පහතරට වියළි කලාපයේ අන්තර් වියළි කලාපයට අයත් මේ බිම මුහුදු මට්ටමේ සිට මීටර් 400ක් උසින් පිහිටා ඇත.

ආදි මානවයන් කා බී නිදහසේ ජීවත් වූ මේ වනගත භූමිය ගැන මුලින්ම හෝඩුවාව ලැබෙන්නේ 1956 දීය. බලංගොඩ මොරහැල විසූ ප්‍රභූවරයෙක් වන ආතර් දෙල්ගොඩ එම ඔත්තුව ලබා දෙන්නේ එවකට ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂ ආචාර්ය පී.ඊ.පී. දැරණියගලටයි. ඔහු 1956 සිට 1961 දක්වා වාර පහකදී මෙහි කැණීම් කළේය. මානව අස්ථි ශේෂ, ශිලා මෙවලම් එහිදී ඔහුට හමුවිය. දැරණියගල මහත්තයා කැණීම් කළේ ස්ථර විද්‍යානුකූලව නොවෙයි. 1968 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අංශය පිහිටවූවා. 1970 දී එහි අධ්‍යක්ෂ ආචාර්ය එස්.යූ. දැරණියගල අමෙරිකාවේ කෝනල් සරසවියේ මහාචාර්ය කේ.ඒ.ආර්. කෙනඩිගේ ද සහායෙන් විද්‍යාත්මක කැණීම් ආරම්භ කළා. බෙල්ලන්බැඳිපැලැස්සෙන් ලැබුණු ශිලා මෙවලම් පදනම් කරගෙන ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ශිලා මෙවලම්වල දක්නට ලැබෙන තාක්ෂණික සහ රෑපවිද්‍යාත්මක තොරතුරැ සහිත වාර්තාවක් ද 1972 දී Ancient Ceylon 1 සඟරාවේ ප්‍රකාශයට පත් කළා. ආචාර්ය නිමල් පෙරේරා අප සමඟ පැවසුවේය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා බෙල්ලන්බැඳිපැලැස්සට යන්නේ ඉන් පසුවයි. ඒ වර්ෂ 2004 දීය. ඒ වනවිට 1970 දී කැණීම් කළ භූමිය වනයට යටවී සොයා ගැනීමට අපහසු වී තිබුණි. මේ නිසා කිහිප වරක්ම උඩවලවේ වනෝද්‍යානය හරහා දිගු සැතපුම් ගෙවා බෙල්ලන්බැඳිපැලැස්සට ගොස් ගවේෂණය කිරීමට ඔහු ඇතුළු පිරිසට සිදුවිය. වනජීවී සංචාරක බංගලාව අසල සිට කිලෝමීටර 10 ක් පමණ පාගමනින් යා යුතුයි. පැරණි පර්යේෂණ කැණීම් වළවල් සොයා ගැනීමට හැකි වුණා. මෙහි නැවත කැණීම් කිරීම අවශ්‍ය වුණේ ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික තොරතුරැ යාවත්කාලීන කිරීමටයි. එහිදී ලැබුණු වැදගත්ම සාධකය තමයි මෙතෙක් සිතා සිටි වසර 5000ක් පැරණි කාල නිර්ණය වෙනුවට කාබන් 14 කාල නිර්ණ ක්‍රමයෙන් අවුරුදු 12000ක් පරණ කාල නිර්ණයක්  බෙල්ලන්බැඳිපැලැස්සට ලැබීම. ලෝකයේ හොඳම කාල නිර්ණ රසායනාගාරය පිහිටි නවසීලන්තයේ වයිකාටෝ විශ්වවිද්‍යාලයෙන් තමයි කාල නිර්ණය කළේ. නමුත් සමහර පුරාවිද්‍යාඥයන් තවමත් පැරැණි කාල නිර්ණය වන අවුරුදු 5000 තමයි භාවිත කරන්නේ. ඒක රජයේ පෙළපොත්වලටත් ඇතුළු කර තිබෙනවා. ඒ ගැන කනගාටුයි. ආචාර්ය නිමල් කීවේය.

මෙයට සමානුපාතිකව ළඟින්ම පිහිටි ප්‍රාග් ඓතිහාසික ජනාවාසය තමයි බලංගොඩ කූරගල. කිලෝමීටර් 15ක් උතුරින් පිහිටා තිබෙන්නේ. එහි අදින් අවුරුදු 16000 – 20000 දක්වා කාල නිර්ණයක් ලැබී තිබේ.

ආචාර්ය නිමල් පෙරේරාගේ කැණීම්වලින් කළුගලින් තැනූ විශාල ශිලා මෙවලම් ද හමුවිය. නොගැඹුරැ සිදුරු එකක් හෝ දෙකක් තැනූ ගල් ඒ අතර විය. ඒවා බොහෝවිට ගිනි දැල්වීමට භාවිත කළ යම් උපකරණයක කොටසක් විය හැකිය. නොගැඹුරැ සිදුරැ කිහිපයක් සහිත කළුගලින් තැනූ විශාල ප්‍රමාණයේ ඇඹරැම් ගල් ද පැතලි හැඩයේ ඇඹරුම් ගල් ද මින් හමුව තිබේ.

එකල මානවයා සත්ව අස්ථි සහ අංවලින් නිපදවූ ආයුධ ද හමුවිය. ඒවා තනාගෙන ඇත්තේ සතුන්ගේ ගාත්‍රා වැනි ශක්තිමත් අස්ථිවලිනි. එම අස්ථි හෝ අං දික් අතට පලා එක් කෙළවරක් හෝ දෙකෙළවරම සියුම් ලෙස උරච්චි කර උල් ලෙස තනාගෙන තිබේ. අලියකුගේ ගාත්‍රාවකින් තැනූ උල් අවියක් ද හමුවූ දෑ අතර විය.

මුහුදු වෙරළේ සිට කිලෝමීටර 80ක් දුරින් පිහිටියද මුහුද සමඟ සබඳතා පැවැත්වූ බවට සාධක වශයෙන් මුහුදු බෙලිකටු, මුහුදු ඌරැ ඇස්, මෝර දත් හමුවිය. ඒවා යොදාගෙන තිබුණේ ආභරණ තනාගැනීමටය. එදා කාන්තාවන් ද තම සිරුරු අලංකාර කර ගැනීමට දැක්වූ කැමැත්ත ඉන් පෙනේ. එමෙන්ම අවුරුදු 12000ක් පැරණි හීලෑ බල්ලකුගේ දතක් ද මින් හමුවිය. එය හීලෑ බල්ලකු පිළිබඳ ශ්‍රී ලංකාවෙන් හමුවන ආදිතම සාධකයයි.

මේ මානවයා ගෝනා, තිත්මුවා, ඌරා, තලගොයා, වඳුරා, රිලවා වැනි සතුන් බහුලව දඩයම් කර ආහාරයට ගෙන තිබේ. අලිපැටව්, ගවරා, ඕලු මුවා, කොටියා, වල් බළලා, කබල්ලෑවා, දඬුලේනා, කිරිඉබ්බා, ඉබ්බා, වළිකුකුළා වැනි සත්තු ද ඔවුන්ගේ ආහාරවේලට ඇතුළත්ව සිටියහ.

 කුසුම්සිරි විජයවර්ධන